Friday, June 6, 2014

කෙසෙල් වත්තේ හිටපු ඕ.අයි.සී. ගේ කකුල් දෙකම කපලාලු.


අරක්කු නඩුවට නීතිපති මැදිහත් වෙයි. පොලීසිය නඩුව ඉවත් කර ගනී. පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම තම දුෂිත පිළිවෙත් හා බෙලහීනත්වය ලොවටම ප්‍රදර්ශණය කළා.

ශාන්ත ප්‍රසාද් ප්‍රනාන්දු මැදපෙරදිග සිට පැමිණ, තම බිරිඳ හා එක්ව නිවස ඉදිරිපිට සිල්ලර කඩයක් දමාගෙන අහල පහල අයට කෑම පාර්සල් හදලා විකුණලා දිවි ගෙවන්නෙක්.

සුපුරුදු පරිදි 2008.11.26 වන දින ඔහු දවසේ වැඩ නිම කර, පසුදින කෑම හදන්නට හා සිල්ලර කඩයට අවශ්‍ය අඩුපාඩු අරගෙන ගෙදර එන ගමන් පානදුර උතුර පොලීසිය ඉදිරිපිට රට බීම සාප්පුවට ‍ගොඩ වී ගල් අරක්කු බෝතලයක් මිළයට ගතතේය. ඒ මීට පෙර දින හතරකට පෙර ගෙනා බෝතලය හිස් බව සිහිපත් වීම නිසාය.

අදටත් බුද්ධාගම් කාරයෙකු වන ඔහු, පන්සිල් පද පහෙන් එකක් කඩන්නේ දැනුවත්වය. ඇ‍‍ෙඟ පතේ රුදාවට තිබෙන ප්‍රත්යක්ෂම ඔෟෂධය බවට ඔහු ප්‍රාෙයා්ගිකව හඳුනාගෙන තිබෙන නිසාය.
අල්ලපු ගෙදර උදවිය කසිප්පු විකුණන අතර නිතර දෙවේලේ පොලීසියේ මහත්වරු ආවා ගියෝය. අසල්වැසියාට ප්‍රේම කරමින් ශාන්ත ප්‍රසාද් තමාගේ වැඩේ බලාගෙන කරබාගෙන හිටියේය.

පසුගිය යුද්ධ  සමයේ රට දැය සමය බේරා ගන්නට රට පුරාම සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවන කාලය එළඹියේය. ශාන්ත ප්‍රසාද් මැතිවරණයේදී පෙරමුණ දිනවන්න ගමේ පෙරමුණ ගත් කිහිප දෙනාගෙන් කෙනෙකු විය. ඔහුද සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙක් විය.
ගමේ කසිප්පු පෙරන, විකුණන අය ගැන, ගංජා, කුඩු බොන අය ගැන පොලීසියට ඔත්තු  දීමේ කොන්ත්‍රාත්තුව ඔවුන්ට පැවරින.

අල්ලපු ගෙදර කසිප්පු තිප්පොල ගැන පෙත්සම් එන්නට විය. පොලීසිය හා  අල්ලපු ගෙදර අය කතිකා කර ගන්නේ මේ පෙත්සම් ගහන්නේ, ශාන්ත ප්‍රසාද් සිවිල් ආරක්ෂකයා බවට.
ඔහුට පාඩමක් උගන්වන්නට පොලීසිය යුහුසුළු විය.

2008.11.26 වන දින, ශාන්ත ප්‍රසාද් පොලීසිය ඉදිරිපිට, ප්‍රකට දේශපාලඥයෙකුගේ බවට හැමෝම කියන වයින් සටෝර්ස් එකෙන් අරක්කු බෝතලයක් ගත් බව නොදන්නා කෙනෙකු නොවීය.

රාත්‍රියේ පන්දම් පත්තු කරගෙන පිටුපස දොරෙන් ඇතුළු වූ පොලිස් කාරයෝ, කඩපුවත් නැති අරක්කු බෝතලය, සාලයේ කැබිනට්ටුවෙන් අරගෙන, ශාන්ත ප්‍රසාද් ව කුදලාගෙන පොලීසියට ගෙන ආවේය.
පොලිස් කූඩුවට දැමූ ශාන්ත ප්‍රසාද් ට පෙනි පෙනී අරක්කු බෝතලය කඩාගෙන ඉන් බාගයකටත් වඩා බිව්ව පොලිස් කාරයෝ, ඉතිරි අරක්කු, වීදුරුවකුත් සමග පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයේදී බොහෝ දෙනා අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු චෝදනා වලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා කළේ ශාන්ත ප්‍රසාද් ව රිමාන්ඩ්බාරයට පත් කිරීමය.
පොලීසිය කියන දේ අසා ශාන්ත ප්‍රසාද් ව රිමාන්ඩ් කරන්නේ ඇයි?

පොලිස්කාරයින්ගේ කාලකණ්නි තෘප්තිය සඳහාය. මහේස්ත්‍රාත්වරයාගේ කාරණය එය නොවන බව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

රිමාන්ඩ්බාරයට පත්වන ශාන්ත ප්‍රසාද්ගේ බිරිඳ කරන්නේ දෙවියන්ගේ පිහිට පැතීමය.

ඈ බෙල්ලන්විල පන්සලට ගොස් ශාන්ත ප්‍රසාද් නිදහස් කරවන්නයි දෙවියන්ට කන්නලව් කරන්නේ, අල්ලාගෙන කූඩුවල දමගෙන සිටි කුරුල්ලන් නිදහස් කිරීමෙන්ය.

ශාන්ත ප්‍රසාද් දවස් 14 ක්, රිමාන්ඩ් හි සුර සැප විඳ උසාවියට එන්නේ තවත්, දැඩි කරගත් සිතින්ය. ඔහු වරද පිළිගන්න සූදානම් වන්නේ නැත.

අරක්කු ඩ්‍රෑම්ස් එකක් විකුණුවායි පොලිස් කාරයින් කියන පදයට, නඩුකරයා ශාන්ත ප්‍රසාද්ගේ මුදාහරින්නට නියම කරන ඇප මෙසේය.

රුපියල් 75,000/= ක මුදල් ඇපයක්,
රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 02 ක්,
පදිංචිය, ආදායම් හා පොලිස් වාර්තා සමග, විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

මේ අහස පොළොව නොඋසුලන ඇප කොන්දේසි සපුරා ගන්නට ශාන්ත ප්‍රසාද්ට තවත් දවස් කිහිපයක් රිමාන්ඩ් හිර ගෙදර ලගින්නට සිදු වේ.

එලියට එන ශාන්ත ප්‍රසාද් නිකම් ඉන්නේ නැත. ඔහු පොලීසිය, අධිකරණය, කරන ලද අයුක්තිය අසාධාරණය ගැන - සිංහලෙන් අගවිනිසුරුවරයාට, නීතිපතිට ලියන්නේය.

උසාවියේදී ඔහුගේ නඩුව අහන්නේ නැත. හැමදාම කරන්නේ කල් දාන එක. දෙවන වාරයේ සිටම තමාගේ නඩුවට තමාම පෙනී සිටීමේ අයිතිය, ප්‍රාෙයාගිකව ඔප්පු කරමින් ඉදිරියට ගියේය.

දින, මාස, අවුරුදු පසුවිය.

නඩුව අස්නනේ නැත. ඇප මුදල වශයෙන් බිරිඳගේ මාල වළලු මහජන බැංකුවට උකස් කර ලබා ගත් රුපියල් 75,000/= ක මුදල උසාවියේ තැන්පත් කරලාය.
2014.11.08 වන දින, ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ ඇප මුදල නිදහස් කරන ලෙසටය.

මේ අතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පුද්ගලයෙක් ඔහුට ඔවදන් දෙන්නට ඉදිරිපත් විය.

ඔහු එය අසා සිට ඔවදන ගැන අධිකරණ සේවා කොමිෂමට ලිව්වේ, මහජනතාවගෙන් පඩි ලබන, රෙජිස්ට්‍රා ලා ගේ හැටි මෙහෙමයි කියන්නටය.

2014.05.15 දින, ඔහුට පානදුර උතුර පොලීසියෙන් ගෙදරට ඇවිත් තුණ්ඩු කෑල්ලක් දීලා කියනවා පසුවදාට උසාවියට ඉදිරිපත් වන්න කියා, දැනුම් දීලා තියන බවට.
ඔහු 2014.05.16 දින උසාවියට යනවා. නඩුව කැඳවනවා. වත්මන් මහේස්ත්‍රාත්වරයා දැනුම් දෙනවා, නීතිපති උපදෙස් අනුව, පොලීසිය ඔහුට විරුද්ධව දාලා තියෙන නඩුව ඉල්ලා අස් කර ගත් බව.
ඇප මුදල ලබා ගන්නා ලෙසද දැනුම් දෙනවා.

පොලීසිය බොරු නඩු දාන්නේ සුදු රෙදි ඇඳගෙන, පිරිත් නූල් පේන නොපෙනෙන තැන්වල ගැටගසාගෙන මහ එවුන්ගෙ ඕනෑකමට. ඒ බව තේරුම් ගන්නේ බොරු නඩු වැටුණාම. ශාන්ත ප්‍රසාද්ට තමන් වලේ වැටුණේ තමන් විශ්වාස කරපු, තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූවන්ගේ චින්තනය නිසා බව තේරුම් ගන්න විට නීතිය වල් වැදී හමාරය.

දන්නවාද, මට බොරු නඩුව දාපු කෙසෙල්වත්ත (පානදුර උතුර) පොලීසියේ හිටපු ඕ.අයි.සී. ගේ කකුල් දෙකම කපලා, යයි ශාන්ත ප්‍රසාද් කියන්නේ කාලකණ්නි ප්‍රීතියෙනි.

අසරණයින්ට බොරු නඩු දමා කාලකණ්නි තෘප්තිය ලබන පොලිස්කාරයින් මෙන්ම, පොලිස්කාරයින්ගේ කකුල් කපා දමන විට තෘප්තිමත් වන අතර එවුන් ගේ පදයට තීන්දු ලියන වුන්ගේ අත් කැපෙන්න යයි ඉල්ලා පොල් ගසනවා ඇර වෙන මොනවා කරන්නද යයි අසන්නේ කළ යුතු කළ හැකි දේ බොහෝ තිබියදීය.

මෙම අකටයුත්ත නීති විරෝධි ක්‍රියාව පිළිබඳව ශාන්ත ප්‍රනාන්දු එදා පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර සිටියේය. මේ ආයතන දෙක තම දුෂිත පිළිවෙත් හා බෙලහීනත්වය ලොවටම ප්‍රදර්ශණය කළේය.



No comments:

Post a Comment