Thursday, June 16, 2016

අලියාටත් පොවා, තමුනුත් බීපු අලි - පේමේ, අවුරුදු 09ක්ම උසාවි යයි. අලි හොරකමකට නම් නොවේ.


මහකුමාරගේ පේ‍්‍රමදාස නොහොත් ‘‘අලි පේමේ’’  අලි හොරෙක් නම් නොවේ. පාරම්පරික ඇත්ගොව් රස්සාවට අවු: 15දී, එක්වූ සද්දන්තයින් මෙල්ල කළ ඇත්ගොව්වෙක්.

‘‘ මම ඇත්ගොව්වෙක් වෙන්න ගියේ අවුරුදු 15දී. එදා ඉඳලාම මම බිව්වා, බලා ගන්න අලියා සමගම.
දැන් මගේ වයස අවු: 71යි. අවුරුදු 40ක්ම ඇත්ගොව් රස්සාව කලා.
රස්සාවෙන් ඈත්වුනාට පස්සෙත් මෙල්ල කරන්න බැරි ඇත්තු මෙල්ල කරන්න මාව එක්කගෙන ගියා.
ඇත්තම කියනවානම් මට දැන් නොබී ඉන්න බැහැ.’’

අගලවත්ත කෙළින් කන්ද ගොවි ජනපදයේ ජීවත්වන ප්‍රේමදාස නොහොත් ”අලි පේමේ” තවත් ගමේ කිහිප දෙනෙක් සමග, ඇස් පෙන්නන්න කලූතරට ගොස් බසයෙන් ඇවිත් බහින කෙට, සිවිල් පිට හිටපු පොලිස්කාරයින් දෙන්නෙක් විසින් අත්අඩංගුවට ගනු ලබනවා. එ් 2007 ජූනි 27 දින. 

පොලිසියෙදී ප‍්‍රකාශයකට බලෙන් අත්සන් ගෙන, 2007 ජූනි 29 දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කර, පොලිස් ඇපයක් මත මුදාහරිනවා.

පොලිසිය නියම කල පරිදි උසාවියට ඉදිරිපත් වන අලි - පේමේ, පොලිසිය කිව්ව පරිදි වැරැුද්ද පිළිගැනීම ප‍්‍රතික්ෂේප කර, නිවැරදිකරු බව, නීතිඥ මහත්මියක් මගින් කියා සිටිනවා.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, බොරු නඩු දැමීම මගින්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව, අලි - පේමේ නොපමාව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පසුබට වන්නේ නැහැ.

එදා මානව හිමිකම් කොමිෂම පොලිස් කාරයින් හා එක්ව, අලි පේමේගේ මුූලික අයිතීන් කඩවීමක් හෙළිදරව් වන්නේ නැත” යන ප‍්‍රකාශය කරමින් පැමිණිල්ල කුණු කූඩයට දමනවා.

එ් 2008 අගෝස්තු 17 දිනය.

අලි - පේමේ මෙල්ල වන්නේ නැතිව, උසාවි යනවා. අවුරුදු 9ක් ඉක්ම ගිය තැන, 2016 ජූනි 03 වන දින, නඩුවෙන් අලි පේමේව මුදාහරිනවා. 

එ් පැමිණිල්ල (පොලිසිය* උන්නදු වන්නේ නැත යන නීතිමය පදනම මත.

අලි - පේමේ මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටින්නේ, දැන්වත් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව පිළිගෙන, අවුරුදු 8කට පෙර අවසන් කල මේ පැමිණිල්ල යථාවත් කර විමර්ශන ආරම්භ කරන ලෙසට හෝ නව පැමිණිල්ලක් ලෙසට පිළිගෙන විමර්ශණ ආරම්භ කර බොරු නඩුදමා තම අයිතිවාසිකම් උල්ලංඝණය කල එවක බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාරට හා පොලිස්පතිට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

එමෙන්ම පොලිස්පති, නීතිපති හා පොලිස් කොමිෂම අමතන අලි - පේමේ, නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටී. එම ලිපිය පහත දක්වමු.

නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා,
අවුරුදු 9ක් පුරා, වධ හිංසාවට පත් කිරීම.

මහා කුමාරගේ ප්‍රේමදාස, අවු: 71යි, විවාහක, දරුවන් 02, රැුකියාව: ගොවිතැන.
ලිපිනය : තරුණ ගොවි ජනපදය, කෙළින් කන්ද, අගලවත්ත.
2016.06.14 දින දීය.

2007 ජූනි 27 වන දින බදුරලිය පොලිසිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරන ලදි. නඩු අංකය 15682 වේ.

වරද පිළිගන්නා ලෙසට කරන ලද අයුතු බලපෑම් වලට යටත් නොවී මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කර සිටියෙමි.

එ් අනුව නඩුව අවුරුදු 9ක් පුරාම, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ පැවතිණ.

2016 ජූනි 03 වන දින පැමිණිල්ල උනන්දු නැති බව ප‍්‍රකාශයට පත්කර, මාව මුදාහරින ලදි.

මෙම බොරු නඩුව පවරන ලද්දේ එවක ස්ථානාධිපතිව සිටි, පො.ප.උදය කුමාර ය.

මෙසේ බොරු නඩු පැවරීම, පොලිසියේ පුරුද්ද බව ඔබ දන්නා කරුණකි. එයට ඔබ සැමගේ ආශිර්වාදය ද ලැබේ.

මේ බොරු නඩුවට නිවැරදිකරු කීමෙන් පසුව, මට බොරු නඩු තුනක් දැම්මා. එ් බොරු නඩු තුනටම මම වැරදිකරු කියා පිළිගත්තා. එ් නඩු කියන්න බැරි නිසා. 

එයින් එක් නඩුවකට රු. 5000/=ක් දඩ ගෙව්වා.

තවත් නඩුවකට රු. 25,000/= ක දඩයක් නියම කලා. මම දඩය නොගෙවා දවස් 15 කට හිරේ ගියා.

අනෙක් නඩුවට මම ප‍්‍රජා සේවය ඉල්ලා ගත්තා.

මෙම බොරු නඩුවට, අවුරුදු 9ක් පුරා මට වැයවූ මුදල රුපියල් ලක්ෂයකට වැඩියි. එ් නිකරුනේ වැය කල ශ‍්‍රමය එකතු නොකර.

මේ නඩුවේදී මාව මුදාහැර තිබෙන්නේ නැවත නඩු දාන්න පුලූවන් විදිහට.

බදුරලිය පොලිසිය අදටත් මහා පරිමාණ දැව හා වැලි ජාවාරමේ යෙදී සිටිනවා. 

එ් සියල්ලම ඔබ නොදනුවත්ව සිදුවන එ්වා නොවේ.

මා ඉල්ලා සිටින්නේ, මෙම බොරු නඩු දැමූ, එවක ස්ථානාධිපති පො.ප.උදය කුමාර ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනා ලෙසටයි. 

මහා කුමාරගේ ප්‍රේමදාස,

1 comment:

  1. all innocent people harass by government department. all agencies press for business from their agent. like wise head of police wants more and more cases to increase government number of cases there by increse government income.

    ReplyDelete