ලොතරැයියක් ඇදුනු සුනිල් මරා දමා යුක්තියත් මරා දැමූ හැටි...! වික්ටර් අයිවන් විසිනි

SUNIL HEMACHADRA 
ලොතරැයියක් ඇදුනු සුනිල් මරා දමා යුක්තියත් මරා දැමූ හැටි...! පොලිස්ඨාධිකරණයේ ඇසුන නඩුවක් ගැන ජිනීවා වලින් ඇස් අරවන තීන්දුවක්..!!
-වික්ටර් අයිවන් විසිනි

අපි ඉතාමත් දියුණු හා උතුම් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ජාතියක් ලෙස උදම් අනන්නට කැමති ජාතියක් ලෙස සැලකිය හැකිය. එහෙත් වර්තමානයේ අප ඉන්නේ යහපත් තත්ත්වයක නොව කුණුවූ තත්ත්වයකය. අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ක‍්‍රමය සේ යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තරම කියාපාන තීන්දුවක් ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් ප‍්‍රකාශ කර තිබේ.
මහා විනාශයකට පාර කැපූ ලොතරැයි දිනුම
තිස් දෙහැවිරිදි සුනිල් හේමචන්ද්‍ර අපරාධ පසුබිමකට හිමිකම් නොකී කුලියට රබර් කිරි කැපීමෙන් දිවි ගෙවූ හොරණ ප‍්‍රදේශයේ දිවි ගෙවූ අහිංසක පුද්ගලයෙකි. ඔහු ජීවත් වූයේ සිය අම්මා හා අම්මාගේ සහෝදරිය, පුංචි අම්මා නැවතුම් ගෙන සිටි නිවසේය.
සුනිල් 2003 ජූනි මාසයේදී ජාතික ලොතරැුයි මණ්ඩලයේ ලොතරැුයියක් මිලදී ගත්තේය. එම ලොතරැුයිය තමන්ට ඇදී තිබෙන බවත්, ඊට හිමි තෑගි මුදල රුපියල් ලක්ෂ 30ක් (3,003,100) බවත් ඔහු පසුදිනක දැනගත්තේය. පොලිසිය සමග දැනහැඳුනුම්කමක් තිබූ ප‍්‍රදේශයේ ලොතරැයි ඒජන්තවරයා, මොරගහහේන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු සමඟ සුනිල්ගේ නිවසට පැමිණ පොලිසියේ ආරක්ෂාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් සුනිල් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත.
සුනිල්ට ජාතික හැඳුනුම් පතක් නොතිබුණේය. ඒ නිසා ලොතරැයියේ තෑගි මුදල භාරගැනීමේ වගකීම ඔහු තමන්ගේ පුංචිඅම්මා වෙත පැවරුවේය. 2003 ජුනි 04 වැනි දින සුනිල් සිය පුංචිඅම්මා හා ප‍්‍රදේශයේ ලොතරැුයි ඒජන්ත සමග තෑගි මුදල් ලබාගැනීම සඳහා කොළඹ ජාතික ලොතරැුයි මණ්ඩලයට ආවේය. එහිදී පුංචිඅම්මා නමට කොල්ලූපිටියේ ලංකා බැංකු ශාඛාවෙන් මාරුකර ගැනීම සඳහා ඉහත කී මුදල අඩංගු චෙක්පතක් ලැබුණේය. බැංකුවට ගොස් පුංචිඅම්මා නමට ගිණුමක් අරවා ගෙන සුනිල් තෑගි මුදලින් ලක්ෂ 21ක් ලබා ගත්තේය. ඉන් ලක්ෂ 12ක් වියදම් කොට සුනිල් වෑන් රථයක් මිලදී ගත්තේය. ඉන් දින කිහිපයකට පසුව පුංචිඅම්මාගේ දියණිය නමට ත‍්‍රීවිලර් රථයක්ද මිලදී ගෙන දුන්නේය.
2003 ජූලි 21 වැනිදා මොරගහහේන පොලිසියේ පොලිස් කණ්ඩායමක් සුනිල් සොයාගෙන ඔහු පදිංචි නිවසට ආවේය. ඔහු ඒ අවස්ථාවේදී ගෙදර සිටියේ නැත. සුනිල් තමන්ට ලැබුණු තෑගි මුදල වියදම් කළාදැයි එක් පොලිස් නිලධාරියෙක් සුනිල්ගේ පුංචිඅම්මාගෙන් විමසුවේය. ඇතිකරගෙන තිබෙන සතුට බොහෝ කල් නොපවතිනු ඇතැයි එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර තිබෙන අතර සුනිල්ට මොරගහහේන පොලිසියට පැමිණ වාර්තා කරන ලෙසද දැනුම් දී තිබේ.
එදිනම සුනිල් තම වාහනයේ රියදුරා ලෙස සේවය කළ චානක දිනේෂ් කුමාර හා ලොතරැුයි ඒජන්තගේ පුතා සමග මොරගහහේන පොලිසියට ගියේය. පොලිසියට කරන සහයෝගයක් වශයෙන් කිසියම් මුදල් ප‍්‍රමාණයක් දිය හැකිදැයි උපපොලිස් පරීක්ෂකවරයා සුනිල්ගෙන් විමසීය. ලොතරැුයිය ඇදුණේ තමන්ට නොව තම පුංචිඅම්මාට බව සුනිල් කීවේය. හොරණ විද්‍යාරත්න පන්සලේ පවත්වන උත්සවයක් සඳහා රුපියල් 25,000ක ආධාරයක් දියහැකිදැයි ඉන්පසු අසා තිබේ. එම ඉල්ලීම ඉටුකළ හැකි බව පවසා සුනිල් පොලිස් ස්ථානයෙන් පිටවී සිය නිවසට පැමිණ තිබේ.
දිනුම නිසා සිදුවූ මරණය
එදින රාත‍්‍රියේ එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් ඔහු නැවතී සිටි නිවසට පැමිණියෝය. එහි තිබූ කාමරයක නිදාගෙන සිටින සුනිල් හඳුනාගෙන ඔහුගේ හිසටද ඔහුගේ ශරීරයේ අන් තැන්වලටද පහර දුන්නෝය. ඉන්පසු සුනිල් හා ඔහු සමග සිටි චානක (රියදුරා) අත්අඩංගුවට ගෙන ජීප් රථයට නංවා ගත්තෝය. පොලිස් ස්ථානයට එන අතර එහිදීද ජීප්රථය තුළ සිටින සුනිල්ගේ හිසට හා උදරයට බිහිසුණු ලෙස පහර දුන්නෝය. සුනිල් සමග සිටි චානක සුනිල්ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටි විට ඔහුගේ මුහුණටද පහර දුන්නෝය.
පොලිසියට ගෙනා පසු ඒ දෙදෙනා පොලිස් කූඩුවකට දැම්මෝය. එහි වෙනත් කිහිපදෙනෙක්ද සිටියෝය. එළිවන යාමය වනවිට සුනිල්ගේ තත්ත්වය බරපතළ අතට හැරී තිබුණි. ඔහුගේ නහයෙන්ද කටින්ද ලේ දමමින් තිබුණි. චානක සුනිල්ගේ බැරෑරුම් තත්ත්වය පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය. වෛද්‍යවරයකු කැඳවා හෝ වෛද්‍යවරයා වෙත ගෙනයනවා වෙනුවට සුනිල් සිරකූඩුවෙන් පිටතට ගෙන පොලිසියේ පස්ස පැත්තට ගෙන ගොස් ඔහුගේ මුහුණේ තිබෙන ලේ සෝදා දමන ලෙස පොලිස් නිලධාරියෙක් චානකට කීවේය. චානක එසේ කළත් ඔහු කටින් හා නහයෙන් ලේ යෑම නතර නොවූයේය. ඉන්පසු සුනිල් ලේ වමනය කරන්නට විය. එම පොලිස් නිලධාරියා චානක අතට පොල්ලක් දී සුනිල්ට වැළඳී ඇත්තේ අපස්මාරය නිසා එම යකඩ පොල්ල සුනිල්ගේ අතට දෙන ලෙස චානකට කියා තිබේ.
එදින අටට පමණ සුනිල්ගේ පුංචිඅම්මා පොලිසියට ආවේය. සුනිල්ගේ කටින් හා නහයෙන් ලේ ගලන බව දැක ඇය ඒ බව එහි සිටි පොලිස් නිලධාරියකුට කීවාය. ඔහු ඇයට බැණ වැදී එම ස්ථානයෙන් එලවා ගනිමින් ඔහුට වැළඳී ඇත්තේ අපස්මාරය බව ඇයට ඇසෙන ලෙස කීවේය. එදින 10ට පමණ සුනිල් හොරණ රෝහලට ඇතුළත් කළේය. එදිනම එම රෝහලේ කොස්තාපල්වරු දෙදෙනෙක්ද රෝහලේ සිටි සුනිල් වෙත පැමිණ කඩදාසි දෙකක මොකක් හෝ ලියාගෙන ඊට සුනිල්ගේ ඇඟිලි සලකුණුද ලබා ගත්තෝය.
සුනිල්ගේ තත්ත්වය බැරෑරුම් වීම නිසා ජූලි 24 වැනි දින සුනිල් කොළඹ ජාතික රෝහලට යවන ලදි. එහිදී මොළයේ සැත්කමක් කරන ලදුව විශේෂ සත්කාර ඒකකයේ තබාගෙන සුනිල්ට ප‍්‍රතිකාර කළේය. සුනිල් රෝහලේදී මියගිය බව ජුලි 26 වැනිදා සුනිල්ගේ මවට දැනුම් දෙන ලදි.
මරණයෙන් පසු නාටකය
මෙම නාටකය සුනිල්ගේ මරණයෙන් පසුද අවසන්වන්නේ නැත. ජුලි 23 වැනිදා සුනිල් ගැන පැමිණිලි කිරීම සඳහා ඔහුගේ පුංචිඅම්මා හොරණ සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට ගියේය. ඇයගේ පැමිණිල්ල සටහන් කරගැනීමක් සිදුවී නැති අතර ඇයට සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමටද අවස්ථාවක් ලැබී නැත. සුනිල්ගේ මරණයෙන් පසුව ඇය චානක සමග මොරගහහේන පොලිසියට ගොස් සුනිල්ගේ මරණය ගැන පැමිණිලි කර තිබෙන අතර හොරණ සහකාර පොලිස් අධිකාරිවරයා ඔවුන්ගෙන් කටඋත්තරයක්ද ලබාගෙන තිබේ.
ඉන්පසු සුනිල්ගේ පුංචිඅම්මා සුනිල් පිළිබඳ සිද්ධිය පානදුරේ ජන සංසදයට පැමිණිලි කර තිබේ. එම සංසදය පොලිස් වදහිංසාවලට එරෙහිව හා වදහිංසාවන්ට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා රට පුරා ක‍්‍රියාත්මක වන කිසියම් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ අරමුණු වෙනුවෙන් ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන සංවිධානයකි.
ජනසංසදය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුනිල්ගේ පුංචිඅම්මාට ආධාර කළේය. ඊට අතිරේකව එම සංවිධානය සුනිල්ගේ අම්මා හා පුංචිඅම්මා පෙත්සම්කරුවන් කරමින් 2003 සැප්තැම්බර් 8 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය.
2003 ජූලි 23 වැනිදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියේ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ පුංචි අම්මාගෙන්ද, චානකගෙන්ද සාක්ෂි ලබාගත්තේය. සුනිල් අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව මොරගහහේන පොලිසියේ පොලිස් පොත්වල සටහන් නොවන බවද මහේස්ත‍්‍රාත්වරයා සොයා ගත්තේය.
ජූලි 28 වැනිදා මෘත ශරීරාගාරයේ තිබුණු මළසිරුර පරීක්ෂා කිරීමේදී වෙනත් තුවාල අතර තට්ටමේ වම් පැත්තේ අඟලක තරම් තුවාලයක් තිබෙන බව මහේස්ත‍්‍රාත්වරයා හඳුනා ගත්තේය. මොරගහහේන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් නිසා මහේස්ත‍්‍රාත්වරයා තමන්ගේ පරීක්ෂණය ජූලි 31 වැනිදා දක්වා කල් තැබීය.
2003 ජූලි 23 වැනි දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා සුනිල්ගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කළේය. ඔහු මාරාන්තික තුවාල 10ක් ගැන වාර්තා කළේය. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කර තිබූ තට්ටමේ තිබූ තුවාලය ගැන එම වාර්තාවේ සඳහන් නොවීය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය වූයේ මරණය කෙරෙහි ඔළුවේ තිබූ තුවාල නිසා ඇතිවූ කම්පනය බලපා ඇති බවය. එය ආයුධයකින් ඔළුවට එල්ල කළ දැඩි පහරක් නිසාද බූට්ස් දැමූ පාදයකින් එල්ල කළ පා පහරක් නිසාද, තල්ලූ කිරීම නිසා ඇතිවූ ඇදවැටීමක් හෝ හදිසියේ ඇතිවන බිම ඇදවැටීමක් හෝ ඇල්කොහොල් නිසා හෝ අපස්මාරය නිසා ඇතිවූ මූර්ඡුාවක් නිසාද සිදුවිය හැකි මරණයක් බවය.
ජූලි 31 වැනිදා පැවති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට පොලිසිය තවත් සාක්ෂිකරුවන් ගෙනාවේය. මරණකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා පොලිසිය රැුගෙන ආ එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමට විරෝධය පළකරනු ලැබුවද එය නොසලකා මහේස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් සාක්ෂි ලබාගත්තේය. ඔහු වැඩිදුර පරීක්ෂණය හොරණ මහේස්ත‍්‍රාත්වරයා වෙත යොමු කරන ලදි.
අගෝස්තු 08 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නඩුව විභාගයට ගෙන මරණය සැකසහිත මරණයක් ලෙස තීන්දු කොට ඒ ගැන පරීක්ෂණයක් කොට සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන ලෙස පානදුර පොලිස් අධිකාරිවරයාට නියෝග කළේය.
2004 අපේ‍්‍රල් 29 වැනිදා නීතිපතිවරයා එම පරීක්ෂණය පිළිබඳව අපූරු තීන්දුවක් ලබාදෙන ලදි. සුනිල්ට පහරදීම සිදුකර තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැති නිසා මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව නීතිපතිගේ තීරණය විය. නීතිපතිගේ එම තීරණය නිසා 2004 නොවැම්බර් 14 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නියම කළ පරීක්ෂණය අත්හිටුවන ලදි.
මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීම
ඊළඟ වැදගත්ම දේ සුනිල් වෙනුවෙන් 2003 සැප්තැම්බර්වලදී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අවුරුදු හතකට ආසන්න කාලයක් විභාගයට නොගෙන සිට 2010 අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමය. ඒ දක්වා මේ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමද කිසිදු පරීක්ෂණයක් නොකළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ මෙම මරණය විවිධ හේතු නිසා සිදුවිය හැකි බවය. සුනිල් බීමත්ව සිට අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේදී පොලිසියට පහර දෙන්නට උත්සාහ කළ නිසා පොලිසියද පෙරළා ඔහුට පහර දුන්නා විය හැකි බවය. වෙනත් හේතු නිසාද එය වූවා විය හැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම වැඩිදුර විභාගයට නොගෙන එය නිෂ්ප‍්‍රභ කළේය. ඉතා වැදගත් දේ එම අසාධාරණ තීන්දුව ලබාගැනීමටද අවුරුදු 7ක් තරම් දීර්ඝ කාලයක් බලා ඉන්නට සිදුවීමය.
පෙත්සම විභාගයට ගැනීම යටපත් කරගෙන තිබුණේ සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදීය. ඔහු විශ‍්‍රාම යෑමෙන් පසුව එය විභාගයට ගනු ලැබුවත් සාධාරණ තීන්දුවක් දෙන්නට නොහැකි වන්නට ඇත්තේ දේශපාලන බලපෑම් නිසා විය හැකිය.
සිද්ධිය සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තිය යටතේ ජිනීවාහී මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කරන්නේ ඉන්පසුවය. මරණකරුගේ මව හා පුංචිඅම්මා වෙනුවෙන් මෙම පැමිණිල්ල මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ හොංකොංහි ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය මගිනි. එම ආයතනය පොලිස් වධහිංසා වින්දිතයන් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකි බැසිල් ප‍්‍රනාන්දු නිර්මාණය කරන ලද ආයතනයකි.
එම පැමිණිල්ලෙන් කියන්නේ සුනිල්ගේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම, ඔහු කෲර වධහිංසාවන්ට පත්කිරීම. ඒ නිසා සිදුවී තිබෙන ඔහුගේ මරණය ගැන ශ‍්‍රී ලංකා රාජ්‍යය වගකිවයුතු බව හා ඒ මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ 6, 7, 9 සහ 10 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවය.
මෙය රාජ්‍ය ආයතනයක අත්අඩංගුවේ සිටියදී සිදුවී තිබෙන මරණයක් බැවින්ද, මරණය සිදුවී තිබෙන්නේ අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවී තිබෙන පහරදීම් නිසා හා පහරදීම් නිසා බැරෑරුම් තත්ත්වයකට පත්වීමෙන් පසුත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට අසමත්වීමෙන් වන නිසා ඒ තත්ත්වයටද ශ‍්‍රී ලංකා රාජ්‍යය වගකිව යුතු බවය.
සුනිල් මරණයට පත්වීමෙන් පසුත් එය සැකකටයුතු මරණයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ඒ ගැන සාධාරණව කරුණු සලකා බැලීමට ඊට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවාලීමට අසමත්වීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉතා වැදගත් දේ මීට පෙර ලංකාවට අදාළව එහි සිදුවූ වෙනත් පරීක්ෂණවලදී මෙන් නොව මෙම පරීක්ෂණයට ලංකා ආණ්ඩුව සහභාගි නොවීමය. ඒ නිසා පරීක්ෂණය සිදුවී ඇත්තේ ඒකපාර්ශ්විකවය. මෙම පරීක්ෂණයට සහයෝගය නොදීම මගින් ශ‍්‍රී ලංකා රාජ්‍ය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ 4 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව කමිටුව සිය තීරණයන්හි ප‍්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකා රාජ්‍යය දැන හෝ නොදැන සුනිල් හේමචන්ද්‍රගේ ජීවිතය ආරක්ෂා කිරීමට අසමත්වීමෙන් හා ඔහුගේ මරණය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නොපැවැත් වීමෙන් සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තියේ 6 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, සුනිල්ට පහරදීමක් සිදුවීමෙන් පසු ඔහු බැරෑරුම් තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවකදී ඔහුට වහාම වෛද්‍ය පහසුකම් ලබාදීමට අසමත්වීමෙන් ශ‍්‍රී ලංකා රාජ්‍ය ප‍්‍රඥප්තියේ 7 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, සුනිල්ට නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස අත්අඩංගුවට ගැනීම මගින් ප‍්‍රඥප්තියේ 9 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් කමිටුවේ තීරණය වී තිබේ.
සිදුවී තිබෙන උල්ලංඝනයන් සඳහා සිදුවී තිබෙන හානියට ගැළපෙන තරමේ වන්දියක් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසත් ලංකා ආණ්ඩුව සුනිල්ගේ පවුලෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බවත් සුනිල්ගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවාලිය යුතු බවත් මෙවැනි බරපතළ වැරදි මතු සිදුනොවීමට අවශ්‍ය පියවර ගෙන ඒ ක‍්‍රියාමාර්ග කමිටුවට වාර්තා කරන ලෙසත් කමිටුව ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ.
සමාලෝචනය
ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ක‍්‍රමය සේ ම යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමයද කුණුවී තිබෙන තරම ඉහත කී කතාව ආශ‍්‍රයෙන්ද තේරුම් ගත හැකිය. මෙවැනි අවලස්සන කතා අසන්නට ලැබෙන්නේ කලාතුරකින් නොව නිතර නිතරය. ලොතරැුයිය ඇදුණේ කුලියට රබර් කිරි කැපීමෙන් ජීවිකාව පවත්වාගෙන ගිය අහිංසක පුද්ගලයකුටය. ලොතරැුයි දිනුම ඇදුණු විට පොලිස් ආරක්ෂාව ලබාගන්නා ලෙස පොලිසිය ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුට ලැබෙන තෑගි මුදලින් කිසියම් කොටසක් කඩාවඩා ගැනීම පිණිස විය යුතුය. ඒ අරමුණ සපුරාගත නොහැකි වූ විට පොලිසිය ඒ අසරණ මිනිසාගෙන් පළිගත්තේය. සුනිල්ට පහර දුන් අය තුළ සුනිල් මරා දැමීමේ අපේක්ෂාවක් නොතිබෙන්නට ඇතත් පහරදීම සිදුවූයේ සාමූහික ස්වරූපයකින් වීම නිසා කිසියම් සංවේදී තැනකට එල්ල වූ දැඩි පහරදීමක් නිසා ඔහු මරණයට පත්විය.
පොලිසිය අතින් සිදුවූ අපරාධය තේරුම්ගත හැකිය. වඩාත් බරපතළ බිහිසුණු වැරදි සිදුවී ඇත්තේ යුක්තිය පසිඳලීමට සම්බන්ධ ආයතනවලිනි. මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අත්හිටුවීමට නීතිපති මැදිහත් විය. දේශපාලන බලපෑමක් ආවේ කොහෙන්ද කියා පැහැදිලි නැතත්, නීතිපති එවැනි නීති විරෝධී ක‍්‍රියාවන් කරන්නට ඇත්තේ බලවත් දේශපාලන බලපෑමක් නිසා විය හැකිය. අධිකරණ නිලධාරීන්ගේ පරීක්ෂණවල තත්ත්වය තාජුඞීන් සිද්ධියෙන් පමණක් නොව, මේ සිද්ධියෙන්ද තේරුම්ගත හැකිය. සුනිල්ගේ මරණය ගැන මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළේය. එහෙත් කොමිසම ඒ ගැන කිසිදු සොයා බැලීමක් නොකළේය. මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ 2003දීය. එය විභාගයට ගැනීමට අවුරුදු 7ක් තරම් කාලයක් ප‍්‍රමාද විය. ඒ කාලයේ අගවිනිසුරු ධුරයේ සිටියේ සරත් නන්ද සිල්වාය. ඔහු විශ‍්‍රාම යෑමෙන් පසුව පෙත්සම විභාගයට ගත්තත් ශ්‍රේෂ්ඨාධි කරණයෙන්ද සාධාරණයක් ඉටු නොවීය. අඩුම වශයෙන් මරණය ගැන පරීක්ෂණයක් පවත්වන්නට නියෝග කිරීමක්වත් සිදු නොවීය.
සුනිල්ගේ මව සහ පුංචිඅම්මා යුක්තිය ඉටුකර ගැනීම සඳහා ලංකාවේ යායුතු හැම තැනටම ගියේය. ලංකාවේ තිබෙන ඉහළම අධිකරණය දක්වාම ගියේය. එහෙත් ඔවුන්ට ලංකාවේ මොනම තැනකින්වත් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි විය. එය එසේ වූයේ ඇයි? ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කරවන ආයතන ක‍්‍රමය හා යුක්තිය පසිඳලීමේ ආයතන ක‍්‍රමය ගඳ ගහන තරමටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබීම නිසාය.
අවසානයේ ඔවුන්ට යුක්තිය ඉටුකර ගැනීමට හැකිවූයේ දේශීය අධිකරණයෙන් නොව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය යටතේ පිහිටුවා තිබූ මානව හිමිකම් කමිටුව මගිනි. යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දේශීය අධිකරණ ක‍්‍රමයක් නැතිනම් ඒවා තිබෙන්නේ කුණුවූ තත්ත්වයක නම් එවැනි ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා විදේශ ආයතන ක‍්‍රමයක් හෝ තිබිය යුතුය. රටේ ප‍්‍රශස්ත අධිකරණ ක‍්‍රමයක් තිබෙන තත්ත්වයක් යටතේ වුවත් පුරවැසියන්ට පැමිණිලි කිරීමට මානව හිමිකම් කමිටුව වැනි ආයතනයක් තිබීම යහපත්ය. එවිට දේශීය අධිකරණයෙන් සාධාරණය ඉටුකර ගැනීමට අසමත් වුවන්ට මානව හිමිකම් කමිටුව වෙත යා හැකිය. ඒ සඳහා යන වියදම මෙහි අධිකරණයකින් යුක්තිය ඉටුකර ගැනීමට යන වියදමට වඩා අඩුය. එවැනි ක‍්‍රමයක් නොතිබුණේ නම් සුනිල්ගේ මවට හා පුංචිඅම්මාට යුක්තිය ඉටුකර ගැනීමට ක‍්‍රමයක් නැත. යුරෝපා සංගමයේ රටවල්වලටද ඔවුන්ගේ රටවල ශ්‍රේෂ්ඨාධිකරණ ඇතත් තම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු නොවූ අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවට එරෙහිව යුරෝපයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකිය. යුරෝපා මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කමිටුව මෙන් නොව අතිවිශාල බලතල ඇති අධිකරණ ක‍්‍රමයකි. එය දෙන තීන්දුවක් ක‍්‍රියාත්මක කිරීමට යුරෝපීය රටවල් නෛතික වශයෙන් බැඳී සිටින්නේය. එහෙත් එවැනි ක‍්‍රමයක් තිබීම තම රටේ ස්වාධිපත්‍යයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මදිපුංචිකමක් ලෙස යුරෝපයේ ජනයා සලකන්නේ නැත. එය යුරෝපයේ ජනයාට ලැබී තිබෙන ආරක්ෂාවකි. සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තිය යටතේ ජිනීවාහි පවත්වාගෙන යන මානව හිමිකම් කමිටුවද මේ රටේ පුරවැසියන්ට ලැබී තිබෙන අතිරේක ආරක්ෂාවක් ලෙස සිතන තැනකට අප යායුතුය. රටේ පාලකයන්ට ස්වාධිපත්‍යයේ නාමයෙන් රටේ පුරවැසියන්ගේ හිමිකම් හිතුවක්කාරී ලෙස චප්ප කරන්නට ඉඩ ලැබෙන ක‍්‍රමයක් යහපත් නැත. ඒ තත්ත්වය පාලනය කරන ක‍්‍රම තිබිය යුතුය. එවැනි ක‍්‍රමවලට අප පක්ෂපාත විය යුතුය.
අධිකරණය ප‍්‍රතිනිර්මාණය කරගැනීම
නීතියට අනුකූලව සාධාරණව හා අපක්ෂපාතව ක‍්‍රියාකරන අධිකරණයක් නැතිකම ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. අපට තිබෙන්නේ මජර ගලන තරමට කුණුවූ අධිකරණයකි. අධිකරණයේ ඇතිවී තිබෙන මෙම කුණුවීම වසන් කරමින් එය එම්බාම් කොට පවත්වාගෙන යන ප‍්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත.
අපකීර්තිමත් අගවිනිසුරු වරයකු තනතුරින් ඉවත් කොට එම තනතුරට අලූත් අගවිනිසුරු වරයකු පත් කරගත් පමණකින් අධිකරණයේ තිබෙන කුණුවීම අහෝසිවන්නේ නැත. නව අගවිනිසුරුවරයා එම තනතුරට ආවේ අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීම තේරුම් ගෙන එය ජයගැනීම සඳහා අවශ්‍ය මාර්ග සැලැස්මක් හා අධිෂ්ඨානයක් ඇතිව නම් ලංකාවේ අධිකරණයේ කතාව මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. එහෙත් නව අගවිනිසුරුවරයා එම තනතුරට ආවේ එවැනි විපර්යාසයක් කිරීමේ අරමුණින් නොවේ. තිබුණු අධිකරණය විපර්යාසයකින් තොරව ඉදිරියට ගෙනයෑම සඳහාය. එහෙත් අධිකරණය විපර්යාසයකට ලක් කිරීමකින් තොරව ඉදිරියට ගෙනයන ප‍්‍රතිපත්තියක් අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීමට ප‍්‍රතිකර්මයක් වන්නේ නැත.
අවලංගු කර තිබූ 17 වැනි සංශෝධනය නැවත බලාත්මක කරවා ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ඇතිකිරීමද ලංකාවේ ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමට ප‍්‍රතිකර්මයක් වන්නේ නැත. රටේ විධිමත්ව හා කාර්යක්ෂමව ක‍්‍රියාකරන ආයතන ක‍්‍රමයක් තිබී එම ආයතන ක‍්‍රමයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීම වළක්වා ගැනීම සඳහා ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ඇති කළේ නම් එය ඵලදායී දෙයක් වන්නට ඉඩ තිබුණි. එහෙත් ආයතන ක‍්‍රමය තිබුණේ විධිමත්ව හා කාර්යක්ෂමව ක‍්‍රියාකරන තත්ත්වයක නොව හොඳටම කුණුවූ තත්ත්වයකය. ඒ නිසා ඒ යොදන ලද ප‍්‍රතිකර්මය ප‍්‍රශ්නයට පිළිතුරක් වූයේ නැත.
සමස්ත ආයතන ක‍්‍රමය කුණුවී තිබුණු තත්්ත්වය තේරුම් ගෙන ඒවා එම තත්ත්වයෙන් ගොඩගැනීම ව්‍යවස්ථා සභාවේ පරමාර්ථය වී නම් හා ව්‍යවස්ථා සභාව තනතුරුවලට පත් කළේ ඒ කාර්යය ඉටුකිරීමට පුළුවන්කම ඇති සුදුසු පිරිසක් වී නම් ව්‍යවස්ථා සභාවට හා එය පත්කරන ස්වාධීන කොමිෂන් සභාවලට ඵලදායී කාර්යභාරයක් ඉටුකරන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ව්‍යවස්ථා සභා ක‍්‍රමය හා ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය ඇති කළේ එවැනි විශේෂ අරමුණකින් නොවේ. ඒවාට පුද්ගලයන් පත්කළේද ඒ අරමුණ වෙනුවෙන් නොවේ. තිබෙන ආයතන ක‍්‍රමය හොඳින් පවත්වාගෙන යෑමේ සීමිත අරමුණ සඳහාය. ඒ ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තත්ත්වය තුළ ව්‍යවස්ථා සභාවට හා ස්වාධීන කොමිෂන් සභාවලට කළ හැකි වැදගත් කාර්ය භාරයක් නැත.
පසුගිය දශක කිහිපය තුළ අධිකරණය ක‍්‍රියාකර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක පිහිටා නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විකෘති කරන හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප‍්‍රතිපත්තියක පිහිටාය. පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරගැනීමට හැකියාව ලබා දුන් නඩු තීන්දුව හා මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂය මාරු කිරීමට ඉඩ ලබා දුන් නඩු තීන්දු ඒ සඳහා දැක්විය හැකි ප‍්‍රධාන උදාහරණයන්ය. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැති සියලූ ජාත්‍යන්තර ගිවිසුම් බලරහිත කෙරෙන ආකාරයට ලබාදී තිබෙන සිංහරාසා නඩුවේදී ලබාදී තිබෙන නඩු තීන්දුවද ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි. මේ සියලූ නඩු තීන්දු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වනවා පමණක් නොව, ඒවා සමස්ත ආණ්ඩුක‍්‍රමය අවුල් ජාලයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැයිද කිව හැකිය. යහපත් අධිකරණ සම්ප‍්‍රදායක් ඇතිකර ගැනීමට පමණක් නොව ආණ්ඩුක‍්‍රමයේ ඇතිවී තිබෙන විකෘතීන් නැතිකර ගැනීම සඳහා එවැනි තීන්දු අහෝසි කිරීම අත්‍යවශ්‍ය වේ.
එම බරපතළ වැරදි අධිකරණය සිය වුවමනාවෙන්ම නිවැරදි කරගනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ශක්තිය අධිකරණයට නැත. එය විය යුතුව තිබෙන්නේ බාහිර වශයෙනි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යාහැකි වනු ඇත්තේ අධිකරණයේ ඇතිවී තිබෙන පිරිහීම ගැන සොයා බලන කොමිෂන් සභාවක් පත්කරන තැනකට යෑමෙනි. කොමිසමේ අවසාන අරමුණ වියයුත්තේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන, බාහිර බලපෑම්වලට යට නොවන දේශීය මහජනයාගේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ගෞරවයට හා විශ්වාසයට හේතුවන ස්වාධීන අධිකරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමය. එම කොමිසම අධිකරණයේ ඇතිවී තිබෙන පීලි පැනීම්, විනිශ්චයකාරවරුන්ගේ විනය පිරිහීම, නඩු පමාව වැනි කාරණාද සලකා බැලිය යුතුය. මෙම කොමිසම පත්කරන සාමාජිකයන් අධිකරණයේ සේ ම සමාජයේද ගෞරවයට හේතුවූ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති විශිෂ්ට පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය.
-වික්ටර් අයිවන් විසිනි -
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.24, ප.ව‍‍‍‍‍‍.11.45)  
Links:-
Case No:- S.C.(F/R) 429/2003

United Nations Human Rights Committee at its 113th session (16 March–2 April 2015). Communication No. 2087/2011
Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment