Wednesday, November 9, 2011

නීතිය පිළිබදව ලංකාවේ ඇතිවී ඇති මහා පරිමාණ වෙනස


         
 පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනී සේවයේ පවත්වන ලද ප්‍රචාරක සාක්ච්ජාවකදී ආරක්ෂක ලේඛම් ගෝටාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිතුමා හැර වෙන කිසිවෙකු නැති බවය. ඔහු අධීක්ෂණය කිරීමට ලංකාවේ පාර්ලිමේන්තුවට හෝ ලංකාවේ අධිකරණයට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය යාන්තමකටවත් ඔහුට මතුවුනේ නැත. ඇත්ත වශයෙන්ම එවැනි අධීක්ෂණ බලයක් ක්‍රියාත්මක නොවන තත්වයට රටේ දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති බව ඔහු ඉතා හොදින් වටහා ගෙන ඇති බව පෙනේ. 1978 ව්‍යවස්ථාවෙන් පසු ඇතිවුණු මහා පරිවර්ථනය මේ මගින් ඇගවේ. නීතියට ඉහළින් පිහිටා සිටින ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙකු රජයේ ක්‍රියාකලාපයන් අධීක්ෂණය කිරීමේ සැබෑ බලයකින් තොරවීම ලංකාවේ නීතිය මුහුණ දෙන ප්‍රබලම ගැටඵව බවට පත්වී ඇත.

මෙසේ ලංකාව තුල 1978 ව්‍යවස්ථාවෙන් පසු වසර 33ක් පුරා ඇතිවූ පරිවර්ථනය වටහා ගැනීම සදහා නීතිය මත පාලනය හා නීතිය හා පිළිවෙල හෝ නීතිය හෝ නීතිය හා සාමය යන සංකල්පයන්ගේ ඇති එකිනෙකට හාත්පසින් වෙනස් අදහස් වෙන්කර හදුනාගත යුතුවේ. ලංකාවේ දැන් සදහන් වෙන්නේ නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන මිස නීතිය මත පාලනය යන නෛතික මූලධර්ම නොවේ.

නීතිය හා පිළිවෙල (Law and Order)

නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන වලින් කියවෙන්නේ කිසියම් හෝ ආණ්ඩුවකට කැමති පරිදි ඇතිකරණු ලබන පිළිවෙලකි. එම පිළිවෙල මොනයම්ම හෝ නීතිමය දර්ශනවාදයකට සම්බන්ධවී නැත. ආණ්ඩුව කැමති පිළිවෙලක් අනුගමනය කරමින් තමුන් කැමති දේ කරයි. උදාහරනයක් වශයෙන් යම් පැල්පත්වාසීන් ඔවුන් පාරම්පරිකව පදිංචිවී ඇති ස්ථානයෙන් එළියට දැමීම ආණ්ඩුවේ අභිමතාර්ථය නම් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකින් තොරව ඔවුන් සිටි තැන් වලින් එළියට ඇද දමයි. අපරාධකාරයන් මර්ධනය කිරීම සදහා ප්‍රසිද්ධ අපරාධකාරයන් මරා දැමිය යුතු යැයි ආණ්ඩුවේ මතයක් ඇතිවුවහොත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන මරා දමනු ලබයි. මිනීමරු චෝදනාවක් ඇත්තෙකු නීතියේ රැහැනින් බේරා තැබීමට ආණ්ඩුවකට අවශ්‍යනම් ඔහුට විරුද්ධව අපරාධ නීතිකෘත්‍යයක් ගෙන ඒම වළක්වනු ලබයි. දේශපාලන විරුද්ධකාරයන්ගේ දේපල අත්පත් කරගැනීම මගින් විරුද්ධ පක්ෂයේ බලය මැඩලිය යුතුයැයි ආණ්ඩුව සිතනවානම් ඔවුන්ගේ දේපල රජය සතු කරගැනීම මගින් රජයේ උවමනාව ඉටුකරගනී. අපරාධ චෝදනා ලැබ සිටින්නෙකු නිදහස් කල යුතුයැයි ආණ්ඩුවට සිතේ නම් නීතිපතිවරයා මගින් ඔහු නිදහස් කරණු ලබයි. දේශපාලන විරුද්ධවාදියෙකු නිදහසේ සිටීම දේශපාලන තර්ජණයක් යැයි සිතන්නේනම් ඔහු බොරු නඩුවක පටලවා ඇප අහිමි කොට හිරදඩුවමකට යටත් කරයි. දේශපාලන විරුද්ධවාදියෙකු එම විරුද්ධවාදීකම් අuතක කොට රජය සමග එක්වී කටයුතු කිරීමට කටයුතු කරයි නම් ඔහුට විරුද්ධව පවතින නීතිමය ක්‍රියාමාර්ගයන් අත්හිටුවනු ලබයි. මැතිවරණ පැවැත්වීමේදී ස්වාධීන් මැතිවරණ කොමසාරිස්වරයෙකු සිටීම තමන්ට අවාසිදායක වන්නේනම් එසේ ස්වාධීන කොමසාරිස්වරයෙකු නැති තත්වයක මැතිවරණ පවත්වයි. මේ ආකාරයට නීතිය සහ පිළිවෙල හෝ නීතිය සාමය යන අදහස යටතේ කර ඇති හා කළ හැකි ක්‍රියාවන් දීර්ඝ වශයෙන් ලැයිස්තු කල හැකිය. නීතිය හා පිළිවෙල හෝ නීතිය  හා සාමය යන වචන වලින් කියවෙන්නේ ආණ්ඩුවක් තමන්ට කැමති ආකාරයේ පිළිවෙක් සාදා ගැනීම යන්නය. මෙසේ සාදා ගන්නා පිළිවෙල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලධර්මවලට හා නීතිය මත පාලනයේ මූලධර්ම වලට අනුකූල විය යුතු නොවේ. පවතින ආණ්ඩුවක් ඔවුන් කැමති පිළිවෙල රට මත පටවනු ලබයි.

නීතිය මත පාලනය (Rule of Law)

නීතිය මත පාලනය යනු දේශපාලන සංකල්පයකි. එම සංකල්පය තුළින් රටක් තුළ පැවතිය යුතු නීතියත් නීතිය අධිකරණමය ක්‍රියාදාමයන් තුළින් ක්‍රියාත්මක වීමත් සනිටුහන් කරයි. නීතිය මත පාලනය පිළිබදව zටොම් බින්හම්Z නැමැති බ්‍රිතාන්‍යයේ හිටපු නීතිය පිළිබද ස්වාමිවරයා විසින් කර ඇති පහත සදහන් කෙටි විස්තරය මෙසේය.

zz පවතින මූලධර්මයන්ගේ හරය මෙසේ යැයි මම යෝජනා කරමි. යම් රාජ්‍යයක් තුළ සිටින සියඵම පුද්ගලයන් හා රජයේ හා පුද්ගලික අංශයේද  බලධාරීන් ප්‍රසිද්ධියේම නිර්මාණය කරන ලද නීතිවලින් බැදෙන අතර ඒවායින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට අයිතිවාසිකම් කියන අතර එම ඵල ප්‍රයෝජන සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ අනාගතයේදී. එම නීති ප්‍රසිද්ධියේ අධිරකරණ මගින් ක්‍රියාත්මක කල යුතුවේ.ZZ

නීතිය මත පාලනය පිළිගන්නා දේශපාලන ක්‍රමයක් තුළ නීතියේ ආධිපත්‍යයට මුල්තැන ලැබෙන අතර නීතියට ඉහළින් කිසිවෙකුට පිහිටා සිටීමට බැරිය. නීතිය ඉදිරියේ සියඵම රටවැසියන් සමාන අයිතිවාසිකම් වලට හිමිකම් කියති. මෙම අයිතිවාසිකම් පිළිබද ගැටඵ ස්වාභාවයෙන්ම ඇතිවන හෙයින් ඒවා නිරාකරණය කිරීම පැවරෙන්නේ ප්‍රසිද්ධියේ කටයුතු කරන අධිකරණ ක්‍රියාවලියකට පමණය.

නීතිය මත පාලනය තුළ ඇතිවන පිළිවෙල එක් එක් රජයක හිතුමතය අනුව හැඩගැස්සිය හැකි එකක් නොවේ. රජයේ සියඵ නිලධාරීන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කල යුත්තේ නීතිය තුළ පනවා ඇති බලයන් හා සීමාවන් ඔස්සේය. ඒ සීමාවන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව අවසාන තීරණය ඇත්තේ අධිකරණ ක්‍රියාදාමයකටය.

එහෙත් නීතිය හා පිළිවෙල යන සංකල්පය යටතේ ආණ්ඩුවකට කිසියම්ම හෝ නීති මූලධාර්මකයකට යටත් විය යුතු නැත. නීති මූලධර්මයත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට බාධකයක් නම් නීතිය හා පිළිවෙල යන අදහස යටතේ කටයුතු කරන ආණ්ඩුව තමන්ට බාධකයක් වන නීති මූලධර්ම ඉවත්කර දමනු ලබයි. තමන් කිරීමට යෝජනා කරන වැඩකටයුතු අධිකරණයකට යොමු කිරීම මාර්ගයෙන් තමන්ට බාධකයක් වේයැයි සිතන ආණ්ඩුව එම කටයුතු කෙරෙහි අධිකරණයට ඇති බලය ඉවත්කොට තමන් කැමති දෙයක් කරගනී. අධිකරණයකට කල හැක්කේ ආණ්ඩුවක් ඔවුන්ට කිරීමට ඉඩ හැර ඇති දේ පමණය.
නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යනුවෙන් හැදින්වෙන හිතුවක්කාර පිළිවෙත තුළ අධිකරණයට පමණක් නොව පාර්ලිමේන්තුවටද හිමිවන්නේ නොවැදගත් ස්ථානයකි. නීතිය මත පාලනය පවතින දේශපාලන වාතාවරණයට නීති සම්පාදනය පිළිබදව පිලිගත් සම්ප්‍රදායන් ඇත. නීතියක් සෑදීම ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවිය යුතු බව හා එම සහභාගීත්වය නාමිකව නොව සැබවින්ම පැවතිය යුතු බව නීතිය මත පාලනයේ අඩිතාලමක් වේ. නීති සම්පාදනය රටක ජනතාවකගේ ක්‍රියාවලියක් මිස ආණ්ඩුවක හිතුවක්කාර ක්‍රියාමාර්ගයක් නොවේ. විවිධාකාර කූට උපක්‍රම මගින් ආණ්ඩුවක් තමන්ට කැමති ක්‍රියාමාර්ගයක් නීතියක් සේ සම්මත කර ගනී නම් එය නීතිය මත පාලනය යන අදහස යටතේ නීතියක් නොවේ. 1978 ව්‍යවස්ථාව තුළින් ඉක්මන් පනත් ගෙනඒමට හා සම්මත කර ගැනීමට සකස් කරගෙන ඇති ක්‍රියාපිළිවෙල නීතිය මත පාලනයට මුඵමනින්ම පටහැනිය. එය ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද අයිතිවාසිකම් අහිමි කිරීමක් වේ.

මේ අනුව බලන කල දැන් තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙක් නැතැයි ආරක්ෂක ලේඛම්වරයා කියන ප්‍රකාශය සත්‍යයකි. දැන් රටේ ඇත්තේ නීති හා පිළිවෙල යන හිතුවක්කාර ක්‍රියාදාමය මිස නීතිය මත පාලනය නොවේ. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ අධීක්ෂණ බලය කප්පාදු වී හමාරය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු.

No comments:

Post a Comment