Monday, December 23, 2013

දවස් අනූ තුනක් කොළඹ අපරාධ කොට්ඨාශයේ තියාගෙන වධ දුන්නා. දවස් දෙසිය හතලිහක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ සියල්ල කළේ මිනීමරුවාව බේර ගන්න.


2012 පෙබරවාරි 21 සියලු මුද්‍රිත මාධ්‍ය වල සිරස්තලය හිමිකරගෙන තිබුණේ පෙර දින බියගම විලේජ් හෝටලයේ, අයිතිකරු රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නව මන්නා පිහියකින් කපා මරා දැමීමේ සිද්ධියයි.
උදේ හතට පමණ, ඔහුට හිමි වත්තක් තුළ සිදු වූ මෙම මරා දැමීම, වත්ත බලා ගැනීමට සිටි කාන්තාව හා ඇගේ දියණිය දුටුවාය. ඔවුන් ද මිනීමරුවාගේ ප්‍රහාරයට ලක්විය.
මරණය පිළිබඳ පරීක්ෂණ දොම්පේ පොලීසිය ආරම්භ කළේය. පසුව එම පරීක්ෂණ පොලිස්පති නියමයෙන් කොළඹ උතුර දිසා අපරාධ කොට්ඨාශයට ද, එයින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයට ද බාර කෙරිණ.
බර්නාඩ් ජයරත්නගේ මරණයෙන් පසුව වත්තේ අයිතිය හිමි වූයේ, ඔහුගේ සහකාරියව සිටි චමරීටය. ඇය වත්ත බලා ගැනීමට, බර්නාඩ් ජයරත්නගේ සේවකයෙකුව සිටි සුසන්තට බාර කළේය.
2012.12.26 වන දින සුදුපාට වෑන් රථයකින් පැමිණ කොළඹඅපරාධ කොට්ඨාශයේ නිලධාරින්, සුසන්තව සහ ඔහු සමග සිටි මනෝජ්වද පැහැර ගන්නා ලදි.
පසුව මනෝජ්ව මුදාහරින ලදි. කොළඹ අපරාධ කොට්ඨාශය, සුසන්තව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පැය 72 ක් රවා තබාගෙන, එයින් පසුව ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ අත්සන සහිත මුද්‍රාව උපයෝගී කරගෙන, එම පනත යටතේ දින 90 ක් රවා තබා ගැනීමට රැවුම් නියෝගයක් ලබා ගත්තෙත්ය.
කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේ, නිර්ණාමික දුරකතන පනිවිඩයකට අනුව, සුසන්ත විසින් එකී වත්තේ වල දමා තිබූ එල්.ටී.ටී. යට අයත් අවි තොගයක් සොයා ගත් බවයි. ඒ අනුව සුසන්ත එල්.ටී.ටී. යට සම්බන්ධ සැකකරුවෙකු ලෙසට නම් කරනු ලැබීය. තවද මන්නා පිහියක් සොයා ගත් බවද සටහන් කර තිබිණ.
ඒ සමගම, බියගම විලේජ් අයිතිකරු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රචාරය කරනු ලැබීය.
සුසන්ත ප්‍රකාශ කරන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ තමන්ව දින 94 කට වඩා කාලයක් රවාගෙන වධ දෙන ගමන්, එල්.ටී.ටී. ය ගැන හෝ වත්තේ වල දමා තිබූ බව ප්‍රකාශ කරන ලද අවි සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රශ්නයක් නොඇසූ බවයි.
අඛණ්ඩව ඔහුට කියා ඇත්තේ, මිනීමරුවා තමා බව පිළිගන්නා ලෙසටත්, එයට මරණකරුගේ සහකාරියව සිටි චමරී හා තවත් අයෙකු සම්බනධ බවට ප්‍රකාශ කරන ලෙසටය.
වධදෙන අතර, කිහිප දවසක් ඔහුව කැලණි ග ළට ගෙන ගොස් මරා දමන බවට තර්ජනය කරමින් -  මානසික වධ දීමටද කොළඹ අපරාධ කොට්ඨාශය අමතක කර නැත. 
දින අනූව ඉකුත් වීමෙන් අනතුරුව, පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට එල්.ටී.ටී. සැකකරුවෙකු හා බර්නාඩ් ජයරත්නගේ මරණයට සැකකරුවෙකු වශයෙන් නම් කොට, රක්ෂිත බන්ධනාගාර ගතකරනු  ලැබීය.
බර්නාඩ් ජයරත්නව ඝාතනය කළ, සැබෑ මිනීමරුවා බේරා ගැනීම සහා, කොළඹ අපරාධ කොට්ඨාශය සුසන්තව ආදේශ කර තිබෙන බවට ප්‍රබල ලෙස කරුණු ඉදිරිපතත් වීමෙන් පසුව පොලිස්පතිවරයා, පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කොට, රහස් පොලීසියට පරීක්ෂණ කටයුතු බාර කළේය.
රහස් පොලීසිය - අධිකරණයට වාර්තා කර සිටියේ, සුසන්ත හා එල්.ටී.ටී. ය අතර සම්බන්ධයක් නැති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයා ගත් බවට ප්‍රකාශ කරන අවි වලට ඔහු සම්බන්ධ නැති බවත්ය.
සුසන්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජානක අමරසිංහ මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, සුසන්තව නිදොස් කොට නිදහස් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
සුසන්ත දැන් නිදහස් පුද්ගලයෙකි. නිර්දෝශී සුසන්තව, මිනීමරුවෙකු බේරා ගැනීමට අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කොට වධ දීම සහ ඔහුගේ නිදහස අහිමි කිරීම ගැන -  රජය නිහඩයි. ඔහු නිදහස ලබා ගැනීමට අති විශාල මුදලක වැය කරන්නටද සිදුවිය.
මෙම කුමන්ත්‍රණය කළ පොලිස් කාරයෝ අදටත් රාජකාරියේ යෙදී සිටී. එක් අපරාධයක් කළ මෙම පොලිස්කාරයෝ දඩුවම් නොලැබ නිදැල්ලේ සිටිමට ඉඩහැර තිබෙන්නේ - ඔවුන් රාජපක්ෂගේ හෝ ඔහුගේ සමීපමයෙකුගේ අවශ්‍යතාවයකට එම ක්‍රියාව කළ නිසා නොවේද? එමෙන්ම මගින් මෙවැනි අපරාධ කරවා ගැනීමටද?
තවද, එල්.ටී.ටී. යට අයත්ව තිබූ මෙම විශාල අවි තොගය කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනේ කෙසේද? කාගෙන්ද? යන්න සොයා බැලීම රාජ්‍ය ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ වගකීම නොවන්නේද?
මරා දමන ලද බියගම විලේජ් අයිතිකරු බර්නාඩ් ජයරත්න, ඉතා කෙටි කාලයකදී කෝටිපතියෙකු වූ අයෙකි. ඔහු ඇසුරු කළේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ ඉහළයින්ය.

වර්තමානයේ මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු, බර්නාඩ් ජයරත්නගේ පුත්‍රයාය. දියණිය තරයේ කියා සිටින්නේ පියාගේ මරණයට සොහොයුරා වගකිව යුතු බවයි. බර්නාඩ් ජයරත්න ජිවතුන් අතර සිටින විට පුතාට විරුද්ධව පැමිණිලි පවා කර තිබින.

No comments:

Post a Comment