Thursday, November 14, 2019

ජ.නි සාලිය පිරිස් පොලිස් වධකයින් බේරන්න ගත්ත උත්සහය වරදි





නාගොල්ලාගම, කාංචන හේමන්ත මහතාගේ මූලික අයිතිවාසිකම්, මහව පොලීසිය උල්ලංඝණය කර ඇති බවට, තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් දෙලක්ෂ පනස්දාහක වන්දියක් පොලිස්කාරයින්ට හා රජය ඔහුට ගෙවිය යුතු බවට නියම කරනු ලැබීය.

මෙම මස 13 වන දින ලබා දෙන ලද මෙම නඩු තීන්දුව යළිත් වරක් තහවුරු කරනු ලබන්නේ, පොලිස් වධ හිංසාව මූලික කරගත් නීති විරෝධී ක‍්‍රියාවන් ආයතනගතව තිබීමත්, එය වැළැක්වමට කිසිම ආණ්ඩුවකට අවශ්‍ය නැති බවත්ය.

මෙම නඩුවේ ප‍්‍රධාන වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබූ, පොලිස් කාරයින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ සිවිල් සමාජ ක‍්‍රියාකාරියෙකු මෙන්ම, මෑතක් වනතුරු මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ, දැනට අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙසට කටයුතු කරන ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය.

පොලිස් වධ හිංසාවට පාත‍්‍ර වූ කාංචන හේමන්ත මහතා වෙනුවෙන් පෙනී සිටින්යේ නීතිඥ සේනක ද සේරම් මහතා.

කාංචන හේමන්ත මයා, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ, 2012 ජුනි 28 වන දින මහව පොලීසියේ අබේසිංහ හා ධර්මපාල යන නිලධාරීන් ප‍්‍රමුඛ හතර දෙනෙක් තමා අත්අඩංගුවට ගෙන මහව පොලීසියේ පිටුපස කාමරයකට ගෙන ගොස්, අත් පිටුපසට කර බැඳ, එල්ලා පොලූවලින් පහර දුන් බව හා මේ ආකාරයට වධ දී මෙන් පසුව, කාමරයක ඇඳකට තබා මාංචු දමා තිබූ බවත් පසු දින එනම් 2012 ජුනි 29 දින, බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගෙන මහව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවය.

මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කර පෙරෙට්ටුවට ඉදිරිපත් කරවීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

එ් අනුව ඔහුව 2012 ජූලි 3 දින, කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහුට වධ හිංසා පමුණුවා ඇති බවට තහවුරු කර තිබින.

ඔහු 2012 ජූලි 11 ඇප ලබාගැනීමෙන් පසුව, නැවත රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදුව තිබින.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහව පොලීසියෙන් මොහුට වධ දුන්න අබේසිංහ හා ධර්මපාල යන පොලිස් කාරයින් දෙන්නා වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් උත්සාහ ගත්තේ පොලීසිය චිරාත් කාලයක් තිස්සේ සිදුකරන, එනම් පර්යන්ත රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා අධිකරණ වෛද්‍ය පෝරමය උපයෝගී කරගෙන වධකයින් බේරා ගැනීමටය.

පොලීසිය ලබාගෙන තිබු මහව දිසා රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් අධිකරණ වෛද්‍ය පෝරමයට අනුව කිසිදු තුවාලයක් තිබී නැත.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉදිරිපත් කළ මෙම අධිකරණ වෛද්‍ය පෝරමය ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේ එහි ව්‍යාජත්වය පැහැදිළි කරමින්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් හතරක් එනම්,

11 - වධ හිංසාවෙන් නිදහස්වීමේ අයිතිය අහිමි කිරීම.
12(1) - සර්ව සාධාරණත්වයේ අයිතිය අහිමි කිරීම.
13(1) - නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට මිස කිසිම කෙනෙකු සිර භාරයට ගැනීම නොකළ යුතු බව හා හේතුව දැන්විය යුතු බවට වන අයිතිවාසිකම අහිම කිරීම.
13(2) - අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම මගින් නිදහස අහිම කිරීම.

මහව පොලීසියේ අබේසිංහ හා ධර්මපාල උල්ලංඝණය කර ඇති බවය.

එයට අමතරව, මහව පොලීසියේ ස්ථානාධිපති චන්න අබේසිංහ සහ එහි අපරාධ අංශයේ කාර්ය බාර නිලධාරී අයි. රත්නායක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉහත ස`දහන් 12(1),13(1) හා 13(2) මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවද තීරණය කර තිබේ.

මෙම නඩු තීන්දුවෙන් යළිත් අවධාරණය කරන්නේ, පොලිස් නීති විරෝධී ක‍්‍රියා හා වධ හිංසා නොවෙනස්ව පවතින බවය.

මෙම තීන්දුවෙන් මහව පොලීසියේ, අබේසිංහ හා ධර්මපාල යන දෙදෙනා, රු: 50,000/- බැගින්ද, චන්න අබේරත්න හා අයි. රත්නායක රු: 25,000/- බැගින්ද, රජය (පොලිස්පති) රු: 100,000/- ක් වශයෙන්, රු: 250,000/- ක, වන්දියක් කාංචන හේමන්ත මයා ට ගෙවිය යුතු ය. වන්දි වශයෙන් රජය වෙනුවෙන් පොලිස්පති රු: 100,000/- ගෙවන්නේ, මහජන මුදලින්ය.

එම නිසා, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද මේ පොලිස්කාරයින් සිව් දෙනාට එරෙහිව වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා විනය පියවර ගත යුතුයි.

එය සාර්ථක කර ගැනීම ජනතාවගේ වගකීමය.

සම්පූර්ණ නඩු තීන්දුව කියවන්න. 
Link:- http://www.janasansadaya.org/page.php?id=654&lang=en

2012 වසරේ පවරන ලද මෙම නඩුව, 2019 මැයි 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජ.නි. ප‍්‍රියන්ත ජයවර්ධන, පී. පද්මන් සූරසේන හා ජ.නි. එස්. තුරෙයිරාජා ඉදිරියේ විභාගයට ගන්නා ලදි. පෙර සඟන් කළ පරිදි 2019.11.13 තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.



No comments:

Post a Comment