Wednesday, May 18, 2016

තියුනු අසිපතක සෙවණ යට



1991.07 වන මස 29 වන දින, විමුක්ති කොටි සංවිධානයට බැඳී 2009 වසරේ මැයි මස 16 වන දින තෙක් 18 වසරක් වූ අරගල ජීවිතය එයින් අවසන් විය. යුද්ධය තුළ උපන් ඇය, ගෙදරින් පැන ඇවිත්, විමුක්ති කොටි සංවිධානයේ සටන්කාමී සාමාජිකයකු බවට, සිය කැමැත්තෙන් පත්විය. 

කොටි ධේනුව, ලෙසට හංවඩු ගැසූ, තිරිසනෙකු ගේ ලේ වලින් පැවැත එන බව තවමත් කියා ගන්නා ”සිංහ - ලේ’’, ඊනියා ජන මාධ්‍යවේදීන් ගේ අවමානයට, සමච්චලයට ලක්වූ, තමලනී ජෙයකුමාරන් විසින් ලියන ලද තමන්ගේම කථාව ”තියුනු අසිපතක සෙවණ යට’’, සිංහල පරිවර්තනය කියවූ මට හැ`ගුණු දේ මෙසේ සටහන් කරමි.

”අම්මාට බොරුවක් කියා මම මගේ පාපැදිය රැුගෙන පිටත් වූයෙමි. කිලිනොච්චියේ කනකපුර පිහිටා තිබුණ සටන්කාමී සහෝදරියන්ගේ කඳවුරට ගිය මම මාව සංවිධානයට එක්කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි. ..........
මම පැළඳ ගෙන සිටි කරාබු ජෝඩුව සහ ඔරලෝසුව ගලවා භාරකරු වෙත දුන්නෙමි. එ්වා ඔහුු
අම්මා වෙත භාර දෙන බව පැවසූහ.....”  

1971 අපේ‍්‍රල් 05 ට පෙර, ජනතා විමුක්ති පෙරමුණ රැුස්වීම්වලට සහභාගී වූ තරුණියන් සමහරක්, රෝහණ විජේවීරගේ කථාව අසා, තම කරාබු ජෝඩුව ගලවා, වේදිකාව අසලට ගොස්, විජේවීර අත තැබූවේ, නිර්ධන පංති විප්ලවයට ආධාර වශයෙනි. එ් අවසාන ප‍්‍රතිඵලය ගැන බිඳකුදු  අවිශ්වාසයකින් තොරවය.

1993 පුනගරින් කඳවුර, විමුක්ති කොටි විසින් අත්පත් කරගන්නා ලදි. එම විජයග‍්‍රහණය මහත් ඉහළින් කොටි සැමරුවේය. එ් පිළිබඳව තමලනී මෙසේ සටහන් කරයි.

"ප‍්‍රහාරය ආරම්භ කළ පළමු දින තුන ඇතුලත දී පන්සියයකට වඩා අධික සටන්කාමී පිරිසක් වීර මරණයට පත්වූහ”.

‘‘සංවිධානයේ ඉතිහාසයෙහි ප‍්‍රථම වතාවට ලංකා හමුදාවේ යුද්ධ ටැංකියක් අත්කර ගැනීමට කොටි සංවිධානයට හැකි විය........... කොටි ධජය ලෙළදෙමින් සටන්කාමී සොහොයුරෝ බොහෝ දෙනෙක් එම ටැංකිය මත නැග ජයගොස් නංවමින් ගියහ.................. මගේ සිතද ජයග‍්‍රාහී උන්මාදයෙන් සලිත විය’’. 

‘‘නැපෝලියන් අවසන් වරට පරාජය කළ පසුව ටොටර්ලූ රණ භූමිය පරීක්ෂා කළ වෙලින්ටන් ප‍්‍රභූවරයා මෙසේ කිව්වාලූ. ‘පරාජයට පත්වූ යුද්ධයක් විසින් දෙනු ලබන වේදනාවට වඩා පසුව ඇතිවන වේදනාව වන්නේ යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රණයයි’. :භැංඑ එද ් ඉ්එඑකැ කදිඑ එයැ ි්ාාැිඑ එයසබට සි ් ඉ්එඑකැ අදබ*. මම මගේ ජීවිතයේ ප‍්‍රථම වතාවට එම වේදනාව වින්දෙමි’’.

අප අතර ද, ලැබූ ජයග‍්‍රහනයේ වේදනාව විඳින්නන් කොපමණ ඇද්ද. ගණන් බලා නැත. 

විමුක්ති සංවිධාන අති බහුතරයක අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත. තනි පුද්ගලයකු වටා විශ්වාස තබමින්, එම පුද්ගලයාව අදහන තත්ත්වයට පත් කරයි. එ් ඔහු වටා සිටින අතලොස්සයි.
”විමුක්තිය” උදෙසා  ඕනෑම සාපරාධී ක‍්‍රියාවක් සාධාරණය කරයි. සොරකම්, මංකොල්ල කෑම්වල සිට මිනිසුන් මරා දැමීම දක්වා.

ආරම්භයේ සිට ජනතා විමුක්ති පෙරමුණ කළේ එම කාර්යය. එය 1971 දීත්, මහා පරිමානයෙන්  88 - 90 කාලයේදීත් සිදු කරන ලදි.

විරුද්ධවාදීන් මෙන්ම, තමන් සමග එකට සිටි මතවාදී හේතු මත වෙනස්වූ අයට අවලාද නැගීම පමණක් නොව, මරා දැමීම සාධාරණය කළේය.

නායකයා ගැන සෙවීම, විපරම් කිරීම් පහළ සාමාජිකයින්ට තහනම් ය. එසේ කිරිම ද්‍රෝහී කමකි. 
විමුක්ති කොටි සංවිධානය, මෙය ඉටු කල අයුරු, සිය කෘතියේ තමලනී මැනවින් විග‍්‍රහ කරයි.
එය ඉතා තදින් විමුක්ති කොටි සංවිධානය තුළ පවත්වාගෙන ආ බව සිය කෘතියේ තමලනී අවධාරණය කරයි.

පරාජය අභියසට පැමිණ සිටින නායකයන්, එය පිළිගැනීමට නොහැකිව වියරුවෙතිි. 
යුද්ධයේ අවසාන අදියරේදී, හමුවූ සෙන්පති විදුෂා, තමා සමග පැවසූ කරුණක් ඇය සටහන් කරන්නේ මෙසේය.

"සටන් පුහුණු තියෙන විසිපන්දහසක පිරිසකුයි, කාල තුවක්කු උණ්ඩයි තිබුනොත් විතරයි නැවතත් කිලිනොච්චිය අල්ලා ගන්නට පුලූවන්”  නායකතුමා පැවසුවා......‘‘පොට්ටු අම්මාන් කියන දේවල් ඇහුව්වාම පිස්සු හැදෙනවා”.

යුද්ධයේ අවසාන අදියරේ දී, විමුක්ති කොටි නායකයන්, ප‍්‍රභාකරන් ඇතු`ඵව, කුමක් කරනවා ද, කොහේ සිටිනවා ද කියා නොදත් සටන්කාමීන්, විමුක්ති කොටි අතහැර, දහස් ගණනින් හමුදාවට බාරව සිවිල් වැසියන් සමග එක්වූ හැටිද, ප‍්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී ගේ ක‍්‍රියාවන්ද පැහැදිලි කරයි. අපේ නායකයන්ගේ පුතුන් අතර ඇති වෙනස?

යුද්ධයේ අවසාන භාගයේ, විදුෂා නම් වූ සෙන්පතිනිය තමාට කළ ප‍්‍රකාශය ඇය මෙසේ සටහන් කරයි.

"සංවිධානය ගැන හිතනකොටත් ලැජ්ජයි. මේ නංගිලා අහන ප‍්‍රශ්නවලට මගේ ළඟ පිළිතුරු නෑ. මිනිස්සු දැන් වෙන කරන්න දෙයක් නැති නිසා ආමි එක ඉන්න පැත්තට යනවා. එහෙම යන මිනිස්සුන්ගේ දණහිසෙන් පහළට වෙඩි තියන්න කියලා සංවිධානෙන් කියනවා”. 

යුද්ධයේ කුරිරු අත්දැකීම් නොමැති, අන් අයගේ දුක නොහඳුනන, විශේෂයෙන් අනුන්ගෙන් කා බී ඇඳ පැළඳ පරපෝෂිත ජීවිතයක් ගත කරන්නවුන්ට, මව්බිම, ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්නට ඉදිරිපත්වන ලෙසට බණ කියන්නට හැකිය. එතෙකින් නොනැවතී සටනේ මියගිය වූවන්ද නිර්ලජ්ජිතව අළෙවි කරන්නට ඉදිරිපත් වෙති.

එ් පිළිබඳ අත්දැකීමක් මට තිබේ. ඔහු දැන් අප අතර නැත. මරණය දක්වාම කොමියුනිස්ට් පාක්ෂිකයකු වශයෙන් පෙනී සිටි මොහු, තම ප‍්‍රදේශයේ ප‍්‍රකට පිරිවෙනක නායක හාමුදුරුවෝ හා එක්ව, මියගිය ”රණවරුවන්” සිහි කර, පින් අනුමෝදන් කරවා, නිවන් සුව පතන්ට යයි කියා, මියගිය යුධ භටයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රජයෙන් පිරිනැමූ වන්දි මුදලින්් අට පිරිකර  එකතුකර පූජා කර, පිරිවෙන වටා තාප්පෙ බන්දවා ගත්හ. එ් ගැන මහ උජාරුවෙන් ද කතා කළේය.  

හමුදාවට බාර වූ ඇයට, විමුක්ති කොටි හිතවාදීන් හා ඩයස් පෝරාවේ සමහරුන් තමන්ට අවලාද නැගූ හැටිද ඇය සඳහන් කරයි. මෙය විමුක්ති කොටින්ට පමණක් ආවේනික වූ කරුණක් නොවේ. පැරණි වාමාංශික පක්ෂ මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ නව වාමාංශිකයන් ද, තමන් අතහැර යන පාක්ෂිකයන්ට හා හිතවතුන්ට අවලාද නැගීම, අපහාස කිරීම, අවමන් කිරීම, ශාරීරික හානි පැනවීම පමණක් නොව මරා දැමිම යුක්ති සහගත කරයි. අදටත් එය වලංගුය. 88 - 90 දී, ජනතා විමුක්ති පෙරමුණ එය ඔප්පු කර පෙන්වීය.

බාරවීමේදි, බුද්ධි අංශ නිලධාරීන්, රහස් පොලිස් නිලධාරීන් ඇයට සැලකූ අන්දමද, ඇය සිරගතව සිටි කාලයේ හා පුනරුත්ථාපනයේ අත්දැකීම් ද පැහැදිළි කරයි. තමන්ට ජාති, වර්ග භේදයකින් තොරව, වැළිකඩ සිරගෙදරදී හමුවූ ස්ත‍්‍රීන් පිළිබඳව විග‍්‍රහ කරයි. 

සිංහ - ”ලේ” ඇති එවුන් මෙන්ම, කොටි  - ”ලේ” ඇති එවුන් සිදුකළ බෙදා වෙන් කිරීම, මහා ඛේදවාචකයක් බවට පත් කිරීමට හැකිවු බව ඇය මැනවින් තේරුම් ගන්නේ වැලිකඩ දීය.

සිරගෙදර ගැන හැමෝම දන්නා, එහෙත් කටක් ඇර කථා නොකරන දේ - තමලනී විස්තර කරයි.

තමලනී ලා දස දහස් ගණනක් අප අතරින් වෙන්ව ගොස් ඇත. එ් මව්බිම රැකගන්නටය. ජාතිය හා ආගම බේරා ගන්නටය. විමුක්තිය ළඟා කර ගන්නටය.

තම ජීවිතයේ හොඳම කාලය එදා නිවැරදි යයි හෘදය සාක්ෂියට අනුව විශ්වාස කළ තමන්ට, ජීවිතය විඳින්නට, ඉඩ ලැබුනේ ඉතා කෙටි කාලයකටය.

එ් කාලය තුළ - දැඩි වේදනාව ඉවසමින් රචිත - තියුණු අසිපතක සෙවණ යට  - සිංහලයට නගා, අප අතට පත් කළේ, ස්වාමි නාදන් විමල්ය. එය ප‍්‍රකාශයට පත්කොට ෙදාරට වැඩවීමට ධර්මසිරි බණ්ඩාරනායක ප‍්‍රමුඛ පිරිසට ද දැඩි වෙහෙසකට, දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය. සුරස පොත් මැදුර බෙදාහැරිමේ වගකීම දරා ඇත.

71 කැරැුල්ලට එක්ව දිවි පිදුවන්, 88 - 90 භීෂණයට එක්ව දිවි පිදුවන් සහ 30 අවුරුදු යුද්ධයට එක්ව දිවි පිදුවන් අතර වෙනස් කුමක්ද? බේදයකින් තොරව දිවි දුන් අය සමරමු.

‘‘මේ රටේ තවත් වතාවක් ලේ ගංගාවක් ගලා නොයා යුතුය. කිසිම මාතාවක් තම දරුවා වැදු කුසටද දරුවා හොවා ඇති මිනී පේට්ටියට ද ගසමින් අඬා වැළපීම නොකළ යුතුය’’. තමලනී ජෙයකුමාරකන්, 2015.08.30.

චිත‍්‍රාල් පෙරේරා
2016.05.18 

1 comment:

  1. කියවන්න වටින පොතක් වගේ. යුද්ධය ගැන අපේ පාර්ශවයෙන් කියන ලියන දේ වගේම විරුද්ධ පාර්ශවයෙන් කියන දේත් කියවා බලන එක වටිනවා.

    ReplyDelete