Tuesday, October 18, 2011

නඩුවක හා නාඩගමක ඇති වෙනස






නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටඵවකට මුහුණදී ඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යුක්තිය ඉටුවිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය නිරාකරනය කරගැනීමේ සම්මත ක්‍රමය ලෙස පිළsගැනීමට ලක්වී තිබෙන්නේ නඩු ඇසීම පිළsබද සංකල්පයයි. එය සමහර විට අපරාධ  ක්ෂේත්‍රෙය්  සිදුවුනා යැයි කියන සිද්ධීයක් ගැන විය හැකිය. උදාහරනයක් වශයෙන් මිනීමැරීමක් සොකරම් කිරීමක් නීති විරෝධී ආයුධ ලග තබාගැනීමක් හෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබද සිදුවීමක් විය හැකිය. මෙහිදී ඇත්තටම සිදුවුනු සිදුවීම කුමක්ද ? එම සිදුවීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද ? යන ප්‍රශ්න රටේ ඇති නීතිය අනුවත්, නීතිය විසදාලීමට ඇති නෛතික කාර්ය පටිපාටිය අනුවත්, විසදීම නඩුවකදී සිදුවිය යුතු ක්‍රියා කලාපයයි. 


නාඩගමක් යනු ප්‍රබන්ධයකි. නිර්මාණකරුවෙකු හෝ කරුවන් විසින් යම් මනංකල්කල්පිතයක් නිර්මාණය කරයි. එහි අඩංගුවන සිද්ධීන් ප්‍රබන්ධයන් බව සියඵ දෙනාම දනී. නිර්මාණකරුවාට තමා කැමති ආකාරයකින් එම සිද්ධීය ඉදිරිපත් කිරීමේ නිදහස ඇත. සිද්ධියේ ඇත්ත නැත්ත පිලීබද ප්‍රශ්නය ප්‍රබන්ධකතාවක් තුළ මතු නොවේ. ප්‍රබන්ධකරු කලාවට ආරූඩ රීතීනට හැර අන් කිසිවකට යටත් නොවේ. නාඩගමේ අවසාන අරමුණ ප්‍රේක්ෂකයාගේ වින්දනය පමණකි.

යම් අවස්ථාවකදී අධිකරණයක් ඉදිරියේ ඇති හෝ අධිකරණයක් ඉදිරියට යෑමට සූදානම්ව පවතින නීකි කෘතියක් සම්බන්ධයෙන් ජනමතය තුළ මේක නිකම්ම නාඩගමක් යැයි යන මතයක් ඇතිවුවහොත් එයින් කියවෙන්නේ, යුක්තිය පසිදලීමේ බැරෑරුම් කර්තව්‍යයක්  බැහැරව කිසියම් ප්‍රබන්ධ කතාවක් නිර්මාණය කෙරි පවතින බවත්, එය යුක්තිය පසිදලීමට නොව යුක්තිය වසන් කිරිම සදහා සිදවෙමින් පවතින ක්‍රියාදාමයක් බවය. ඇත්තෙන්ම සිදුවූ දෙය නොව සිදු නොවූ දෙයක් සත්‍ය ලෙස හුවා දක්වන ප්‍රබන්ධ කථාවක් බවට නීති කෘත්‍යය හැරෙන්නට පටන්ගෙන තිබෙන බව පිළිබදව මහජන අවබෝධය එවැනි කියවීමක් තුළින් ප්‍රකාශයට පත්වේ.

නඩු ඇසීම
නඩු ඇසීම සමාජයේ බැරෑරුම් කර්තව්‍යයක් බවට පත්වීමට පටන්ගත් දිනයේ සිටම පැවත ඇති ප්‍රශ්ණයක්නම්, මෙවැනි නීති කෘතියක් හුදෙක්ම සත්‍ය කරුණ ගවේශනය කිරීම සදහාම පමණක් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්ණයයයි. අද බොහෝ නීතීන් තුළත් නීතිමය ක්‍රියාපටිපාටීන් තුළටත් ඇතුළත් කොට ඇත්තේ සත්‍ය හා අසත්‍ය වෙන්කොට ගැනීමේ මූලධර්මයන් පිළිබදව යුක්තිය පිළීබද ක්ෂේත්‍රෙය් නියැලුනු වියතුන් අතර සිදුවූ විවාද තුළින් පැමිණි එකගතාවයන් තුළීන් ලියවී ඇති රීතීන්ය.

සත්‍ය අසත්‍ය භාවය පිළීබදව විවාදය යුරෝපයේ ඉතා දැඩි ලෙසම මතුවූයේ 17 හා 18 ශතවර්ෂවලදී ඇතිවූ දාර්ශනික මතවාදයන් තුළිනි. යුරෝපයේ මධ්‍යතන යුගය ක්‍රිස්තියානි ආගමේ විශෟවාසයන් හා ඇදහිළි තුළ හිරවී පැවතින. එහෙත් සියඵ දෙය තාරකිකව ඔප්පුකරන තුරු ඒ කරුණු පිළිබදව දැඩි සැකයෙන් බැලීම පිළිබදව රෙනි ඩෙකාට්ස් (Rene Descartes) විසින් මුළින් පටන් ගෙන පසුව බොහෝ දෙනෙකු අතරට ව්‍යාප්තවූ මතවාදය නිසා පෙර පැවති ආගමික ආදානග්‍රාහිත්වය වෙනුවට කරුණු ඔප්පු කිරීම් මත පමණක් සත්‍යය තුළ නව යුගයක මිනිසුන් හා ගැහැණුන් බිහිවිය. ඔවුන් අතර පොදුවේ පැවති ගුණය නම් සෑම කරුණක්ම සැකයෙන් යුතුව විග්‍රහ කරමින් තාර්කිකව යම් සිදුවීම් පිලීබදව හෝ යම් දේවල් පිළීබදව සත්‍යාසත්‍යතාවය සෙවීමට උත්සාහ කිරීමය. නූතන ලෝකයේ ඇති සියඵම වර්ධනයන් පසුපස ඇත්තේ ප්‍රබන්ධයන්ගෙන් මිදී තමන් දකින හෝ තමන්ගේ ඉන්ද්‍රියට ගෝචරවන දේ සැකයට භාජනය කරමින් ආදල සියඵම කරුණු ගවේෂණය කරමින් සිද්ධීන් පිලිබදව සත්‍ය අවබෝධ කරගැනීමේ උත්සාහයයි. අද පවතින වර්ගයේ ගුවන් ගමන් හා අජඨාකාශ ගවේෂණය පිළිබද දියුණුවද, වෛද්‍ය විද්‍යාවේ ඇතිවී ඇති මහා පරිමාණ දියුණවීම්ද, වෙනත් විද්‍යාවන්හිදී මෙන්ම සමාජ ක්ෂේත්‍රෙය් හා බුද්ධිමය ක්ෂේත්‍රෙය් ඇතිවී ඇති වෙනස්කම් වලද, පදනම මනංකල්පිත ප්‍රබන්ධයන් මත නොරැදි සිද්ධීන් හා දේවල් සැබෑ තත්වය සෙවීමට නැබුරුවුණු විද්‍යාත්මක ක්‍රමයයි.

නීතිමය ගවේශනය ශෛලිය

අපරාධ ක්ෂේත්‍රය තුළ මෙය සිදුවන ආකාරය දෙස බලමු. අපරාධයක් විය හැකිසේ පෙනෙන කිසියම් සිද්ධියක් පිළීබදව වාර්තාවක් පොලිස් ස්ථානයකට ලැබේ. ඒ මොහොතේම පටන්ගන්නා විද්‍යාත්මක ක්‍රියාදාමයක් ඇත. තමන් වෙත ලැබුණු සිද්ධිය පිළීබද තොරතුරු නිසිලෙස වාර්තා කර ගැනීම පොලිස් ස්ථානයේ වගකීම බවට පත්වේ. එසේ වාර්තා කරන්නා හුදෙක් විද්‍යාත්මක කටයුත්තකදී යම් කරුණක් වාර්තා කරගන්නා කෙනෙකුට සමාන කටයුත්තක් කරයි. සියඵම මනංකල්පිතයන් හා ප්‍රබන්ධයන්ගෙන් තොරව තමන් වෙත වාර්තා කරන දේ පමණක් සටහන් කරගැනීමට ඔහු බැදේ. එතැන් සිට පටන් ගන්නේ අපරාධ පරීක්ෂණය යනුවෙන් හැදින්වෙන සාක්කි සටහන් කරගැනීමේ ක්‍රියාවලියයි. සාක්කි සටහන් කර ගැනීම පිලිබද ක්‍රියාවලියේදී ඊට සම්බන්ධවන සෑම නිළධාරියෙක්ම තමා අසන දකින හෝ තමාගේ පර්යේෂණ තුළින් හෙළිදරව්වන කරුණු පමණක් සටහන් කර වාර්තා කරගැනීමට බැදේ. අපරාධ පරීක්ෂකයාට නාඩගමක නිර්මාණකරුවෙකු සතුවන ප්‍රබන්ධයන් සාදාගැනීමේ අයිතිය ඇත්තේ නැත. ඔහු ප්‍රබන්ධයන් නිර්මාණය කිරීමේ යෙදුන හොත් අපරාධ පරීක්ෂණය පිළිබදව ඇති සියඵම මූලධර්ම උල්ලංඝනය කරන අතර, ඒ මගින් ඔහු අපරාධ පරීක්ෂකයෙකු නොව ප්‍රබන්ධකරුවෙකු බවට පත්වේ. ඔහුට එසේ ප්‍රබන්ධකරුවෙකු බවට පත්වීමට ඉඩදුනහොත් මුඵ නීති කෘතියද නාඩගමක් බවට පත්වේ. ඇත්තෙන්ම එය කලාවට හිමි සම්භාවනීයත්වය නැති පහත් වර්ගයේ නාඩගමක් බවට පත්වේ.

අපරාධ පරීක්ෂණය නිසිලෙස නිමවීමත් සමගම කොමන් ලෝ (Common Law) යනුවෙන් හැදින්වෙන ලංකාවේ දැනට පවතින නීති ක්‍රමයට අනුව ඊලග වගකීම පැවරෙන්නේ නීතපිතවරයාටය.

නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අද්‍යාපනික සුදුසුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළීබදව විශ්ලේෂණයක් කරණු ලබයි. හුදෙක්ම තාර්කික ක්‍රියාවක් වන මෙම විශ්ලේෂණයේ එකම අරමුණ වන්නේ අදාල නීතියට අනුව යම් අපරාධයක් සිදුවුණා යැයි ඔප්පු කිරිමට හැකි සාක්ෂි අපරාධ පරීක්ෂණය තුළදී හෙළිදරව් වී ඇත්ද නැද්ද යන කරුණ පිළිබදව නිගමනයකට එළඹීමය. මෙයද හුදෙක්ම කරුණු මත පදනම්වූ බුද්ධිමය ක්‍රියාවක් වන අතර අදාල නියෝජිතයාගේ හිතුවක්කාර සිතුවිලි කිසිවකට එම ක්‍රියාදාමය තුළ ඉඩක් නැත. නඩුවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඇතැයි නිගමනය වුවහොත් ඊට අදාලව චෝදනා පත්‍රයට නිසිලෙස නිර්මාණය කිරීම නීතිපතිවරයාගේ ඊලග යුතුකම වේ. මෙයද වගකීමෙන් යුතු බුද්ධිමය කටයුත්තකි. එය නිසිලෙස නොකලහොත් ඉන් පසු සිදුවන නඩු ක්‍රියාදාමය නොමග යා හැකිය.

ඉන් පසු එම අධිචෝදනා පත්‍රය අධීකරණයේ ලිපිගොනු කරන අතර, එතැන් සිට අධිකරණමය ක්‍රියාමාර්ග පටන් ගනී. එය කරණු ලබන්නේ නීතිය පිළීබද මනා අවබෝධයක් ද ශිෂ්ඨ සම්පන්න ගතිතුණ පිළීබදව සමාජ පිළීගැනීමක්ද නීති කෘතිය මෙහෙයවීම සදහා බුද්ධිමය ශක්තියක්ද ඇති අයෙකු ඉදිරියේය. ඔහු නඩුකාරයා හෝ විනිශ්චයකරු වශයෙන් හැදින්වේ. මෙම විනිශ්චයකාරයා නඩුවක් සිදුකලයුතු ආකාරය අදාල නීතිවල හා නීතිය ක්‍රියාත්මක කිරීමේ සම්ප්‍රදායන් ගුළ ගැබ්ව ඇත. අධිකරණය පිළිබද සංකල්පය ඇගවෙන සංකේතය නම් ඇස් වසා අතින් තරාදියක් දරා සිටින පුද්ගලයෙකුගේ සංකේතයයි. ඒ තුළද ඇත්තේ පෙරකී පරිදි හුදෙක්ම කරුණු මත පදනම්වීම තාර්කිකභාවය තුළ නිගමනය ගැනීම හා පුද්ගලික මතිමතාන්තර පසෙක තබා කටයුතු කිරීමේ හැකියාවයි. කිසියම්ම හෝ බලපෑමකට යටත් නොවීම අධිකරණ නිදහස යනුවෙන් හැදින්වේ. මේ සියල්ල මගින්ම කියවෙන්නේ පාරිශුද්ධවූ බුද්ධිමය ක්‍රියාදාමයක් පිළිබදවය.

විනිශ්චයකාරවරයා තමන් ඉදිරියේ සිදුවන නීතිකෘත්‍යය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ වාර්තාවක් තබාගනී. එසේ වාර්තාව තබා ගැනීමේ සම්ප්‍රදායද විද්‍යාත්මක සම්ප්‍රධාය තුළින් ඇතිවූවකි. සෑම විද්‍යාත්මක ක්‍රියාදාමයකදීම විද්‍යාඥයා ඔහු යෙදී ඉන්නා ක්‍රියාවලිය පිලිබදව අංග සම්පූර්ණ සටහනක් තියා ගනී. එහි තේරුම නම් එම සටහන බැලීම මගින්ද ඇත්තෙන් සිදුවී ඇති ගවේශණය පිළිබදව අවබෝධයක් ඔහුට මෙන්ම වෙනත් පුහුණුවක් ඇති අයෙකුට ද ලබාගැනීමට හැකිවීමයි. නඩුවකින් පසු අභියාචනා අධිකරණ කරා යන්නේ මේ වාර්තාවයි.

නඩුවක් විකාරයක් වීමට ඉඩ නොතැබීම

මෙසේ දළ වශයෙන් ඉදිරිපත්කර ඇත්තේ නඩුවක විශේෂයෙන්ම අපරාධ නඩුවක සිදුවන්නාවූ ගවේශණ ශෛලිය හා ඊට පදනම්වූ සත්‍ය අසත්‍යතාවය සෙවීම මූලධර්ම පිලිබදවය. යම් විටෙක රටවැසියන් යම් නීති කෘත්‍යයක් නාඩගමක් වශයෙන් දකින්නට පටන් ගතහොත් එයින් පෙනෙන්නේ ඉහත සදහන්වූ නඩුවකට අදාල මූලධර්ම උල්ලංගනය වී ඇති බවත්, කාගේ හෝ හිතුවක්කාර ක්‍රියාවන් මෙම ක්‍රියාදාමයට ඇතුල් කර ඇති බවත්, එම නිසා ඉන් පෙනෙන අවසාන නිගමනය හුදෙක්ම ප්‍රබන්ධයක් හා මනංකල්පිතයක් බවට පමණක් බවට පත්වන බවත්ය.


නීතිඥ බැසිල් ප්‍රනාන්දු.

1 comment:

  1. මාව ලොරියකට යට කරල අමානුසික විදියට මට පහර දුන්නා,හේතුව කාන්තාවකට අයුතු යෝජනාවක් කිරිම සම්බන්ද්යෙන් විමසිමට යාමේදි ඇතිවු බහින් බස් විම නිසා,මගේ මුලු ජීවිතේම ඉවර උනා.අද මම සදාකාලික අබ්බගාතයෙක්.ඇවිදින්න තියා හිට්ගන්නවත් බැ.අවුරුදු අට හාමරකට පස්සෙ මේ ලගදි ඔවුන් හිරේ ගියා.වන්දි නඩුව අපි දින්නත් තුන් වැනි සැරෙටත් සුප්‍රිම් කොර්ට් එකේ නඩුව ඇපිල් කරලා.නඩු කාර වරු දෙන්නෙක්ම දිපු තින්දුවක් වෙනස් විය හැකිද,ව්ත්තියෙ පැත්තෙන් ඉතා අමානුසික ප්‍රස්න අසද්දි රෝද පු‍ටුවෙ සිටි මගේ ආත්මය ඔහුට සාප කලා.එවැනි බොහෝ කම් කටලු මැද්දෙ විසදුනු නඩුවක අවසානය නඩගම්ක් විමට ඉඩ නොතිබුනාම නොවේ.

    ReplyDelete