Monday, May 2, 2011

ලෝක ජනමාධ්ය නිදහස් දිනය || World Press Day


එක්සත් ජාතීන්, සෑම වසරකම මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙසට නම් කිරීමට තීරණය කළේ 1993 දෙසැම්බරයේදීය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙන් තහවුරු කර තිබෙන- මාධ්‍ය නිදහස - සියලුම රජයන්ට, ආණ්ඩුවලට අවධාරණය කිරීම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ මූලික අරමුණයි. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සෑම ආණ්ඩුවක්ම, සාදාචාර නම් ශිෂ්ඨ නම්, මෙම වගන්තිය ප්‍රකාර ආණ්ඩු කල යුතුය.
යම් ආණ්ඩුවක්, රජයක් - අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය  බලය’ යොදා මර්ධනය කරන්නේනම් - එම ආණ්ඩුව මිලෙච්ජ ආණ්ඩුවක්, රජයක් ලෙසට හැදින්වීම ඉතා සාධාරණය.
 එමෙන්ම, ආණ්ඩුවෙන් බැහැර රාජ්‍යයෙන් බැහැර - ‘බලය’ ලබාගෙන සිටින ‘සංවිධාන’ කුමන නමකින්, කුමන අරුථකින් හෝ පෙනී සිට අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය ‘මර්ධනය’කරන්නේනම් - එම ‘සංවිධානය’ මිලේච්ජ සංවිධානයක් ලෙසට හැදින්වීම ඉතාම නිවැරදිය.
පැවති සෑම ආණ්ඩුවක් යටතේම, ජනමාධ්‍ය නිදහස, එනම් අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය, තොරතුරැ දැනගැනීමට තිබෙන අයිතිය, අන් අය හා තම මතය බෙදා හදා ගැනීමට ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝණය විය.
තවද, ජනමාධ්‍ය නිදහස යනු හුදෙක්ම, වෘත්තීය මාධ්‍ය කරුවන්ගේ, මාධ්‍ය ආයතනවල නිදහස ලෙසට ලඝු කල නොහැකි කරුණකි.
ජනමාධ්‍ය යන නාම පුවරුවට ආවරණය වී, යම් ආයතනයක් , සංවිධානයක් නිදහස් ප්‍රකාශනයේ නාමයෙන් අසත්‍ය කරැණු හිරිකිතයකින් තොරව.ලාබ ප්‍රයෝජන හා පුද්ගල අරමුණු ඉටු කර ගැනීමට, ප්‍රචාරය කරන්නේනම් එයද දැඩි ලෙසට හෙළා දැකිය යුතු මිලෙච්ජ කාරණයකි.මෙම කරුණු සියල්ල අපට බලපාන ඒවා වේ. එක් පාර්ශවයකින් ආණ්ඩුව, සියලුම රාජ්‍ය මෙවලම් උපයෝගී කරගෙන අදහස් ප්‍රකාශ කිරිම හා තොරතුරු දැනගැනීම මර්ධනය කරනු ලබයි. එයට අමතරව ආණ්ඩුවේ මතය, ඒක පාර්ශවිකව, ජනමතය පාලනයට යොදා ගනී.
ව්‍යාපාරික ප්‍රජාව, තම නිෂ්පාදන අළෙවියට ජනමතය හැඩ ගැස්වීමට , ජනමාධ්‍ය යොදා ගැනීමද, රිසි සේ සිදු කරයි. මෙයට ආණ්ඩුවද හවුල්ය.මේ යථාර්ථය තුල - පාඨකයින් ඉත්තන් වී ඇත. නිදහස අවශ්‍ය පාඨකයින්ටය. ජනතාවටය. නිදහස ගරැ කරන ජනමාධ්‍ය කරුවන් සිටීනම් - ප්‍රථමයෙන් ඔවුන් නිදහස් බව පෙන්නුම් කල යුතය. වචනයෙන් නොව ක්‍රියාවෙන්ය.

No comments:

Post a Comment