Thursday, March 31, 2016

බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට වධ දුන්න පොලිස්කාරයාට එරෙහිව දොලොස් වසරකට පසුව නඩු.


නීතිපති උපදෙස් මත, පොලිස් විශේෂ විමර්ශණ එ්කකය විසින්, පොලිස් සැරයන් 1999 දඹගල්ලේ සිරිකුමාර ට එරෙහිව - බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2016.03.29 වන දින, අංක 89002 යටතේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුව පවරන ලද්දේ 2004 වසරේදී අම්බලන්ගොඩ ආඳාෙදාල පදිංචි පහලොස් හැවිරිදි ලක්මාල් හා දහතුන් හැවිරිදි ප‍්‍රදීප් යන ළමුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වධ දී, ඔවුන්ගේ දෙමාපියන් ගෙන් රු: 3000/= ක කප්පම් මුදලක් ලබා ගැනීම යන චෝදනා මූලික කරගෙනය.

2004 වූ මෙම සිදුවීම අදාලව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශණයක් කරනු ලදුව, එහි නිර්දේශ 2009 වසරේදී නිකුත් කරනු ලැබීය. එ් දීර්ඝ අරගලයකින් පසුවය. එම නිර්දේශයට අනුව, එවක අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකට, 
රු: 2500/= ක්ද, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හා පො.සැ.1999 ට රු: 5000/= බැගින්ද, වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය. නමුත් එම නිර්දේශය මෙම තිදෙනා ක‍්‍රියාත්මක කළේ නැත.

මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාව, පොලිසිය පහර දීමෙන් අනතුරුව, බලපිටිය මූලික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින තුනක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදෙන ලදි.නමුත්, එම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී - මෙම ළමුන් දෙදෙනාට තුවාල කිසිවක් නොමැති බවට සටහන් කර අධිකරණ වෛද්‍ය පෝරමය නිකුත් කිරීමට පියවර ගන්නා ලදි. 

මෙම කාරණය සැලකිල්ලට ගත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම ළමුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කොට, දෙවන වෛද්‍ය වාර්තා ලබාගැනීමට පියවර ගනු ලැබීය.

ජාතික පොලිස් කොමිෂම හා ළමා ආරක්ෂක අධිකාරිය, මෙම ළමුන් දෙදෙනාව වධහිංසාවට පත් කිරීම හා අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කරන ලෙසට, ලිඛිතව පොලිසියට දැනුම්දීම් කිරීම් පමණක් සිදුකරනු ලැබීය. එදත් අදත් මෙම ආයතන දෙකේ ක‍්‍රියා පිළිවෙත්හි වෙනසක් නැත.

මේ අතර, පොලිසිය අදාල නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. නමුත් එම විනය පරික්ෂණවල ප‍්‍රථිඵලය - මෙම වින්දිතයින් දෙදෙනාට මේ දක්වාම දැනුම් දී නොමැත.

මෙම පසුබිම් යටතේ, 2016.03.24 දින, ලක්මාල් ගේ හා ප‍්‍රදීප්ගේ නිවසට පැමිණි පොලිස් විශේෂ විමර්ශණ එ්කකයේ ජයන්ත නැමැති නිලධාරියා හා පො.සැ.1999 සිරිකුමාර, 2016.03.29 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ පෙනී සිටින ලෙසට වාචිකව දැනුම් දෙන ලදි. 

වාචික උපදෙස් මත අධිකරණයේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව ලක්මාල් හා ප‍්‍රදීප් ඔවුන්ට දැනුම් දෙන ලදි. 

එ් අවස්ථාවේ රු: 5000/= ක් අරගෙන සමාදාන වන ලෙස පො.සැ.1999 සිරිකුමාර ඔවුන් දෙපලට යෝජනා කළේය. තවද, මේ වන විට අපරාධ අංශයේ ස්ථානාධිපති මියගොස් ඇති බවත්, තමන් පහර දුන්නේ අරක්කු බෝතලයට යටවී බවත්, පවසමින්, රු: 5000/= ක් අරගෙන සමාදාන වීමට කැමැත්ත ප‍්‍රකාශ කරන ලෙසට ආයාචනා කර තිබේ. තවද කළ පවට තමන්ට දැනටමත් ප`ඩිසංදි ඇති බවද කියා තිබේ.

එ් අවස්ථාවේ ලක්මාල් තමන්ට හා පහර දුන් ආකාරය සහ එයින් අනතුරුව, ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සමග එක්ව තමන්ට හා පවුල් වලට තර්ජණය කිරීම, පොලිස් ජීප් එකෙන් බලපිටිය උසාවියේ වැඩ කරන කාල්ටන් නැමැති නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් දිවුරුම් ප‍්‍රකාශ වලට අත්සන් කර ගැනීම් ආදි, පොලිස් බලය උපායා්ගි කරගෙන සිදුකළ නොපමත්කම් සිහිපත් කර තිබේ.

ලිඛිත දැනුම් දිමක් නැතිව 2016.03.29 දින අධීකරණයේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, 2016.03.27 දින, පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩයක් මගින්, මොවුන්ට 2016.03.29 බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කරනු ලැබීය.

පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩය අයුතු බලපෑම් කිරිමට යොදා ගත් එකක් බව පැහැදිලි වු වද, එම දැනුම් දීමට අනුව, 2016.03.29 දින බලපිටිය මහේසත‍්‍රාත් අධිකරණයටලක්මා,ප‍්‍රදීප් හා මව්වරුන් ගොස් ඉදිරිපත් වුයේ, තම ස්ථාවරය අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කිරිමටය.

අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් පැමිණි ජයන්ත නැමැති නිලධාරියා හා නීතිඥවරුන් කිහිප දෙනෙකු, මුදල් අරගෙන සමාදාන වීමට කැමැත්ත පල කරන ලෙසට , ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් ඉල්ලා සිටියේය.

නඩුව කතාකල අවස්ථාවේ, පො.සැ.1999 සිරිකුමාර වෙනුවෙන්, නීතිඥවරු 10කු පමණ නැගිට ඉදිරිපත් වන ලදි. එම නිතිඥයින් , සමාදාන වීමේ යෝජනාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එ් පිලිබඳව අධිකරණය ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් විමසූ අවස්ථාවේ සමාදාන වීමකට තමන් එකඟ නැති බව, නිතිඥ සහයකින් තොරව, තනිව ම ඉදිරිපත්ව අධිකරණයට කියා සිටින ලදි.

පො.සැ.1999 සිරිකුමාරට ඇප නියම කල අධිකරණය, නඩුව සැප්තැම්බර් 28 දිනට කල් තබනු ලැබීය. පො.සැ.1999 සිරිකුමාර අධිකරණ කටයුතු වල නිරතවන බව ට වාර්තාවේ. 

2004 සිට 2016 දක්වා යුක්තිය උදෙසා බලාපොරොත්තු තබාගෙන සිටි, ලක්මාල් හා ප‍්‍රදීප්  දෛනිකව මුහුදු යන ධීවරයින්ය. මේ වන විට ලක්මාල් එක්දරු පියෙකි. ප‍්‍රදීප් දෙදරු පියෙකි. 

මේ නඩුව මොන අන්දමට නිමවේද යන්න පිළිබඳ අනාවැකි කියන්නට බැරිය. නමුත් අවම වශයෙන් තවත් වසර 12 ක් වත් මෙහි නිමාව දකින්නට ලක්මාල් හා ප‍්‍රදීප් සූදානම් විය යුතුය.

කුමන තත්වයක් යටතේ වුවද, කුමන තරාතිරමේ නීච නිවට ‘‘උගත්’ වෘත්තිකයින් සිටියද, එ් සියල්ල පරාජයට පත් කිරීමට, ආත්ම ගරුත්වය තිබෙන නිර්ධනයින්ට අවකාශයක්  තිබෙන බවට ඔප්පු වු තවත් අවස්ථාවකි මෙය. 

එමෙන්ම, නීතිය කඩා වැටුනු රටක, ‘‘අයිතිවාසිකම්’’ බඩගෝස්තරය කරගත් උගතුන්, වෘතිකයින් පිලිබඳව හෙළිකරන තවත් එක් උදාහරණයක් පමණි මේ.

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ආරම්භවු මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය, එනම් ලක්මාල් හා ප‍්‍රදිප්ට ආරක්ෂා සැලසීම බලධරයින් ගේ වගකීම වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් මානව හමිකම් කොමිසම ට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

No comments:

Post a Comment