Sunday, September 14, 2014

පොලිසි වලට වාර්තා කර වීමේ ඇප කොන්දේසිය නීති විරෝධියි.

සැකකරුවන්ට හා චූදිතයින්ට, ඇප කොන්දේසියක් ලෙසට, පොලිසි වලට වාර්තා කරන ලෙසට මහේස්ත‍්‍රාත් වරුන් හා මහාධිකරණ විනිසුරුවරුන් නියම කිරීම, නීතියට පටහැනි, නීති විරෝධී, නියම කිරීමකි.

මෙම නීති විරෝධී නියම කිරීම, එනම් සැකකරුවන්ට, චූදිතයින්ට, ඇප කොන්දේසියක් ලෙසට පොලිසියට ගොස්, මසකට වරක්, සතියකට වරක්, එසේ නැතිනම් දිනපතාම පෙනී සිට අත්සන් කරන ලෙසට නියම කිරීම අදටත් ක‍්‍රියාත්මක වේ. 

මෙම විනිසුරු තීරණය නීතියට පටහැනි වුවත්, අධිකරණ නියමයට අනුව, සැකකරුවන්, චූදිතයින්ට පොලිසිවලට ගොස් පෙනී සිට අත්සන් කරයි.

මෙම සැකකරුවන්, චූදිතයින් අති බහුතරය, සමාජයේ නිරන්තරයෙන් අවදාමට ලක්වූ දුප්පතුන්ය. එම නිසා, ඔවුන්ට මෙම නීතියට පටහැනි නියමය අභියෝග කරන්නට දැනුමක්, නිර්භීත කමක්, දක්ෂතාවයක් ඇති නීතිඥවරන්ගේ සහාය ලබා ගැනීමට හැකියාවක් නොමැත.

එ් බව, මෙම තීන්දු දෙන විනිසුරුවරුන් ද, එවන් පුද්ගලයින්ව අල්ලා වධ දී ව්‍යාජ චොදනා නගා අධීකරණයට ඉදිරිපත් කරන පොලිසියද, එ් සඳහා උඩගෙඩි දෙන සිවිල් සමාජ සාමාජිකයෝද, ව්‍යාපාරකයින්ද, හොඳාකාරව දනී.

දණ්ඩනීති සංග‍්‍රහයේ 296, 316 හා 380 වගන්ති යටතේ වරදවල් සිදුකරන ලද බවට චෝදනා ලැබූ සැකකරුවකුවූ, රක්ෂිත බන්ධණාගාර ගතව සිටි, අරුමගමගේ සුගත් චන්දන කිරින්දගෙදර වෙනුවෙන්, වැලිවිට ආරච්චිගේ චන්ද්‍රිකා, රත්නපුර මහාධිකරණයේ උගත් විනිසුරුවරයා විසින් 2013.09.14 වන දින දෙන ලද නියෝගය ප‍්‍රතිශෝධනය කරන ලෙසට ඉල්ලමින්, අභියාචනා අධිකරණය වෙත පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ අරමුණ වූයේ, සැකකරුව මුදාහැර තිබූ ඇප නියමය අවලංගු කර, නැවත ඔහුව රක්ෂිත බන්ධණාගාරගත කිරීමට දෙන ලද නියෝගයේ උචිත භාවය අභියෝගයට ලක් කිරීමය.

මෙම සැකකරුව, 2007.05.10 වන දින, රත්නපුර මහාධිකරණ විනිසුරු විසින්, රු: 25,000/=ක මුදල් ඇපයක් හා රු: 100,000/=ක් වටිනා ශරීර ඇපයක් මත සහ සෑම මසකම අවසන් ඉරිදා බෙලිඅත්ත පොලිසියට වාර්තා කල යුතුය යන - නියමය මත මුදාහැරියේය.

ඇප මත මුදාහැරීමෙන් වසර 4 1/2කට පසුව, මෙම සැකකරු රත්නපුර මහාධිකරණයට, මෝසමක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඉල්ලීම වූයේ, ඇප කොන්දේසියක් වූ බෙලිඅත්ත පොලිසියට ගොස් වාර්තා කිරීමේ කොන්දේසිය වෙනස්කර සහනයක් සලසන ලෙසටය.

මෙම මෝසම මත, උගත් මහාධිකරණ විනිසුරු, බෙලිඅත්ත පොලිසියෙන් එ් සම්බන්ධ වාර්තාවක් කැඳවීය.

එම ඉල්ලීම මත, පොලිසිය, අධිකරණයට දැනුම් දී කියා සිටියේ, සැකකරු කිසි දිනක පොලිසියට වාර්තා කර නොමැති බවයි.

එයින් පසුව, ඇප පනතේ 14 වන වගන්තියේ අර්ථයට අනුව ය යන නිගමනය මත, උගත් මහාධිකරණ විනිසුරු, සැකකරුට ලබාදී තිබූ ඇපය අවලංගු කර, නැවත රක්ෂිත බන්ධණාගාර ගත කරනු ලැබීය.

අභියාචනාධිකරණ යේ මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, පොලිසියට වාර්තා නොකලාය යන්න මත, ඇප අවංලංගු කිරීමට කිසිම ප‍්‍රතිපාදනයක් ඇප පනතේ නොමැති බවයි.

එකී තර්කයට හානි නොවන පරිදි, නීතිඥවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ, සැකකරුට, මහාධීකරණ විනිසුරු විසින් නියම කළ පරිදි, පොලිස් ස්ථානයට ගොස් වාර්තා නොකළේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වූ සාධාරණ භිය නිසා බවය. තවද මෙය පොලිස් නිලධාරියකු මරා දැමීම හා අදාලවූ නඩුවකි. මෙම මිනීමැරුම ට අදාල සැකකරු වන් කිහිප දෙනෙකු අද්භූත අයුරින් මරණයට පත්ව තිබේ.

මෙහිදී, අභියෝගයට ලක් නොවූ කරුණකි, මෙම සැකකරු, නියම කළ සෑම දිනකම, වසර 4 1/2 පුරා ම  අධිකරණයේ පෙනී සිට තිබීම. මෙම පැහැදිලි කිරීම් උගත් මහාධිකරණ විනිසුරු ප‍්‍රතික්ෂේප කර, ඇප ලබාදීම අවලංගු කර නැවත රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබූ බව.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වු නීතිපති හා නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති වෙනුවෙන් පෙනී සිටි, රජයේ නීතිඥවරයා, දැඩි වෙහෙසක් ගත්තේ, සැකකරුට සහනයක් ලබා ගැනීමට අයිතියක් නැති බව, එ්ත්තු ගැන්වීමටය.

තවද ඇයගේ තර්කය වූයේ, මෙම සැකකරු නඩු විභාගයට ඉදිරිපත් නොවනු ඇති බවට ප‍්‍රබල සාක්ෂි තිබෙන බවය. මෙම තර්ක ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, ප‍්‍රකාශ කළේ අධිකරණ නියමය පරිදි, පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, ඇප අවංලගු කිරීමට හේතුවක් නොවන බවයි.

මෙම නඩු තීන්දුවෙන් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ ඇප කොන්දේසියක් ලෙසට, පොලිසියට වාර්තා කිරිම ට නියම කිරිම නීතියට පටහැනි බවයි.

පොලිසිය නඩු පැවරීමේ කාර්යයයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පොලිසියට වාර්තා කිරීමේ නියමය මත, සැකකරුව, පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් හමුව පත්කරනු ලබයි.

මේ මගින්, අණ ගුණ නැති, දුෂ්ඨ පොලිස් නිලධාරීන් බලය අයුතු ලෙස උපයෝගී කර ගනිමින්, අසරණ හා සැකකරුගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට ඉඩකඩ තිබේ.

එම නිසා, නඩු විභාගය පවතින අතරතුර සැකකරුවන්ට පොලිසියේ පෙනී සිටින ලෙස නියම නොකළ යුතුයි. 

සැකකරුව නිරන්තර පරීක්ෂාවට ලක් කල යුතුව තිබෙන අවස්ථාවක, ඉතාම සුදුසු ක‍්‍රියාව වන්නේ සැකකරුවන්ට අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා වෙත හෝ වෙනත් අධිකරණ නිලධාරියෙකු වෙත හෝ වාර්තා කිරීමට නියම කිරිමය. එම නිලධාරී පැමිණීල්ලට හෝ විත්තියට සම්බන්ධය අයෙකු නොවිය යුතුයි.

මේ මගින්, පොලිසියට වාර්තා කිරීම නිසා ඇති කරන ¥ෂණ හා බලය අයුතු ලෙස භාවිතය වැළැක් වීමට හේතු වනු ඇත. තවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්  සහතික කර තිබෙන, වරදකරු බවට ඔප්පුවන තෙක් නිර්දේෂීය යන්න යථාර්තය ක් වනු ඇත.

රක්ෂිත බන්ධණාගාරගත කර සිටි සැකකරුව වහාම මුදාහැරීමටද, පොලිසියේ වාර්තා කළ යුතු බවට වන කොන්දේසිය ඉවත් කිරීමටද - අභියාචනාධිකරණය තීන්දු කළේය.

මෙම තීන්දුව මගින්, මෙතෙක් පවත්වාගෙන ආ, සැකකරුවන්, වග උත්තරකරුවන්, චූදිතයින් පීඩාවට පත්කරනු ලැබූ පොලිසියට වාර්තා කිරීමේ කෝනදේසිය, පනවන්නේ නැතිව සිටීමට උගත් විනිසුරුවරුන් ක‍්‍රියාකරනු ඇතැයි යනු විශ්වාසයයි.

එමෙන්ම, සැකකරුවන්, වග උත්තරකරුවන් හා චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරුන්, යම් විනිසුරුවරයෙක් මෙම දුෂ්ඨ, නීතියට පටහැනි ඇප කොන්දේසිය පනවනු ලැබුව හොත් එය වැරදි බව පෙන්වා සිටීම කළ යුතුම කාර්යයක්.

එම පෙන්වා දීම පිළිනොගෙන, එකී කොන්දේසිය පනවන්නේ නම් එයට එරෙහිව, ඉහළ අධිකරණයට තම සේවාදායකයා වෙනුවෙන් යා යුතුය.

 මෙවන් තත්වයන් අධිකරණයෙන් ඔබ්බට ගෙනයා යුතුයි. එනම් අධිකරණ ක‍්‍රියාවලියේ නීතියට පටහැනි, නීති විරෝධී ක‍්‍රියාවන්, අධිකරණ ක‍්‍රියාමාර්ග වලින්ම විසඳා ගැනීමට බාහිරව ජන මතයක් ඇති කළ යුතුයි.

යුක්තිය ඉටු කර ගැනීමට, අදාල දනුම ජනතාවට ලබාදිය යුතුයි. එමෙන්ම යහපත් සමාජයක් උදෙසා ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අධීකරණ තීරණ නීතියට පටහැනි නම්, එ් ගැන කතා කිරීමට, විරෝධය දැක්වීමට, රට වැසියන්ට අයිතියක් ඇත.

නිහඬව නොසිටින්න.

දැනට ඇප කොන්දේසියක් වශයෙන් පොලිසිවල ට ගොස් අත්සන් කිරීමට නියමිත සැකකරුවන්ට, වගඋත්තර කරුවන්, චූදිතයින්ට, එම නියෝගය ඉවත් කරන ලෙසට අදාල අධිකරණයෙන් ඉල්ලා සිටීමට බල ගැන්වීම.

එම ඉල්ලීම නීතිඥවරයෙකු මගින් හෝ සැකකරුට, වගඋත්තරට, චූදිතට ඉදිරිපත් කල හැකිය. 

No comments:

Post a Comment