Friday, September 8, 2017

පානදුර දකුණ පොලිසිය බිනර පෝයට බණ අහලා - තරුණයෙකුට දස වධ දෙයි.


බුදු පිළිමයක් පොලිසිය ඉදිරිපිට අටවාගෙන, පෝයට බණ අහලා, ගෑණියෙකුගේ කීමට අල්ලාගෙන ගොස් දස වධ දීම පූරුවේ කරුමය පලදීමක්ද ? මෙසේ අසන්නේ, බිනර පෝයට පසුවදා සවස අසල නිවසක මුදල් නැතවූ බවට, ගැහැණීයක් කල පැමිණිල්ලකට අත්අඩංගුවට පත් තරුණයෙකි.

පොලිසිය කෙතරම් උනන්දු වූයේද යත්, පැමිණිල්ල කර විනාඩි 15 ක් යන්නට පෙර, පැමිණ, අත්අඩංගුවට ගෙන වධ දී, පසුදින මුදාහැර ඇත. මෙම වධකයින් , පසුදින පැමිණ, මෙම තරුණයාට මානව හිමිකම් යන්න එපා යයි ඉල්ලා ඇත. 

පොලිස්පතියා තම යටත් සේවකයින්ට කුණූ හරප කියමින් බැණ තර්ජණය කර, පහර දී, බෙල්ල ලඟින් ඇල්ලූ බව පමණක් ටීවී එකට ඇවිත් පිළීගන්නා ගමන් තමන් කළේ වරදක් නොවන බව කියන්නට තරම් නිවට පොලිස්පතියෙකු ඉන්න රටක, පහළ ශ්‍රේණීවල පොලිස් කාරයින්ගෙන් මීට වඩා තවත් බලාපොරොත්තු විය හැකිද ?

මෙම තරුණයා, තමාට වධදුන්න පොලිස්කාරයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත. ඔහුගේ ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘ ජීවන්ති යන අය අප නිවසට පැමිණ මගේ මවට කීවා අක්කේ ඔයාගේ පුතා පර්ස් එක අරන් තියෙනවා, කාමරයේ බලන්න  ඕනා කියා. තවද ඇය සඳහන් කලා පර්ස් එකේ රුපියල් 15,000/=ක් තිබූ බව. මා එයට ඇයට ඉඩ දුන්නා. ඇය කාමරයේ සෝදිසි කලා. පර්ස් එක තිබුනේ නැහැ. ඉන්පසුව ජීවන්ති මගේ මවට කිව්වා අක්කේ මම පොලිසි යනවා කියා යන්න ගියා. 

ඊට පැය කාලකට පමණ පසුව, පානදුර දකුණ පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් පැමිණියා. ඔවුන් සිවිල් පිට සිටියේ. ජීවන්ති යන අය අපේ ගෙදර පෙන්නුවා. කුමාර නැමැති නිලධාරියා ෆෝන් ටෝච් එක මගේ මුහුණට අල්ලා යමන් යමන් කිව්වා. ඔහු කිව්වා පර්ස් එක උඹයි ගත්තේ කියා. කුණුහරපයකුත් කිව්වා. මාව ජීප් එකට තල්ලූකර දැම්මා. එ් කුමාර නැමැති අයයි. කුමාර යන අය ජීප් රථය අසල සිටියදී, අනෙක් අය ජීවන්තිලාගේ නිවසට ගොස් ටික වේලාවකට පසුව ආවා. 

පසුව මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. එසේ එන අතරමග, ජීප් රථය තුලදී සොයිසා නැමැති නිලධාරියා මගේ වම් කණට අතින් පහරවල් දෙකක් ගැහුව්වා. එසේ යන විට උඹ තමයි ගත්තේ කියමින් කොච්චි දානවා, එල්ලා ගහනවා යනුවෙන් ඔවුන් මට තර්ජණය කලා. පොලිසියට ගොස් මාව අපරාධ අංශයට අරන් ගියා. කුමාර යන අය බංකුවෙන් වාඩි වෙන්න කිව්වා. ඊට විනාඩි 5කට පමණ පසුව අපරාධ අංශයේ ලොක්කා කුමාරට කිව්වා හෑන්ඞ් කප් දමා ගහන්න කියා. එක නිලධාරියෙක් (දුටුවොතේ අ`ඳුනාගත හැකි* ෂර්ට් එක ගලවා, දකුණු අත උරහිසින් ගෙන, වම් අත ශරීරයේ පිටුපසට කර, කුමාර හෑන්ඞ් කප් දැම්මා. වෙනත් නිලධාරියෙක් හෑන්ඞ් කප් දැමූ අත්දෙක අතරින් යකඩ පොල්ලක් දමා කැරකෙව්වා. හතර පාරක් පමණ කැරකෙව්වා. කුමාර ඇහුව්වා ගත්තාද කියා. මම නැහැ කිව්වා. එවිට කුමාර ඉතා වේගයෙන් මගේ වම් කණට එක පාරක් ගැහුව්වා. මගේ මව සහ පියා බාගෙට ඇරුණු ෙදාරෙන් මම දැක්කා. අපරාධ අංශයේ ලොක්කා කුමාරට කිව්වා අරූගේ අම්මයි තාත්තයි ඇවිල්ලා දකීවි ගහන්න එපා කිව්වා. එවිට කුමාර පලයන් පලයන් කියා අම්මාවයි තාත්වයි එළෙව්වා. ඉන්පසුව කුමාර ඇතුලට ආවා. කුමාර සහ අපරාධ අංශයේ දෙදෙනෙකු මාව තුන්වන තට්ටුවට අරන් ගියා. මාව බිත්තියට හේත්තුකර, අපරාධ අංශයේ ලොක්කා වම් කණට හතර පාරක් පමණ ගහගෙන ගහගෙන ගියා. ආයේ ඇහුව්වා ගත්තා ද කියා. මම නැහැ කිව්වා. අපරාධ අංශයේ ලොක්කා කිව්වා අපි ගාව කුඩු තියෙනවා  ඕනතරම් හයිකෝට් එකක් දානවා බෝම්බයකුත් දමනවා ආයි එළියට යන්න බැරිවෙන්න කියා තර්ජණය කලා. 

පසුව අපරාධ අංශයේ ස්ථානාධිපති එළියට ගියා. කුමාර මාව එම තට්ටුවේම ඇතුලට එක්ක ගෙන ගියා. පොලිසියේ සිවිල් ඇඳපු අය අටක් පමණ සිටියා. ඔවුන් බලාගෙන සිටියා. කුමාර සහ තවත් දෙන්නෙක් මට නැවතත් පහර දුන්නා. යකඩ පොල්ලෙන් උරහිස් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා. එවිටත් මුල් ආකාරයටම මාංචු දමා තිබුනා. කුමාර නැවතත් කණට ගැහුව්වා. මගේ ඇස් දෙක අන්ධකාර වී මාව බිම වැටුනා. වැටුන ගමන් කුමාර කොන්දට පයින් ගැහුව්වා. අනෙක් සිවිල් අය කැරම් ගසමින් සිටියා. කුමාරත් එතනට ගොස් කැරම් ගැහුව්වා. එසේ සෙල්ලම් කර විනාඩි 6කට 7කට පමණ පසුව නැවත පැමිණ නැවතත් ගැහුව්වා. එ් අත මිට මොලවා ඔලූවට හා පිටට ය. ඉන් පසුව මා බිම වැටී සිටියා. මම කිව්වා අත කැපිලා හෑන්ඞ් කප් ගලවන්න කියා. එවිට කුමාර කිව්වා ගලවන්නේ නැහැ, කොච්චි දමා අපි උඹට ඊලඟ කෝස් එක දෙනවා කිව්වා. මගෙන් ඇහුව්වා උඹට කොච්චි දමා ගුටි කන්න පුලූවන්ද කියා. සර් ට ගහන්න පුලූවන්නම් මට ගුටි කන්න පුලූවන්, මට නොකරපු වරදකට ගුටිකන්න බැහැ කියා මම කිව්වා. තවද මා කිව්වා මා කියන්නේ කොයිතරම් ගැහුව්වත් මම කරේ නැහැ කියලයි කියා. එවිට කුමාරට කෝල් එකක් ආවා. ඔහු කෝල් එකට කතා කරමින් පහලට යන විට, මම කිව්වා මට අමාරුයි හෑන්ඞ් කප් ගලවන්න කියා. ඔහු මම පහලට ගිහින් එන්නම් කියා ගියා. 

ඔහු විනාඩ 10කට පමණ පසුව උඩට ආවා. එක පාරටම හෑන්ඞ් කප් ගැලෙව්වා. ඊට පසුව ඇහුව්වා අමාරු නැහැ නේද කව්ද ගැහුව්වේ ඇහුව්වා. මම කිව්වා සර් නේ ගැහුව්වේ කියා. මාව නැගිට්ටෙව්වා. එම තුන්වෙනි තට්ටුවේම වොෂ්රූම් එකට එක්කගෙන ගියා. මම ඇහුව්වා ඇයි කියා. උඹව උදේට ගෙදර යවනවා කිව්වා. මගේ බැනියම ඉරී තිබුනා. ඔහු ඇහුව්වා මෙහෙදිද ඉරුනේ කියා. මම කිව්වා ඔව් සර් ඇද ඇද ගහපු නිසා ඉරුනා කියා. මට කිව්වා බැනියම ගලවා ඩස්පින් එකට දාන්න කියා. හොඳට දාඩිය යන්න මූණ හෝදගන්න කිව්වා. මගේ තොල තුවාල වී තිබුනා. ඔහු කිව්වා අම්මා ඇහුව්වොත් තොල ගෙදර බිත්තියේ වැදී තුවාල වුනා කියන්න කියා. ? වෙලා කඩවල් වහලා තෙල් බෙහෙත් නැහැ කිව්වා. 

ඉන් පසුව මාව තුන්වෙනි තට්ටුවේ ඇතුලට එක්ක ආවා. බත්  ඕනද ඇහුව්වා. මම කිව්වා ඔව් බඩගිනියි කියලා. මට බත් එක ලිහාගෙන කන්න බැරි වුනා. මම කුමාරට කිව්වා මගේ අත්දෙක හිරිවැටිලා මේක හැන්දකින් අනලා දෙන්න කියලා. එවිට කුමාර කිව්වා බත් එක බිම තියලා දණ ගහගෙන කටින් කාපන් කියලා. මම අමාරුවෙන් අතින් කෑවා. පසුව ඉතිරි කෑම ඩස්පින් එකට දමා අත හෝදගත්තා. එවිට කුමාරත් ලඟ හිටියා. 

මාව නැවතත් කුමාර ඇතුලට එක්කගෙන ආවා. අපිත් එක්ක තරහා නෑනේ අවුලක් නැහැනේ කියා ඇහුව්වා. මම කිව්වා නිකරුනේ ගහපු එකට මට කොහොමත් අවුල් කියලා. ඔහු සිය පර්ස් එක ඇර කුඩු කෑල්ලක් අරගෙන මේක බීපන් උඹ අපිත් එක්ක ෆිට්නේ, තව තියෙනවා, ඉල්ලන්න දෙන්නම් කිව්වා. මම කිව්වා මම කුඩු බොන්නේ නැහැ, මට  ඕවා එපා කියා. මාව දෙවන තට්ටුවට එක්කගෙන ගියා. එ් කුමාර සහ තවත් තුන්දෙනෙක්. අපරාධ අංශයේ බංකුවෙන් වාඩි කෙරෙව්වා. කුමාර සහ තව දෙන්නෙකුයි එළියට යනවා කියා ගියා. එවිට මගේ හෑන්ඞ් කප් ගලවා තිබුනා. වෙනත් නිලධාරියෙකුට මම කිව්වා මට ආමරුයි මම ඇලවෙන්නද කියා. ඔහු කිව්වා පැනලා යන්න එපා අපි උඹට හෑන්ඞ් කප් දමලා නැහැ කියා. මම හොඳටම නිදා ගත්තා. 

මට පාන්දර දෙකට පමණ මා ඇහැරුණා. එ් සොයිසා කියන නිලධාරියා තව කොල්ලෙක්ව අරන් ආපු නිසා. ඔහු මට කිව්වා අපිට නඩු  ඕනා නිසා මෙහෙම නිකන් ඉන්න අයව අල්ලගෙන නඩු දානවා කියා. පසුව ඔවුන් මොනවාද පොතක ලියමින් සිට මාව සහ ගෙනාපු අයව පල්ලෙහාට ගෙනගොස් කූඩුවට දැම්මා. රිසව් නිලධාරියා නිල ඇඳුමින් සිටියා. ඔහුට සොයිසා කියන නිලධාරියා මාව පෙන්වා කිව්වා මූට කුඩු දාලා තියෙනවා, උසාවි දමා හයිකෝට් දාන්න ඔක්කොම කරලා තියෙන්නේ කියා. ඊට පසුව සොයිසා ගියා. මම නිදා ගත්තා. 

උදේ නැගිටලා ඉන්නකොට අම්මලා පොලිසියට ආවා. එවිට වේලාව උදේ 7.30 පමණ විය. ඔවුන් කූඩුව ලඟට ඇවිත් කිව්වා හොරා අහුවුනා කියා. මගේ බය නැති වුනා. අමල් නැමැති නිලධාරියා ඇවිත් බලලා මා සමග කතාකරලා ගියා. උදේ 10ට පමණ කුමාර ඇවිත් කටඋත්තරයක් ගන්න  ඕනා කියා මාව උඩට එක්ක ගියා. මම එයට අත්සන් කරා. මොනවා තිබුනාදැයි මම දන්නේ නැහැ. අමල් නැමැති නිලධාරියා ඇවිත් මගේ ඇගිලි සලකුණු ගත්තා. ඉන්පසුව මාව පහලට ගෙන ගොස් පහල රිසව් නිලධාරියාට ඇප දී යවන්න කියා කුමාර කිව්වා. පොලිස් ඇප ලැබුනා. අම්මා අත්සන් කලා. මාව පානදුර මූලික රෝහලට ගෙන ගියා. පොලිසියෙන් පහරදුන් බව ප‍්‍රකාශ කලා. මාව රෝහලේ 1 බී වාට්ටුවට ඇතුලත් කලා. රෝහල් පොලිසියෙන් කටඋත්තර ගත්තා. 2017.09.07 දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාව පරීක්ෂා කලා. මා පොලිසියෙන් පහර දුන් බව පැවසුවා. 

ඊයේ එනම් 2017.09.07 දින පෙරවරුවේ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හා අමල් නමැති නිලධාරියා රෝහලට පැමිණ, උඹට  ඕන සපෝට් එකක් දෙන්නම්, ඉල්ලන දෙයක් දෙන්නම්, මානව හිමිකම් යන්න එපා, අපේ ජොබ් වලටත් අවුල් වෙයි, කාටකාටත් ඉස්සරහට අවුල්වෙයි කියා මට පවසා සිටියා.

එම නිලධාරීන් මාගේ නිවසට ගොස් මාගේ පියාටද, මානව හිමිකම් නොයන ලෙසත්, වන්දියක් දෙන්නම් කියාත් පවසා තිබෙනවා.’’


























No comments:

Post a Comment