Friday, June 19, 2020

නීතිය හා භාවිතය අතර පරතරය නැති කරන්න රජය ක‍්‍රියාකාරීව මැදිහත්විය යුතුයි.



2014 දී පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්, වසර හයක් ගතවූ විට, එනම් 2020.01.07 විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) හා 13(2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරන ලද පොලිස් කාරයින් දෙදෙනෙකුට, රු: 50,000/- බැගින්ද, රජය වෙනුවෙන් රු: ලක්ෂයක්, පොලිස් අරමුදලින්ද, පෙත්සම්කරුට ගෙවීමට නියම කරනු ලැබීය. ඒ 2020.06.16 දිනය.

තීන්දු ප‍්‍රකාශයට අනුව, මෙම නඩුව පවරනු ලැබුවේ, හෙට්ටිපොල පදිංචිකරුවෙකු වූ සමන්ත පෙරේරා නැමති දෛනික වැටුපක් ලබන කම්කරුවෙකු විසින්ය. හිටපු හමුදා සෙබලෙකි.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ 2013 දෙසැම්බර් 13 වන දින අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කෲර අමානුෂික වධ හිංසාවට හා අවමන් සහගත සැලකිල්ලට භාජනය කරනු ලැබූ බවයි.

ඔහුට වධ දී ඇත්තේ, ජංගම දුරකථනයක් සොරකම් කිරීම පිළිබඳව මොහොමඞ් ජලීල් නැමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

ඔහුට, ශ‍්‍රී ලංකා පොලීසියට ආවේනික වූ වධ දීමේ සියළු ක‍්‍රමයන් යොදා ගනිමින්, සමන්ත පෙරේරාට වධ දීමට පොලිස් කාරයෝ පියවර ගෙන තිබින.

2013/12/15 වන දින, සමන්තව පොලීසිය, සිය සුපරුදු ක‍්‍රමවේදය අනුගමනය කරමින් හෙට්ටිපොල රජයේ රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර, තමන්ට අවශ්‍ය අන්දමට අධිකරණ වෛද්‍ය පෝරමය පුරවා ගන්නා ලදි. 

2013/12/16 වන දින, මහේස්ත‍්‍රාත්වරයාට ඉදරිපත් කරන ලදි. සමන්ත පෙරේරා, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටියද, එ් බවට, ලිඛිත සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවද, පොලීසියේ ඉල්ලීම මත, සමන්තව, බෝයගනේ හමුදා පොලීසියට ඉදරිපත් කිරීමට, මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

බන්ධනාගාරය, සමන්ත පෙරේරාව, හමුදා පොලීසියට බාර දුන්නද, තමන්ට අවශ්‍ය නොවන, සමන්ත පෙරේරාව, මුදාහැරීමට බෝයගනේ හමුදා පොලීසිය පියවර ගත්තේය.

වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන් දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩාවට පත්ව සිටි සමන්ත පෙරේරා, වහාම හලාවත මූලික රෝහලට, ප‍්‍රතිකාර ස`දහා ඇතුළත් විය.

සමන්ත පෙරේරා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට පළමුව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන ලදි. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට පියවර ගනු ලැබීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම, 2020 ජනවාරි 17 දින විවාදයට ගන්නා ලදි. එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 2020 ජුනි 16 දිනය.

මෙම තීන්දුවෙන්, එවක හෙට්ටිපොල පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පො.ප. සමන්සිරි හා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුමනවීර, දිවුරුම් ප‍්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලද සිය`ඵ කරුණු ප‍්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, 11, 12(1), 13(1) හා 13(2) යන අයිතිවාසිකම් ඔවුන් දෙදෙනා හා පොලිස්පති උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරනු ලැබීය.

එම තීන්දුව, යළිත් වරක් එනම් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දු සිය ගණනකින් ප‍්‍රකාශ කර තිබූ තීන්දු හා ප‍්‍රකාශයන් සනාථ කරමින්, ශ‍්‍රී ලංකා පොලීසියේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන් වැළැක්වීමට රජය ක‍්‍රියාකාරීව මැදිහත්විය යුතුව තිබෙන බව සඳහන් කරයි.

2014 පවරන ලද මෙම නඩුවට වසර හයකට ආසන්න කාලයක් ගෙන ලබාදුන් තීන්දුව මගින් වින්දිතයා වූ සමන්ත පෙරේරා ට රුපියල් ලක්ෂ 2 ක වන්දියක් පිරිනමා තිබේ.

ඒ අනුව, පො.ප. සමන්සිරි හා උ.පො.ප. සුමනවීර රු: 50,000/ බැගින්ද, රජයේ වගකීම පැහැර හැරීමට රුපියල් ලක්ෂයක්, පොලිස් අරමුදලින්ද ගෙවීමට නියම කර තිබේ.

මෙම තීන්දුවෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව, පිළිගෙන, අත්සන් තබා තිබෙන, එක්සත් ජාතීන්ගේ වධ හිංසාවට එරෙහි සම්මුතිය පිළිබඳව රජයට සිහිකැඳවා තිබේ.

සම්පූර්ණ නඩු තීන්දුව සදහා යොමුව:-  http://www.janasansadaya.org/uploads/files/sc_fr_296_2014.pdf

No comments:

Post a Comment