Friday, October 13, 2017

පොලිස් පොඞ්ඩෙක්ගෙන් ලොක්කන්ට පාඩමක්!! අවු: 8 කට පසුව සේවයෙන් ඉවත් කළ පොලිස් නිලධාරියෙකුට යළි රැකියාව



නිසි කාර්ය පටිපාටියට එරෙහිව සේවය අහිමි කිරීම නීති විරෝධීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය පොලිස්පති උල්ලංඝණය කරලා. 

මීට වසර 8 කට පෙර පොලිස්පතිගේ නියමයෙන් සේවය අවසන් කරණු ලැබූ, එවකට පොලිස් උප සේවයේ සිටි නිලධාරියෙකු විසින්, එම නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව, 2017.10.06 වන දින ප‍්‍රකාශයට පත් කරන ලදි.

මෙම තීන්දුවෙන් පොලිස්පතිට, පොලිස් මූලස්ථාන පිරිස් පාලන අංශයේ ප‍්‍රධානියාට, විනය බාර නියෝජ්‍ය පොලිස්පතිට හා නීති අංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරණු ලැබුවේ 2009 මාර්තු 24 වන දින සිට බල බැවැත්වෙන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙසටය.

කොටුගොඩ, දියම්බලාපිටියේ පදිංචිකරුවෙකු වූ එම පොලිස් නිලධාරියා, 1989 දී උප පොලිස් නිලධාරියෙකු ලෙසට පොලිස් උප සේවයට බැඳුනු අයෙකි.

1999 මාර්තු 06 වන දින වෙඩි තැබීමේ සිද්ධියකට චෝදනා ලැබූ ඔහුට එරෙහිව, මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මත පවරන ලද නඩුවෙන් 2008 06.23 දින නිදහස් විය.

මෙම තීන්දුවට අනුව ඔහු තමාව සේවයේ පිහිටුවන ලෙසට හා ස්ථිර සේවයට අන්තර්ග‍්‍රහනය කරන  ලෙසට පොලීසියෙන් ඉල්ලා සිටින ලදි.

නමුත් පොලීසිය ඔහුව සේවයෙහි පිහිටුවනවා වෙනුවට, ඔහුව සේවයෙන් 2009.03.24 සිට ඉවත් කරන ලද බවට දැණුම් දෙනු ලැබීය.

උදය කුමාර එ්කනායක නම් වු මෙම නිලිධාරියා පොලිස්පති නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරණු ලැබීය.

උදය කුමාර එ්කනායක වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටි අතර, පොලීසිය වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පෙනී සිටින ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන, ජනාධිපති නීතිඥ විනිසුරු අලූවිහාරේ හා විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු දෙපලගේ එකඟතාවය අනුව විජිත කේ. මලල්ගොඩ විනිසුරු විසින් මෙම නියෝගය ලබාදෙන ලදි.

ශ‍්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයා ඇතුලූ ඉහළ නිලධාරීන් නීතිය නමමින්, තමන් නීතියට ඉහළින් සිටින බවට සිතාගෙන ක‍්‍රියාකරමින් මහජනතාව පමණක් නොව, පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් ද දැඩි පීඩනයට ලක් කරන බවට මෙය කදිම නිදසුනකි.

පොලිස්පති පූජිත ජයසුන්දර, පහළම ශ්‍රේණියක සේවකයෙකුට බැන තර්ජනය කරමින් ශාරීරික හිරිහැර කිරීම ගැන අදටත් නීතිමය හෝ විනය පියවර ගෙන නැත.

පීඩාවට පත්වන පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ට මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ආදර්ශයක් වනු ඇතැයි සිතමු. නඩු අංකය SC/FR(Application)556/2010    

No comments:

Post a Comment