Tuesday, December 10, 2019

අරක්කු විකුණනවා - කවදාවත් කුඩු විකුණන්නේ නැහැ.රුපියල් ලක්ෂ 42 ක් දඩ වශයෙන් ගෙවලා තියෙනවා.



  තම සැමියා නීති විරෝධී මත්පැන් ජාවාරමේ නියැලෙන බව ඇත්ත. කවදාවත් කුඩු විකුණන්නේ නැති බව අවධාරණය කරන බිරිඳ, බොරු නඩු දැමීම වලක්වන ලෙසට - රජයෙන් ඉල්ලා සිටී.

ඇය, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල මෙසේය. 

පහර දි අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීම. 

පත්මා..... වයස අවු: 34 යි, විවාහක, දරුවන් 02 යි, ලිපිනය: අ`ඵබෝමුල්ල. 
2019.12.09 වන දින දීය.

සැමියා ගේ වයස අවු: 34 යි, රැකියාව: වඩු වැඩ- මිනී පෙට්ටි කර්මාණ්තය, 

2019.12.06 වන දින, රාත‍්‍රී 7.00 ට පමණ, අසල්වැසි යන් සමග තිදෙනා මත්පැන් පානය කරමින් සිටියා. ඒ අවස්ථාවේ මා, මාගේ සැමියා මුණ ගැසීමට එම නිවසට ගියා. එවිට මා දුටුවා, විශේෂ කාර්ය බලකායේ සමීර නැමති නිලධාරියා, සැමියාගේ ෂර්ට් කොලරයෙන් අල්ලාගෙන සිටිනවා. මම ඇයි කියා ඇහුවා. ‘‘උඹලා අපිට ඔත්තු දුන්නා කියා, එහා ගෙදර දයාරත්නට ගැහුවා නේද?” කියා  ඇහුවා. මම කිව්වා අපි ගැහුවේ නැහැ කියා. එතන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 15 ක් පමණ සිටියා. නෑ උඹලා තමයි ගැහුවේ කියමින්, එම නිලධාරියා ස්වාමිපුරුෂයාට පහර දුන්නා. මා හටද, එම නිලධාරියා, උඹේ කට වැඩියි උඹටත් හයිකෝට් එකක් දානවා කියා බැන තර්ජනය කළා. මා පිළිගත්තා, අපි අරක්කු විකුණන බව. නමුත් කුඩු, ගංජා වැනි මත්ද්‍රව්‍ය විකුණන්නේ නැති බව මා ප‍්‍රකාශ කළා.

ඉන්පසුව, එම නිලධාරියා ඔහු ළඟ තිබූ බෑග් එකේ සාක්කුවෙන්, පාර්සලයක් එළියට ගත්තා. එ්ක පෙන්නලා අපිට හයිකෝට් දානවා කිව්වා. මම කිව්වා අපි ළඟ කුඩු, ගංජා නැහැ කියා. අපගේ වඩුමඩුවේ වැඩ කරන චන්දන නැමති අවු: 28 පමණ වන තරුණයා එ් අසල මෙම සිද්ධිය දෙස බලා සිටියා. එම ස්ථානයේදීම, ෂොපින් බෑගයකට වතුර පුරවා, එයට පැට‍්‍රල් දමා, ඔහුගේ ඔලූවට දමා පොලූවලින් පහර දුන්නා. මාගේ සැමියා වන සමිත ගේ බඩු කොහේද කියා අසමින් පහර දුන්නා. මම කිසි දෙයක් දන්නේ නැහැ, සමිත අයියට ගහන නිසා බැලූවේ කියා, චන්දන පැවැසුවා. චන්දන හා මාගේ සැමියාව ජීප් රථයට දමා ගත්තා. 

කොහේටද ගෙනයන්නේ කියා මා ඇසුවා. පානදුර පොලීසියට ගෙන යන බව කිව්වා. මම, පැයකට පමණ පසුව, එනම් රාත‍්‍රී 10.00 ට පමණ, අසල්වැසි අක්කා සමග පානදුර පොලීසියට පැමිණියා. එතන සිටිය නිලධාරියෙන් මට කිව්වා, කුඩු දාන්නේ නෑ, බය වෙන්න එපා කිව්වා. මාගේ සැමියා සමග කතා කරන්න ඉඩ දුන්නා. අපි ගෙදර ආවා. 

පසුදින එනම්, 2019.12.07 දින, උදේ 8.00 ට පමණ, මා පොලීසියට ගියා. සැමියාගේ ඇඟිලි සලකුණු ලියුම් කවරයකට ගත් බව ඔහු පැවසුවා. 

රිසව් එකේ නිලධාරියාගෙන්, මොනවටද දාලා තියෙන්නේ කියා අහන්න කිව්වා. කුඩුවලට දාලා තියෙනවා කිව්වා. අරක්කු බෝතල් 35 ක්, කුඩු ග‍්‍රෑම් 2යි, මිළි ග‍්‍රෑම් 380 කට දාලා තියනවා කිව්වා.

එදින සවස 3.00 ට පමණ, පානදුරේ වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමාගේ නිල නිවසට මාගේ සැමියා හා චන්දනව ගෙන ගියා. මාගේ සැමියා වෙනුවෙන් නීතිඥ රජිව් මහතා පෙනී සිටියා. ඔහු සැමියාට පහර දී ඇති බවත්, බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

චන්දන වරද පිළිගත්තා. ඔහුට ඇප ලබාදුන්නා. මාගේ සැමියාව, 2019.12.13 වන දින දක්වා, රක්ෂිත බන්ධනාගාරගත කළා. 

මා ඉල්ලා සිටින්නේ,

මාගේ සැමියාට ව්‍යාජ නඩු පැවරීම වළක්වන ලෙසත්, ඔහුට පහර දී, අත්අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා
මාගේ ආරක්ෂාව සලසන ලෙසටත්ය.


No comments:

Post a Comment