Saturday, May 27, 2017

පානදුර SSP කාර්යාලයේ දස වධයට ලක්වුණේ වෙසක් බලන්න ගිය කරුමයටද?



වෙසක් බලා පින් රැස්කරගෙන නිවසට එන අතර, අසල CCTV කැමරාවක සටහන් වීම කරුමය විය. දිසානායක, බිරිඳ සමග මැයි 13 රාත‍්‍රියේ වෙසක් බලා පින් රැස්කරගෙන පැමිණීමේ සතුට රැඳුනේ දින 11 කි. 

පෙදරේරුවකු වූ දිසානායකව පානදුර SSP  කාර්යලයේ පවත්වාගෙන යන 
”යුනිට්” එකේ නිලධාරීන් නිවස අසලදී පැහැර ගන්නේ මැයි 24 උදේ 8.30 ට පමණය. ත‍්‍රීවිලරයක දමාගෙන, මාංචු දමා, අන් අයට නොපෙනෙන සේ පානදුර වෙරළබඩ තිබෙන එම කාර්යාලයේ පවත්වාගෙන යන වධකාගාරයට රැුගෙනවිත් යේ නිරුවත් කර වධයට ලක්වීමේ හේතුව  13 වන දා රාත‍්‍රියේ වෙසක් බැලීමට යෑමය. එදින අසල්වැසියෙකුගේ නිවස සොරුන් බිඳ ඇත. අසල CCTV කැමරාවල ගෙදර එන දිසානායක යුවල සටහන්ව තිබින.

දිසානායකව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන වධයට පාත‍්‍ර කිරීම එදිනම පැමිණිලි කිරීමට නොගියේ එසේ නොකරන ලෙසට ඔහුට කර තිබූ තර්ජන නිසාය. එහෙත් තමාව නොකළ සොරකමකට හා ප‍්‍රදේශයේ නොවිසඳන ලද සොරකම් රැසකට සම්බන්ධ කිරීමට උත්සාහයක පොලීසිය සිටින බව අසල්වැසි අපරාධ වින්දිතයාගෙන් ම ඔහුට දැන ගන්නට ලැබිණ.

එම අපරාධ වින්දිතයාගෙන් හා දන්නා හඳුනන පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව ඔහු විසින් පොලිස්තිට, මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂන් සභාවට කර ඇති ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2017 මැයි 24 වන දින උදේ 8.20 ට පමණ, මා ගෙදර වැඩ කරමින් සිටින විට, කුසුම්සිරි නැමති අය මට කිව්වා, සිලින්ඩර 04 ක් බස්සන්න කෙනෙක්ව හොයන්න කට්ටියක් ඇවිත්, යන්න හමුවෙන්න කියා. මම ඔහු සමග ත‍්‍රී රෝද රථයක් නවතා තිබූ තැනට ගියා. එහි රියදුරු සමග තුන් දෙනෙක් හිටියා. ඇතුළේ හිටිය අයෙක් කිව්වා, ‘‘මාමා’’ අපි වැඬේ බලන්න යන්, පිරිවෙන ළඟට යන්න තියෙන්නේ, ගෙනත් බස්සන්න පු`ඵවන් කියා. මම එකඟව ත‍්‍රීවිල් එකට නැග්ගා. 

එසේ නැග්ග ගමන්, ත‍්‍රී රෝද රථය, පන් ගැන්වූවා. එහි සිටි අයෙක් මාව ඇද අනෙක් කෙළවරට තබා තද කරගෙන, මට මාංචු දැම්මා. මාව, පුඤ්ඤනන්ද මාවතෙන්, පිරිවෙන පාර දිගේ, ගාලූ පාරට ඇවිත් රන්කොත් විහරය අසලින්, පානදුර වෙරළේ, පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන ආවා. එහිදී මාව බස්සවා ඔෆිස් කාමරයකට ගෙන ගියා. 

එම කාමරයේදී ලැප්ටොප් එකේ තිබූ පිංතූර පෙන්වා, බලා ගනින් කවුද කියා, එහි සිවිල් පිට හිටිය නිලධාරියා මට කිව්වා. මම කිව්වා ඉස්සරහින් ඉන්නේ මම, පිටුපසින් ඉන්නේ පවුල කියා. ඉන්පසු පිංතූර පෙන්නා කව්ද කියා මගෙන් ඇසුවා. එ් පිංතූර අපැහැදිළියි. මම දන්නේ නැහැ කිව්වා. එම නිලධාරියා මට අම්මා මතක් කරමින් බැන, උඹේ ගෑනිට හු..... එන හොර එකා ද කියා ඇහුවා. එ් ආකාරයට මට කුණුහරුප කියමින් මුගෙන් කියවා ගන්න හැටි දන්නවා, ‘‘නයි කොච්චි’’ ගෙනෙන් යයි කිව්වා. එහිදී මාගෙන් ප‍්‍රශ්න කරන අතර, මාගේ සාක්කුවේ තිබු, මුදල්, ලියකියවිලි ගත්තා. ජාතික හැඳුනුම්පත බලා මාගේ විස්තර ලියා ගත්තා. කුණු හරුප කියමින් මාගෙන් තොරතුරු අසිමින් ලියා ගත්තා. එසේ ලියා ගත්තේ වෙනත් නිලධාරියෙක්.

ඊට පසුව මාව පිටුපස කාමරයකට ගෙන ගියා. එම කාමරයේ ඇඳන් තිබුණා. පොලිස් නිල ඇඳුම් එල්ලා තිබුණා. කාමරයේදී නැවත අම්මා මතක් කරමින්, මාගේ බිරිඳ හා දරුවන් ද පාවා දෙමින්, අමු කුණුහරප කියමින් මට දමා තිබූ එක් අතක මාංචු ගලවා, ඇඳුම් ගලවපන් කිව්වා. මම ඇඳ සිටි සරම හා ෂර්ට් එක ගැලෙව්වා. යට ඇඳුම පිටින් මාව තබා, බිත්තියට අමුණා තිබූ දම්වැලට තියා මාව මාංචුවෙන් ඇමුණුවා. එසේ විනාඩි තිහක් විතර ඉතා අසීරුවෙන් දණ ගහගෙන හිටියා. එ් අතර ඇඳක පත්තරයක් බලමින්, සිවිල් ඇඳුමින් සිටි නිලධාරියෙක්, උඹ කියපන්් අරුන් ව අඳුරනවා කියා කියමින් මට විටින් විට කියා සිටියා. ඉන්පසු දම්වැලින් මාංචුව ගලවා මට ඇඳගන්න කියා, අත් දෙකට මාංචු දමා නැවත ඔෆිස් කාමරයට ගෙන ගියා. එහිදී නැවත නැවත මාගෙන් ප‍්‍රශ්න කරමින් බනිමින් තර්ජනය කරමින් ලියා ගත්තා. එහිදී එක් අයෙක් සාක්කුවෙන් පිස්තෝලයක් ඇද, එය මේසය මත තබා, මේ පිස්තෝලය මුගේ ගෙදර තිබිලා ගෙනාවේ කියා, මට කියා බලයෙන් එය අල්ලවා, පත්තරයක ඔතා අයින් කර, මොනවද ලියා එතැනට මාගෙන් අත්සන් ගත්තා. විටින් විට මට තර්ජනය කරමින්, ලියමින්, මගෙන් අත්සන් ගත්තා. මෙ ආකරයට සවස 2.00 පමණ වනතුරුම මාව තියා ගත්තා. එ් අතර මාගේ බෙල්ල කැරකෙව්වා. ඔලූවට බෙල්ලට පහර දුන්නා. මා හට එසේ බැන තර්ජනය කරමින් පහර දුන් නිලධාරයා, ඔහු ළඟට ගෙන්වා හිරගෙදර යන්නද, ගෙදර යන්නද කැමති කියා, ඇසුවා. මම ගෙදර යන්න කැමතියි කිව්වා.

ඊට පසුව ඔහු ලිව්වා, පොලීසියේදී කිසිදු කරදරයක් වුනේ නැහැ කියා. මම එයට අත්සන් කළා. 

ඊට පසු මාංචු ගලවා,  ඕකාව මෝටර් සයිකලේකින් ගිහින් දාපන් කිව්වා. මාව ජීප් එකේ ගෙනියන්න එපා කිව්වා. රතු මහත සිවිල් ඇඳුමින් සිටි අයෙක් මාව මෝටර් සයිකලේකින්, මොරවින්න හන්දියට මාව ගෙනත් බස්සවා, මේ ගැන ගෑනිටවත් කියන්න එපා, කියා තර්ජනය කළා.

2017.05.24 වන දින, උදේ 8.20 ට පමණ මාව, පෙර සඳහන් කළ පරිදි, පොලීසියෙන් පැහැරගෙන යෑමට පෙර, 2017.05.21 දින උදේ 10.30 ට පමණ, සිවිල් පිට දෙදෙනෙක් පැමිණ, තමන් පොලීසියෙන් බව ප‍්‍රකාශ කළා. ඔවුන් ”මාමා” ගෙන් පොඩි ප‍්‍රශ්නයක් දැනගන්න  ඕන කියා කිව්වා. ඔවුන් අසා සිටියා නිවස අසල සිටි වෛද්‍යවරයාගේ නිවස හොරු බිඳලා, අපිට හොරු අල්ලන්න උදව් කරනවාද කියා. එම ගෙදර 2017.05.13 වන දින හොරු බිඳලා තිබුණා කියා දන්නවා. මමත් බිරිඳත් උදව් කරන්න කැමති බව ප‍්‍රකාශ කළා. එවිට එම නිලධාරීන් තොරතුරක් තියනවානම් දන්වන්න කියා දුරකථන අංක හා නම් ලියා දුන්නා. 077 5175200 චමින්ද හා 071 2074625 මධුරංග වේ. 

මෙම නිලධාරීන් දෙදෙනා, 2017.05.24 දින උදේ 8.30 ට පමණ, ත‍්‍රී රෝද රථයෙන් මාව පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන යන විට එ් අසල සිටිනවා මා දුටුවා. 2017.05.24 දින මාව වෙරළබඩ පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන ගොස්, ශාරීරිකව වධහිංසා පමුණුවා, අවමන් සහගත සැළකිලවලට භාජනය කොට, බිය වැද්දීම නිසා එ් පිලිබඳව කිසිවකුට පැමිණිලි කිරීමට මා බිය වූවා.

2017.05.26 දනි, රාත‍්‍රී 8.00 ට පමණ නිවස අසල සොරු බිඳීමට ලක්වූ, නිවසේ වෛද්‍යවරිය හා ඇයගේ සැමියා වන සම්පත් මහතා, මාගේ ඥති දියණියගේ නිවසේ සිට මට කථා කොට, අපි නම් මාමා ගැන කිසිම දෙයක් පොලීසියට කියලා නෑ, නමුත් මාමා ගැන සියයට 98 ක්ම පොලීසිය සැක කරන බව දන්නවා, කියා, පු`ඵවන් තරම් ඉක්මණින් පියවරක් ගන්න යැයි කිව්වා.’’  

පොලීසිය වධ දීම්, බොරු නඩු දැමීම්, නතර කර නැත. නතර කරන්නේද නැත. එයට සිවිල් සමාජය වගකිව යුතුය.






No comments:

Post a Comment