පොලිසියෙන් කණ පලලා අවුරුදු හයයි. බුදු සරණයි!! දෙවි පිහිටයි!!!

                                
    ‘‘2012.05.11 දින මා, හතරමංහන්දියේ ත‍්‍රී රෝද රථ ගාලේ නවත්වාගෙන හිටියා. වෙසක් තොරණ යටගල පන්සලේ තිබුණා. සෙනග පිරිලා. රාත‍්‍රී 9.15 ට පමණ එතනට, රතුපාට පල්සර් යතුරුපැදියෙන් සිවිල් පිට උප පොලිස් පරික්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මා ළඟට ආවා. එයා තනියෙන් ආවේ. එ් වෙලාවේ එතන තිබුණේ මාගේ ත‍්‍රී රෝද රථය පමණයි. ඔහු වාඩිවී සිටි මට බැහැපන් කිව්වා. මම බැස්සා. මගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන උඹ බීලා නේද ඉන්නේ කියා කියමින් මගේ කණට දෙතුන් පාරක් ගැහුවා. මම ගහන්නේ ඇයි කියා ඇහුවාම උඹ බීලා ඉන්නේ කිව්වා. මම කිව්වා මම බීලා නෑ, කවදාවත්ම බොන කෙනෙක් නෙමෙයි කියලා.
මගේ කට ඉඹලා, මම දැන් පන්සලට යනවා, එනකොට ඔතන ඉන්න එපායි කියා යන්න ගියා. ඔහු යනකොට මම කිව්වා, මම පැමිණිලි කරනවා කියා. එවිට නැවත හැරී ඇවිත් ඉනේ තිබූ රිවෝල්වරය ඇද මාව ත‍්‍රී රෝද රථයට හේත්තු කර රිවෝල්වරය පපුවට තබා පොලීසි ගිහින් තිබුණොත් බල්ලෙක් වගේ මරලා දානවා කිව්වා. 

ඉන්පසු බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් තුනටියට ඇන්නා. ඊට පස්සෙ මට කිව්වා ආයෙත් මෙතන ඉන්න එපා, මම එනකොට හිටියොත් කුඩු හරි ආයුධයක් හරි දාල මාස 06 කට අච්චුව දෙනවා කියමින්, පන්සලට ගියා.

මම ත‍්‍රීවීල් එකේ පාපුවරුවේ වාඩි වුණා. නැගිට ගන්න බැරි වුණා. මට නොපෙනී ගියා. තුනටිය රිදෙන්න ගත්තා. වමනේ යන්න පටන් ගත්තා. එය දුටු රවීන්ද්‍ර කියන තී‍්‍ර රෝද රියදුරා මාව, ඌරගස්මංහන්දිය පොලීසියට ගෙන ගියා. එහි සිටි ස්ථානාධිපති මට බැනලා පන්නා ගත්තා. 

ඊට පස්සෙ මම ගෙදර ගියා. මට හොඳටම අමාරු වුණා. ගෙදර අය මාව ඇල්පිටිය රෝහලට ගෙන ගියා. රෝහලේ මාව නවත්වා ගත්තා. මගේ පොඩි අයියා ඇල්පිටය පොලීසියට ගොස් පැමිණිල්ලක් දාලා තිබුණා.

පහුවදා, 2012.05.12 දින උදේ 8.30 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ පොලිස්කාරයෝ පස් දෙනෙක් මාව බලන්න ආවා. ඔවුන් ක‍්‍රීම් ක‍්‍රැකර් ගෑම් 500ක පැකට් එකක් හා ග‍්‍රෑම් 400 නෙස්ටමෝල් පැකට් එකකුයි අරන් ආවා. 

ස්ථානාධිපති මට කිව්වා තව ටිකකින් ීඡු කාර්යාලයෙන් එයි කියා. ඔවුන් ආවාම ඔවුන්ට කියන්න කිව්වා, පැමිණිලි දාන්න ආවා, කණේ අමාරුව නිසා පැමිණිල්ල ලියනකම් ඉන්නේ නැතිව රෝහල්ගත වුණා කියලා.

මට  ඕන උදව්වක් දෙන්නම් කිව්වා. මට ලයිසන් තිබුණේ නෑ එ් වෙන කොට. මට කිව්වා මාස 06 කට ටෙම්පරියක් දෙන්නම් කියා. මට ඔහු ජංගම දුරකථනයේ නොම්මරය දුන්නා. 

දහවල් 11.00 ට පමණ ඇල්පිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙක් පැමිණ ප‍්‍රකාශක්් ගත්තා. සම්පූර්ණ විස්තරය කිව්වා. මම අත්සන් කළා.

දවල් 1.00 ට පමණ මාව, රෝහලෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර හරිණු ලැබුවා. මම 18 වෙනිදා දක්වා දින 06 ක් කරාපිටිය රෝහලේ සිටියා. මම රෝහලේ ඉන්නකොට වාට්ටුවේ දොස්තර මහත්වරු, හෙදියන් මට කිව්වා, එළියට යන්න එපා, අපිට කෝල් එනවා, ටිකට් කපන්නේ නැතිව තියා ගන්නේ ඇයි කියා අහමින්, මම බොරු කරනවා කියා.

කරාපිටිය රෝහලේ එතකොට සේවය කරමින් හිටියා, ඌරගස්මංහන්දිය රෝහලේ හිටපු දිසා වෛද්‍ය නිලධාරීයා. මාගේ ටකට් කපන්නට වාට්ටුවේ ෙදාස්තරවරුන්ට බලපෑම් කළ බව දැනගන්නට ලැබුණා. එ් අතර දිනයක කරාපිටිය රෝහලේ, රෝහල් පොලීසියෙන් ද ප‍්‍රකාශයක් ලබා ගත්තා. එම නිලධාරීන් ද මට උපදෙස් දුන්නා එළියට යන්න එපා කියා.

මට දැනගන්න ලැබුණා, බලපෑම් කරන්න මූලික වෙලා තිබුණේ මට ගහපු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා ඌරගස්මංහන්දිය බෝධිමලූව විහාරස්ථානයේ නායක, හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයා. ඔහු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා එකතු වී බොරු දිව්රුම් ප‍්‍රකාශයක් ද මානව හිමිකම් කොමිෂමට දීලා තිබුණා.

උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන කෑවේ, බීවේ, නැවතිලා හිටියේ බෝධිමලූව පන්සලේ. මෙම පන්සලේ එම දිනවල ප‍්‍රදේශයේ ගෑනු දෙන්නෙක් ගහගත්තා. එ් පිළිබඳ පැමිණිල්ල විභාග කළේ උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන. ඔහු මැදිහත් වෙලා ප‍්‍රශ්නය යට ගැහුවා. 

2013 වසරේ, මට මතක හැටියට, මෙම හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයාව පාත්තරයක තිබූ බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේද සිටියා."

මෙම කථාවේ විශේෂත්වයක් නෑ. මන්ද හැමදාම අපේ පොලිසියේ සිදුවන තවත් එක් සිදුවිමක්. විශේෂයක් නැහැ. තමන්ට හෝ තමන්ගේ එකෙකුට හෝ මේ සමාන දෙයක් සිදුවන තෙක් බලාගෙන ඉන්නවා. දේශප‍්‍රිය, එතකොට අවු: 35 ක අවිවාහකයෙක්. ඔහුට ජිවත්වීම හැර වෙනත් දෙයක් ගැන හිතන්න ඉඩක් තිබුන අයෙක් නොවෙයි.


ඔහු තම පවුල ගැන කියන්නේ කුමක්ද?

‘‘ නම ............දේශප‍්‍රිය, අවු: 39 යි, දරුවන් 01 යි, ත‍්‍රී රෝද රථ රියදුරු, 

2012 වසරේ අවු : 35 ක් වූ අවිවාහක මා, ඌරගස්මංහන්දිය පිහිටි, පැරඩයිස් ඇඟ`ඵම් කර්මාන්ත ශාලාවේ මැෂින් ක‍්‍රියාකරුවෙකු වශයෙන් රැුකියාව කළෙමි. එ් වන විට මා, වසර 5 1/2 පළපුරුද්දක් තිබූ, පුහුණු කම්කරුවෙක්.

දිවා වැඩමුරය තිබෙන දවස් වල සවස 5.15 ට වැඩ මුරය නිම වූ පසුව, නිවස බලා විත්, පැය 1/4 ක් පමණ විවේක ගන්නවා. ඉන්පසු මාගේ නංගීගේ නමට තිබෙන පවුලට අයත්, ත‍්‍රී රෝද රථය රැුගෙන ඌරගස්මංහන්දිය හතරමංහන්දිය අසල ත‍්‍රී රෝද රථ ගාලට පැමිණෙනවා.

එතැන් සිට රාත‍්‍රී 11.00 පමණ වන තෙක් හයර් කරනවා. එවැනි දිනක රුපියල් හයසීයක් පමණ උපයනවා. එය ගෙදර වියදමට ලබා දෙනවා.

මා ඉගෙන ගත්තේ පතිරාජ විද්‍යාලය හා යටගල විද්‍යාලයෙනි. 1994 සාමාන්‍ය පෙළ විභාගය ගත්තා. වැඩ දෙකයි සමත් වුණේ. අමතර පන්ති යන්න සල්ලි තිබුනේ නැහැ.

කුඩා කාලයේදී ම පියා බරපතල ලෙස රෝගී වුනා. රජයේ රැකියාව නැති වුණා. දැන් ඉඳහිට කුලී වැඩක් කරනවා. අසූ ගණන්වල කුවෙයිට් රටට අම්මා ගියා. ඇය යුද්දෙට මැදිව ආපසු ආවා. ලැබුණ වන්දියෙන් තමයි ත‍්‍රීරෝද රථය ගත්තේ, නංගිගේ නමට. 

අපි හිටියේ කටු මැටි ගෙයක. අම්මා වැඩ කරලා හම්බ කරපු මුදලින් කොටස් වශයෙන් කාමර දෙකක පොඩි ගෙයක් හදා ගත්තා. මේ වන විට මම ඉන්නෙ පියා හා මව සමග. 

වැඩිමහල් සහෝදරයා බස් රියදුරෙක්. විවාහ වෙලා. නංගී විවාහ වෙලා. කුලී වැඩ කරන්නේ. එ් අය පවුල එක්ක සම්බන්ධයි. හැකි පමණ උදව් කරනවා. තව සහෝදරයෙක් ඉන්නවා. රහස් පොලිසියේ.  බැඳලා ඉන්නේ ගුරුවරියක්. සම්බන්ධයක් නෑ. නිවාඩු නැහැලූ!! පොලිසියට විරුද්ධව ගිහිල්ලා වැඩක් නැතිලූ!!

සිද්ධියෙන් පසුව රැුකියාව නැතිවුනා. මට පහරදී බරපතල තුවාල සිදුකර, මා ආබාධිතයෙකු කළ  උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධනට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැහැ.  

මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් නිකුත් කරණු ලැබුවා. මට රු.25,000ක් වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කරලා දැන් මාස තුනක් වෙනවා, උත්තරයක් වත් නෑ. ’’

රටේ පිරිහීම කෙතරම්ද, නීතිය කඩා වැටීම කෙතරම් බරපතලද යන්න වටහා ගන්න පොඩි මිනහාට වෙන දේ ගැන කථා කළ යුතුයි. අපරාධයට ගොදුරුවන්නාගේ තරාතිරම අනුව ‘‘යුක්තිය’’ වෙනස් වෙන රටක රැකෙන්නේ කව්රුන්ද? 




Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment