Monday, July 13, 2015

ගහලා කකුල් කඩලා පිස්සෙක් කරලා අං‍ගොඩ දමයි.


මේ ක්‍රියාව සිදුකර ඇත්තේ සිරකරුවන් මනුෂ්‍යයෝය කියා බිත්තියේ ලියාගෙන ඉන්න - ශ්‍රී ලංකාවේ බන්ධණාගාර නිලධාරීන්.

බුදු පිළිම හිටවාගෙන, බෝගස් වවාගෙන හතර පෝයටම බණ කියවන, අන්‍ය ආගමික වැඩ නො අඩුව කරන බන්ධණාගාර නිලධාරීන්. තමන්ගේ භාරයට පත්කරන, තමන් ජීවත් කරවන අසරණයින්ට වධ දෙන එක පුරුද්දක්.

කුඩු කාරයින්ට ගංජා කාරයින්ට රජ දහනක්. දේශපාලකයින්ට සුව මැදුරක්. මේ බන්ධනාගාරයේ හැටි. මේ බන්ධණාගාරයට අධිකරණයේ නියමයෙන් මිනිසුන් යවන්නේ, බාරයේ තබාගෙන රැකබලාගෙන සුමගට යවන්න. එහෙත් වෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දේ.

ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නඩුවකට ඉදිරිපත් වන ඉන්දික පුෂ්පකුමාරව, පොලොන්නරුව මහේස්ත්‍රාත් රිමාන්ඩ් කරනවා. ගෘහ සේවිකාවකට රෙදි ගලවා පහරදී, ලිංගික අතවර කල බවට චෝදනා එලල්වූ ශ්‍රේෂ්ඨාධිකරණ යේ විනිසුරු සරත් ආබෲව ගෙදර යවන්නේ ශරීර ඇපයක් තියන්න කියා.

අධිකරණයෙන් ඇප නොදී, රිමාන්ඩ් බාරයට පත් කරන ඉන්දිකව එදාම පොලොන්නරුව බන්ධණාගාර නිලධාරීන් තිදෙනෙක් පොලුවලින් ගහලා කකුල කඩා දානවා.

ප්‍රතිකාර කරන්නේ නැ. වේදනාවෙන් කෑගසනවිට, පොලොන්නරුව රෝහලට ගෙනහින් මානසික රෝගියකු ලෙසට හදුන්වා, ප්‍රතිකාර අරන් නොදීම යලින් බන්ධණාගාරයට ගෙනත් දානවා.

මාස දෙකක්ට පසුව, වැලිකඩට මාරැ කරන්නේ, මානසික රෝගියකු ලෙසට හදුන්වමින්. වැලිකඩ හිරගෙදර දොස්තරවරු ඔහුව අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය බාර දෙනවා.

එ අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය අයතනයේ වෛද්‍යවරු ඔහු කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකට බාරදී ප්‍රතිකාර ලබාදෙනවා.

දැනටත් ඔහු ඉන්නේ - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ.

මොහු ගැන සොයා බලන්න බිරිදට යාමට හැකියාවක් නැහැ. ඒ ඔවුන් දුප්පත් නිසා. බිරිද කියන්නේ එක වරක් බලන්න ගියා, පොලොන්නරැවට එදා රෑ යන්න බැරිව එළිවෙනකම් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න වුනා කියා.

මේ රටේ අධිකරණ පද්ධතියේ, එක් අංශයක් බන්ධණාගාරය. පොලිසි, උසාවිය, නීතිපති දෙපාර්තමේන්තුව වගේම බන්ධණාගාරයත් දූෂණයෙන් පිරිලා. නිලධාරි බහුතරය පරපීඩක මානසිකත්වයෙන් පෙලෙන අය.

රටේ ආණ්ඩුව කරවන අය මේ දවස්වල ඔබ ඉදිරියට එනවා. ඔවුන් අතර කුඩු කාරයෝ, එනතෝල් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කප්පන් කාරයෝ, මිනීමරුවෝ ඉන්නවා.

ජාතිය, කුලය හා පුද්ගලික වාසිය ගැන නොසලකා - ඡන්දය පාවිච්චි කරන්න.
හෙට ඔබට, ඔබට, ඔබගේ දරුවාට ඉන්දිකට වුන දේ වලක්වන්න.




No comments:

Post a Comment