Friday, March 1, 2013

ආණ්ඩුව ජනතාව මර්ධනය කිරීමට පොලිසියට ලබාදී තිබෙන වරම් පිලිබද උදාහරණයකි


පුතා වෙනුවට තාත්තාව ප්‍රාණ ඇපයට ගනී. පොලිසියට පැමිණි පුතාව දින පහක් රදවාගෙන වධ දෙයි. බොරු චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කරයි. බන්ධනාගාරයේදීත් පහර කෑමට ලක්වෙයි. ප්‍රතිකාර ලබා නොදෙයි. අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයා පරීක්ෂා නොකර වාර්තාව ලබා දෙයි.
ධීවර රැකියාවට ගොස් සිටියදී ඔහු සොයා පොලිසිය පැමිණ ඇත. නොසිටි නිසා, ඔහුගේ පියාව අත්අඩංගුවට ගනී. නිවසට පැමිණි ඔහු  පියා දැක ගැනීමට පොලිසියට යයි.
එහිදී ඔහුව අත්අඩංගුවට ගන්නා පොලිසිය දින පහක් රදවා තබාගෙන, නිරුවත් කොට, එල්ලා පහර දෙයි. කොච්චි මිරිස් කොටා ඇස්වලට වක්කරයි. ධර්ම චක්‍ර ක්‍රමයට එල්ලා පහර දෙයි. ඇස් බැද මුහුණට වතුර වක්කරයි (වෝටර් බෝඩිං වධය) . ඒ අතර කාන්තාවක් පොලිසියට ගෙන්වා ඔහුව පෙන්වා - හදුන්වා දෙයි.
පස්වන දිනයේ ඔහුව කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ, රන් මාලයක් කඩා ගැනීමේ චෝදනාවටය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොලිසියට සැකකරුවන් රදවා තබාගැනීමේ කාලය පැය 24 සිට පැය 48 දක්වා වැඩිකර දුන්නේය. පයාගල පොලිසියේ සිටි පද්ම කුමාර නැමැති නිලධාරියාට එයද මදි විය. ඔහු පැය 220ක් රදවා තබාගත්තේය. ඉහත සදහන් කල පරිදි වධ දෙන්නටය.
දින පහකට පසුව, නාගොඩ මහා රෝහලට ගෙනගොස් අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කලද, එම වෛද්‍යවරයා ඔහුව පරීක්ෂා නොකර වාර්තාවක් ලබා දී ඇත.
ඉහත සදහන් වන්නේ, පයාගල පොලිසියට ගිය, පයාගල ධීවර තරුණයෙකුවූ 29 හැවිරිදි ජූඩ් ෆ්‍රැන්සිස්ට - පද්ම කුමාර නැමැති නිලධාරියා මූලිකත්වය ගෙන - වධ හිංසා පැමිණවීම, බොරු නඩු දැමීම හා නාගොඩ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙකු ගේ ක්‍රියාකලාපය හා බන්ධණාගාරයේ තත්වයයි.
මේ ජූඩ් ෆ්‍රැන්සිස්ට සීමාවූ හුදකලා කතාන්දරයක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පොලිසියට ජනතාව මර්ධනය කිරීමට ලබාදී තිබෙන සියලු ඉඩ ප්‍රස්ථාවන් පිලිබද උදාහරණයකි.
රදවා තබාගැනීමේ කාලය පැය 24 සිට පැය 48 දක්වා වැඩි කිරීම, ත්‍රස්ථවාදී වැලක්වීමේ පනත ක්‍රියාත්මක කරමින් පොලිසියට වරම් ලබාදීම, තම හිතවත් පොලිස් නිලධාරීන්ට ස්ථානාධිපතිකම් පැවරීමේ සිට අගවිනිසුරු පදවියට තම හෙංචයි‍යෙකු පත්කිරීම දක්වා වූ රටේ නීතිය, අවිනීතිය කිරීමේ ප්‍රථිඵලයයි.
හුදකලා කතාන්දරයක් නොවේ.


No comments:

Post a Comment