Wednesday, May 31, 2017

වන්දිය මිලියනයයි.




වසර 8 පෙර, බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, වධ දී බොරු නඩු දමා - පීඩාවට පත්කල සම්පත්ට වන්දි වශයෙන්, රුපියල් ලක්ෂ දහයක් පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම නියමයට අනුව එවකට බණ්ඩාරගම පොලිසියේ සේවය කල උ.පො.ප.සල්වතුර, කොස්තාපල් අශෝක, සැරයන් කිත්සිරි හා ග‍්‍රාමරක්ෂක දිසානායක රුපියල් එක් ලක්ෂ විසි පන්දහස බැගින්ද, ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ පහක්ද, වශයෙන් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල පීඩාවට සම්පත්ට ගෙවිය යුතුයි.

බණ්ඩාරගම පොලිසිය සම්පත්ව අත්අඩංගුවට ගත්තේ 2009 මැයි මස 20 වන දිනය. දින 07ක් බණ්ඩාරගම පොලිසියේ තබාගෙන කොච්චි මිරිස් යොදාගෙන ඔහුට වධ දී, බොරු නඩු දෙකක් දමන ලදි. එම බොරු නඩු දෙකෙන්ම ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය. වධදීම, නීති විරෝධී රඳවා තබා ගැනීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, සම්පත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, බණ්ඩාරගම පොලිසියේ එවකට සේවය කල උ.පො.ප.සල්වතුර, සැරයන් මනෝජ්, කොස්තාපල් අශෝක, සැරයන් කිත්සිරි ග‍්‍රාමරක්ෂක දිසානායක, ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ හා පානදුර සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ ට එරෙහිව නඩු පැවරීය.

මේ නඩුවේ තීන්දුව 2017 මැයි 30 වන දින ප‍්‍රකාශයට පත්කල ශ්‍රේෂ්ඨාධිකරණය බණ්ඩාරගම පොලිසියේ ඉහත නම් සඳහන් නිලධාරීන්, සම්පත් ගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බව තීරණය කරන ලදි.

එමෙන්ම, වධදී ඇති ආකාරය මනුෂ්‍යයකුට විඳ දරා ගත හැකි වේදනාවක් නොවන බවද, ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පක්ෂපාතී වන බවට සෑම පොලිස්පති වරයෙක්ම, පොලිස් කාරයෙක්ම දිවුරා පොරොන්දු වී තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පොලිස් කාරයෙක්ම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි.

මෙම කරුණු - සෑම පොලිස් කාරයෙකුටම උගන්වා තිබෙන, සෑම පොලිස් ලොක්කෙක්ම විලිලැජ්ජා නැතිව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටිති. 

ආණුඩක‍්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතියයි. උත්තරීතර නීතිය උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨධිකරණය තීරණය කර තිබෙන - ඉහත නම් සඳහන් පොලිස් කාරයින්ට එරෙහිව, ගන්නා ලද විනය හා නීතිමය පියවර දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.

ජනතාව එ් ගැන ප‍්‍රශ්ණ කල යුතුයි. එසේ ප‍්‍රශ්ණ නොකිරීම ජනතාව සිය වගකීම පැහැර හැරීමකි. 

එ් නිසාම, ජනතාවගේ බදු මුදල් වලින් ලක්ෂ පහක් - නිලධාරින්ට ගෙවීමට සිදුව තිබේ.

 සම්පත්ගේ කතාව -  වීඩියෝව ලින්ක්........
https://www.youtube.com/watch?v=HsQWiKWWnsE

No comments:

Post a Comment