පොලිස් අපරාධ කරුවන්ව ආරක්ෂා කිරීම යහපාලනයද?


මේ අගමැතිගෙන්, පොලිස්පතිගෙන් හා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අසන ප‍්‍රශ්නයයි.  
යහපාලනයක්, එනම් නීතියේ ආධිපත්‍යය රැුකීමක්, මහජන මිත‍්‍රශීලි, දුෂණයෙන් තොර, අභිමානවත් පොලීසියක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගීමට ඉතා සු`ඵ හෝ අපේක්ෂාවක් තිබෙනවා නම්, අපරාධ වලට වැරදිකරුවන් වු, මුලික අයිතිවාසිකම් කඩකළ, බොරු සාක්ෂි දුන් දුෂිත පොලිස් නිලධාරින් ව ආරක්ෂා කරිමෙන් වැළකී සිටිය යුතුය.

මෙම මස, එනම් 2017.01.19 දින ප‍්‍රකාශයට පත් කරන ලද අංක SC/FR 608/2008 මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන සහ 13 (2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කළ   මොරටුව පොලිස් ස්ථානයේ සේවය කළ, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනාට එරෙහිව විනය පියවර ගෙන දණ්ඩ නීති සංග‍්‍රහය හා වධහිංසා පනත යටතේ නඩු පැවරීම කළ යුතුය.

2008 ජූලි 05 වන දින ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් දෙදෙනා වන පො.ප. අංගගේ දමිත චන්දිමාල් සහ  පො.කො. කාවින්ද ත‍්‍රීරෝද රථයකින් පැමිණ මෙම නඩුවේ පෙත්සම්කරුූ, පෙදරේරුවකු වු සරත් කුමාර නයිඩෝස් ව අත්අඩංගුවට ගෙන දින 07 ක් පුරා නීති විරෝධීව රඳවාගෙන වධහිංසා පමුණුවා 2008 ජූලි 12 වන දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.


සරත් කුමාර නයිඩෝස් ට විරුද්ධවත (අ)නිවසක් බිඳ කරන ලද සොරකම් කිරීමකට නඩුවක් - නඩු අංක 89984, (ආ) රන් මාලයක් මංකොල්ල කන ලද බවට නඩුවක්, නඩු අංක අංක 89084 සහ (ඇ) කුඩු නඩුවක් - අංක 90215 යටතේත වශයෙන් නඩු තුනක් පවරණු ලැබීය.


හෙරොයින් මිළි ග‍්‍රැම් 2300ක් (ග‍්‍රෑම් 2.3ක්) අඩංගු කුඩු පැකට් 02ක් ළඟ තබා ගත් බවට වන අංක 90215 ‘‘කුඩු නඩුවට’’, සරත් කුමාර නයිඩෝස්ව රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය. මෙය පොලීසියේ භාෂාවෙන් ‘‘හයිකෝට්’’ නඩුවකි. මහේස්ත‍්‍රාත්ට ඇප ලබාදිය               නොහැක. ඇප දිය හැක්කේ මහාධිකරණයට පමණි. 

ඇප ලබාගන්නා තෙක් වසර 1 1/2 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට ඔහුට සිදු විය. ඇප ලබාදීම අදාල තීන්දු ප‍්‍රකාශන මගින් මහාධිකරණය මෙය ව්‍යාජ නඩුවක් බව පිළිගෙන එ් පිළිබඳව සටහනක් ද යොදනු ලැබීය. එහි මෙසේ සඳහන් වේ.

 ‘‘ නි යෝ ග  ය.
2008.07.12 දින හෙරොයින් මිලිග‍්‍රෑම් 2300 ක් ළඟ තබා ගත්තේ යයි චෝදනා නගමින් පෙත්සමේ නම සඳහන් සරත් කුමාර නයිඩෝස් නම් සැකකරු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවට කරුණු දක්වයි. එම සැකකරු 2008.07.13 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දක්වා රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බැවින් පෙත්සමේ සඳහන් කරුනු මත ඔහුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

2009.11.06 දින මෙම ඇප ඉල්ලීම පිළිබඳ විමසීමට ගත් අවස්ථාවේදී දෙපාර්ශවය වෙනුවෙන් දක්වන ලද කරුණු පිළිබඳව සැළකිල්ලට ලක් කළෙමි.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥ මහතා දීර්ඝ වශයෙන් ඇප ලබාගැනීම සඳහා කරුණු දක්වා ඇත. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ සැකකරුට විරුද්ධව අසත්‍ය චෝදනාවන් පොලීසිය විසින් ගොනු කර ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගත්තා යැයි කියනු ලබන දින වන විට සැකකරු වෙනත් වරදක් සඳහා 2008.07.05 දින මොරටුව පොලිස් නිධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 2088.07.13 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඔහු මොරටුව පොලීසියේ රඳවාගෙන සිටි බවයි. එ් බව සනාථ කිරීම සඳහා ලේඛණ කිහිපයක්ම අධිකරණයට ඉදිරිපත් කර ඇත. සැකකරු එදින සිට පොලිස් ස්ථානයේ සිටි බවට සනාථ කරන දිව්රුම් ප‍්‍රකාශ කිහිපයක්ම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම නිලූකා ද සිල්වා නම් නීතිඥවරියක් ද 2008.07.12 දින මෙම සැකකරු බැලීම සඳහා මොරටුව පොලීසියට ගිය බවත් එදින ඔහු පොලීසියේ රඳවා සිටි බව දුටු බවට දිව්රුම් ප‍්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එකී දිව්රුම් ප‍්‍රකාශයේ සහතික පිටපතක් ‘එෆ්’ ලෙස ලකුණු කර පෙත්සම සමග ඉදිරිපත් කර ඇත. ඊට අමතරව පෙත්සම්කාරියගේ සහ තවත් කීප දෙනෙකුගේම දිව්රුම් ප‍්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට අවධානය යොමු කළ යුතුය. සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියේ උසස් නිලධාරීන්ට සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ජාතික පොලිස් කොමිෂමටත් ලිඛිතව පැමිණිලි කර ඇති බවට ද පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දක්වා ඇත.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ මහතා දක්වන ලද කරුණු පිළිබඳව සළකා බලා ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය ද අධිකරණයට සැලකර ඇත.

මොරටුව පොලීසිය විසින් පවසා ඇති දිනයන්හි සැකකරු අත්අඩංගුවට ගත්තාද, නැද්ද යන්න පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් මේ අවස්ථාවේදී පැවැත්විය නොහැකි නමුත්, පෙත්සම සමග ඉදිරිපත් කර ඇති දිව්රුම් ප‍්‍රකාශ පිළිබඳවත්, අනෙකුත් ලේඛණපිළිබඳවත් අවධානය යොමු කිරීමේදී බොහෝ දුරට පෙත්සම්කාරිය වෙනුවෙන් දන්වන ලද කරුණු පිළිබඳව බැලූ බැල්මට අධිකරණයට සෑහීමකට පත්විය හැකිය. එ් අනුව පහත සඳහන් කොන්දේසි මත සැකකරුට ඇප නියම කරමි.’’

මහේස්ත‍්‍රාත් උසාවියේ පවරන එකී නඩු අතරින් අංක 89084, රන්මාල මංකොල්ල කෑම නඩුව - පොලීසිය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි.   


දීර්ඝ නඩු විභාගයකින් පසුව, නිවසක් බිඳ කරන ලද සොරකම් කිරීම යන චෝදනාව යටතේ වු අංක 89984 නඩුවෙන් සරත් කුමාර නයිඩෝස් ව නිෙදාස් කොට නිදහස් කරණු ලැබීය.


මහේස්ත‍්‍රාත් අධිකරණයට ‘‘කුඩු’’ මිළි ග‍්‍රැම් 2300ක් තිබු බවට සඳහන් කරමින්, ව්‍යාජ වාර්තාවක් අධිකරණයට සපයන ලද්දේ, සරත් කුමාර නයිඩෝස් ට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීම වැළැක්වීමට ය. මෙම ව්‍යාජ චෝදනා නඩුව පවරන ලද්දේ සරත් කුමාර නයිඩෝස් ගේ ඥතීන් මානව හිමිකම් කොමිෂම ට, මොහුගේ නීති වාරෝධි අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා වධදීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරිම ට පළිගැනීම සඳහාය. 


කෙසේවෙතත්, 2010. 02. 23 දාතමින් යුත් අංක 90215 දරන, කුඩු නඩුවට අදාල රස පරික්ෂකගේ වාර්තාවට අනුව, එක් පැකට්ටුවක තිබී ඇත්තේ හෙරොයින් මිළි ග‍්‍රැම් 80ක් (ග‍්‍රැම් 0.080ක්) හා මෝෆින් මිළි ග‍්‍රැම් 14ක් (ග‍්‍රැම් 0.014ක්) පමණි. අනෙක් පැකට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් තැවරුණු කුඩා කඩදාසි කැබලිය. රස පරික්ෂක වාර්තාව අනුව කුඩු නඩුව ‘‘හයිකෝට්’’ එකක් නොවීය.

           අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ගෙන් පළිගැනීමට, තෙවන පාර්ශවයක් සතුටු කිරිමට
           විශේෂයෙන් තම නොහැකියාවන් වසන් කිරීමට, යටපත් කරගැනීමට හා තම නරුම හා
           පරපීඩක ආසාවන් තෘප්තිමත් කර ගැනීමට පොලිස්කාරයින් ගේ මෙවන් ක‍්‍රියාවන් 
           සුලබය. ඉහළ නිලධාරින් ගේ පූර්ණ සහය හා ආවරණය ඇතිව සිදුවේ.


දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  මෙම නඩුවෙන් ද සරත් කුමාර නයිඩෝස් නිෙදාස් කොට නිදහස් කරන ලදි. මෙම නඩු විභාගයේදි පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා බොරු සාක්ෂි දුන් බවට ඔප්පු විය, 


සරත් කුමාර නයිඩෝස් ව නීති විරෝධීව රඳවා තබාගැනීම හා වධහිංසා පැමිණවීම පිළිබඳව ඔහුගේ බිරිඳ පී.ඞී. ශිරාණි මහත්මිය විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ කළ බව ප‍්‍රකාශ කරන එවකට සහකාර පොලිස් අධිකාරී, බ.ප. දකුණ ජී. නිශාන්ත ද සොයිසා ඔහුගේ එ්.එස්.පී./ස/ඩබ්.පී.එස්./ ඕ.ඩබ්./589/10 හා 2010.07.23 ලිපියෙන් ඇයට දන්වා සිටින්නේ, තමා එ් පිළිබඳව කරන ලද පරීක්ෂණ වලදී  පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) ව්‍යාජ නඩු පැවරීමක් හෝ පහර දීමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බවයි. 

    මෙයින් පැහැදිළි වන්නේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ බරපතල වංචාවක් බවයි. එසේ නැතිනම් මොහු ද මෙම නීති විරෝධී ක‍්‍රියාවට හවුල් කරුවකු බවය. 


මානව හිමිකම් කොමිෂම ට පැමිණිලි කිරිම හා මුලික අයිතිවාසිකම් නඩුව පැවරිම මත සරත් කුමාර නයිඩෝස් ට එරෙහිව ව්‍යාජ නඩු පැවරීම හා මෙම පොලිස් නිලධාරින් හැසිරුණු ආකාරය ද විවිධ අවස්ථාවලදී කරන ලද අයුතු බලපෑම්, අගමැතිගේ, පොලිස්පතිගේ හා ජාතික පොලිස් කොමිෂමේ අවධානය ට යොමුවිය යුතුය.


මෙම නඩුවේ තීන්දුව, 2017.01.19 දින අගවිනිසුරු කේ. සිරිපවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි.


සරත් කුමාර නයිඩෝස් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් නොකොට වධ දෙමින් රඳවා ගෙන සිටින විට, පවුලේ සාමාජිකයින් පමණක් නොව, ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂම වෙත දැණුම් දෙන ලදි. 

දින 07 ක් පුරා මොරටුව පොලීසියේ රඳවා ගෙන සිටි කාලය තුල විමර්ශන නිලධාරියෙකු මොරටුව පොලීසියට හෝ ඉන් පසුව වසර 1 1/2, මොහුව රඳවා සිටි වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට හෝ යවා විමර්ෂණ කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගත්තේ නැත. එ් හා අදාලව කරන ලද ඉල්ලීම් පිළිබඳ සටහන් අදාල ගොනුවලට ඇතුළත්ව නොකිරීමටද වග බලා ගන්නා ලදි. 


මෙම පොලිස් නිලධාරින් දෙදෙනා, එනම් නඩුවේ වගඋත්තර කරුවන් හා ඔවුන්ගේ නීතිඥවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව ඉවත් කර ගැනිම සඳහා කරන ලද බලපෑම් සියල්ල අසාර්ථක විය. ඉන් අනතුරුව මෙම වගඋත්තර කරුවන්ගේ නීතිඥවරුන්ගේ උත්සහය වූයේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පදනම් කරගෙන විරෝධතා මතු කිරීමටය. එම විරෝධතා මත, පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගන්නා ලදි. 

වසර අටක් ගතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාගයට ගන්නා විට, මානව හිමිකම් කොමිෂම් සභ ගොනුව වසා, ඉවත් කර දැමීමට පියවර ගෙන තිබින. වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ජේ්‍යෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා, මෙම අවස්ථාව එන විට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු වශයෙන් පත්ව සිටින ලදි.

මෙම පසුබිම යටතේ, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල පිළබඳව කාරණය සම්බන්ධයෙන් හඹා නොයන බව වගඋත්තර කරුවන් ගේ නීතිඥ අධිකරණයට දැනුම් දෙන ලදි.

මොරටුව පොලිසිය විසින් වධ දෙමින්, නීති විරෝධීව රඳවා ගෙන සිටි කාලය තුළ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලිම මත මොරටුවේ නීතිඥ ෂර්මිලා මිය දෙවරක් ද, ක`ඵතර නීතිඥ නිලූකා ද සිල්වා මහත්මිය වරක් ද මොරටුව පොලීසියට ගොස් සරත් කුමාර නයිඩෝස් බැහැ දකිනු ලැබීය. 

මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයේදි සහ ශ්‍රේෂඨාධිකරණ නඩු විභාගයේදී දෙවරක් මුදල් ගෙන මොරටුව පොලීසියට ගොස් සරත් කුමාර නයිඩෝස්ව බැහැ දුටු නීතිඥ ෂර්මිලා මිය, එ් බව සාක්කියක් දීමට හෝ දිව්රුම් ප‍්‍රකාශයක් දීමට ඉදිරිපත්වීම ප‍්‍රතික්ෂේප කරන ලදි. 

නීතිඥ නිලූකා මහත්මිය, මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයේ දී එම බැහැ දැකීම ගැන සාක්කියක් දුන් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදි එම බැහැ දැකීම දිව්රුම් ප‍්‍රකාශයක් මගින් තහවුරු කිරිමට ද පියවර ගත්තේය.  

සරත් කුමාර නයිඩෝස් ගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බවට වන නිගමනයට තමන්ට එළඹීමට පහසු වූයේ, මොහුට විරුද්ධව මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩු වලදී, ඔහුව නිෙදාස් කර නිදහස් කරමින් ලබාදෙන ලද නඩු තීන්දු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කර සිටී. එම තීන්දුවල උද්ධෘතයන් ද ඇතුළත් කර තිබේ. 

‘‘පොලිස් පරීක්ෂක දමිත පෙරේරාගේ සාක්ෂිය, මෙම නඩුවේදී චූදිතට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබුණද ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කටයුතු කර ඇති බව ඉතා පැහැදිළිය. එසේම ඔහු අධිකරණය ඉදිරියේ අසත්‍ය සාක්ෂි දී ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත. එසේම ඔහු හරස් ප‍්‍රශ්නවලට උත්තර දෙමින් මෙම විත්තිකරුගේ සාක්කුවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 23 ක් සොයාගත් බවට අසත්‍ය සාක්ෂියක් දී ඇත. එ් ආකාරයට අසත්‍ය සාක්ෂියක් දී ඇති බව නිගමනය කළ හැක්කේ එ් බව මෙම නඩුවට අදාල අපරාධය සම්බන්ධයෙන් දෙවන අවස්ථාවේදී තොරතුරු ඉදිරිපත් කළ බී වාර්තාවේ එ් බව සඳහන් නොවීම තුළින්ය. එසේම එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් විත්තිකරු ඉතා පැහැදිළි සාක්ෂි දී ඇත. ඔහු අධිකරණය ඉදිරියේ හරස් ප‍්‍රශ්නවලට භාජනය වෙමින් දිව්රුම් පිට පැහැදිළිව පවසා ඇත්තේ දමිත් පෙරේරා යන පොලිස් නිලධාරියා ද්වේශ සහගතව ඔහුට නඩු පවරා ඇති බවය. එහෙත් සාක්කුවේ තිබී කිසිදු නඩු භාණ්ඩයක් සොයා නොගත් බවත් හෙරොයින් පැකට් 23 ම ඔහු සන්තකයේ නොතිබුණ බව ඔහු සාක්ෂි දී ඇත. එසේම විත්තිකරු අත්අඩංගුවට ගත්තේ 2008.07.05 වන දින බවත් 2008.07.13 වන දින එනම් ඉරිදා දිනක විත්තිකරුව විනිසුරු වෙත ඉදිරිපත් කළ බවත් ඔහු අධිකරණයේදී දී ඇති සාක්ෂි සත්‍ය සාක්ෂි ලෙස සැලකිය හැකිය. එය තහවුරු වන්නේ පොලීසිය විසින් තොරතුරු වාර්තා කිරීමේදී විත්තිකරු අත්අඩංගුවට ගත්තේ ස්ථානයේදී හෝ කුමන දිනයේදී ද යන්න අධිකරණයට වාර්තා නොකිරීම තුළින්ය. එයින් නිගමනය කළ හැක්කේ මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් මෙම නඩුවේ අපරාධ සම්බන්දයෙන් පරීක්ෂණයබසිදුකළ යැයි කියන දමිති පෙරේරා යන පොලිස් නිලධාරියා නීති විරෝධී ලෙස විත්තිකරු 2008 .07.05 වන දින සිට 2008.07.13 වන දින දක්වා පොලිස් සිර මැදිරියේ රඳවා ගෙන එදින පූර්වගාමී විනිසුරුතුමා වෙත ඉදිරිපත් කර ඇති බවය. ’’

මෙහිදී සරත් කුමාර නයිඩෝස්ට එරෙහිව මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති සිය`ඵ ම නඩුවලට පෙනී සිටි නීතිඥ ජානක අමරසිංහ මහතාගේ උත්සාහය මත හෙළිකර ගන්නා ලද සත්‍යය කරුණු මත ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කරමින් තීන්දු ප‍්‍රකාශ වූ බව අවිවාදාත්මකය. මෙම නඩු විභාග වූයේ එවක මොරටුව දිසා විනිසුරු බී.ආර්. සෝමසිංහ මහතා ඉදිරියේය.

සරත් කුමාර නයිඩෝස් වෙනුවෙන් මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කිරීම හා ආරම්භක අවස්ථාවේ නීතිඥ ශාමේන් ගුණරත්න මිය පෙනී සිටි අතර, ඉන් අනතුරුව නීතිඥ අර්මිසා ටීගල් මෙනවිය ද පෙනී සිටියේය. 

පොලිස් නිලධාරීන් වන පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා හා පො.කො. කාවින්ද වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ධූරයට පත්වන තෙක් ජේ්‍යෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා ද, ඉන් අනතුරුව නීතිඥ අෂික දේවේන්ද්‍ර මහතා ද පෙනී සිටින ලදි.

පොලිස්පති හා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ අෂික දේවේන්ද්‍ර සහ ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් ය.

ශ‍්‍රී ලංකා පොලීසිය, සිය ‘‘බලය’’ උපයෝගීි කරගෙන සිදුකරන අපරාධ, ආයතන ගතවූවක් මිස නරක පොලිස්කාරයින් ගේ නරක වැඩ නොවේ. එ් බව පැහැදිලි වන්නේ පහළ නිලධාරින් කරන අපරාධ, නීති විරෝධී ක‍්‍රියාවන්, දුෂණ ඉහළ නිලධාරින් ගේ ආවරණය හා ආශිර්වාදය යටතේ සිදුවන බැවිනි. එම අපරාධ ඉහල නිලධාරින් වසන් කිරිමට ඉදිරිපත් වන්නේ හිරිකිතයකින් තොරවය. යුක්තිය උදෙසා වසර 08 ක් පුරා දිග්ගැසුනු මෙම නඩුව එයට කදිම නිදසුනකි. මෙය අහඹුවක් නොවේ. 

මෙම කාල පරිච්ෙඡ්දය තුළ, විශේෂයෙන් සරත් කුමාර නයිඩෝස් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වසර 1 1/2 තුළ ඔහු ගේ බිරිඳ ශිරාණි ඥාතීන්, අසල්වැසියන් එ්කරාශි කරගෙන ගොඩ නගන ලද ‘‘සරත් කුමාර නයිඩෝස් සහයෝගිතා කමිටුව’’ ක‍්‍රියාකාරීව ඇයව බල ගන්වමින් ලබා දෙන ලද සහය, අයුතු බලපෑම් වලට යට නොවී සිටිමට මහත් රුකුලක් වූ බව නිසැකය. 

2017.01.19 දින ප‍්‍රකාශයට පත් කරන ලද අංක SC/FR 608/2008 මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ට අනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11වන සහ 13(2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කළ මොරටවු පොලිස් ස්ථානයේ සේවය කළ, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනා තනි තනිව සහ රජය සති හතරක් තුළ රුපියල් ලක්ෂය බැගිින් රුපියල් ලක්ෂ තුනක් සරත් කුමාර නයිඩෝස්ට ගෙවිය යුතුය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම පොලීසියට සු`ඵ කරුණකි. එ් බව ඔවුන් මාධ්‍යයට මෙන්ම, ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණවලද, පුද්ගලිකව ද කරන ප‍්‍රකාශවලින් පැහැදිළිය.

අපරාධවලට වැරදිකරුවන් වූ, මුලික අයිතිවාසිකම් කඩකළ, බොරු සාක්ෂි දුන්, බොරු නඩු දැමු, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනාට සහ මොවුන් දෙදෙනාව ආරක්ෂා කිරිම ස`දහා ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරි ජී. නිශාන්ත ද සොයිසා යන දුෂිත පොලිස් නිලධාරින් ව ආරක්ෂා කිරිමෙන් වැළකී, ඔවුන්ට එරෙහිව විනය පියවර ගෙන දණ්ඩ නීති සංග‍්‍රහය හා වධහිංසා පනත යටතේ නඩු පැවරීම කළ යුතුය. එය පොලීසිය බාර වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ, පොලිස්පතිගේ හා ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි. 
  
එම වගකීම ඉටු කිරිම සඳහා ඔවුන්ට බලකර සිටීම සිවිල් සමාජයේ වගකීම වේ.

Link:- SC/FR 608/208 
http://www.janasansadaya.org/page.php?id=622&lang=en

ජනසංසදය
2017.01.26

Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment