Saturday, May 25, 2013

දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන.

"පිංබර වෙසක් පෝ දිනේ ලියන පළමුවෙනි ස්ටේටස් එක සිත නිවෙන කතාවක් ලියන්න ඕනේ කියල මම සතියකට කලින් ම අධිෂ්ඨාන කරගෙන හිටිය. හැබැයි කණගාටුයි අද මේ අහන්න වෙච්ච දේ ත් එක්ක ඒක පැත්තකින් තියන්න වෙනවා.දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන. දැන් ජාතික රෝහලේ. ගිනි තබා ගැනීමට හේතුව ගාව ඝාතනයට එරෙහි වීම ලු.

දැන් දාහක් දෙනා මේ ක්‍රියාවට සුදු හුණු ගාන්න උත්සාහ කරයි, ඒත් මට නම් කියන්න තියෙන්නේ මේක නොම්මර එකේ ගොංපාට් එකක් කියල විතරයි. ඇයි දෙයියනේ බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන විතරද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මෙන්න අපේ පිංබිමේ සැබෑ තත්වය. මේවට කතා කරන්න මිනිස්සු කෝ? කෝ කවුරුත් මේවට විරුද්ධව උපවාස කළා ද? උද්ඝෝෂණ කළා ද? පෙළපාලි ගියා ද? අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කළා ද?

ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් නරකයි තමා. එහෙනම් මාළු අල්ලන එකත් වැරදියි. පිහියෙන් බෙල්ල කපනවට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳලයි මාළුවා මැරෙන්නේ. බෙල්ල කට කැපිලා, ලේ වැගිරෙන අතරම, හුස්ම ගන්න බැරිව වේදනාවෙන් පණ ගහල ගහල තමා මාළුවෙක් මැරෙන්නෙ. එහෙනම් ඒවටත් එරෙහිව ගිනි තියා ගන්න එපැයි. එහෙනම් නිර්මාංශිකකුට ඇරෙන්න කාටවත් අයිතියක් නැහැ සත්ත්ව ඝාතනය ගැන කතා කරන්න.
අනික පරපණ නැසීම පමණක් නෙමේ වැරදි. සියපණ නැසීමත් පාණාතිපාතයක් ම තමා. දැන් එතකොට මේ හාමුදුරුවෝ ගව ඝාතනයට එරෙහි වෙන්නේ, තමන්ව ඝාතනය කර ගැනීමෙන් ද? එක පණ නැසීමකට කරනවාට විරුද්ධව තවත් පණ නැසීමක්! පාණාතිපාතයට එරෙහි වන බුද්ධ ශ්‍රාවකයෙක් ම, ඊට එරෙහි වන්නට ගොහිං පාණාතිපාතය කඩා ගැනීම තරම් අසාර්ථක වැඩක් තවත් මට නම් හිතා ගන්න වත් බැහැ. මේ වගේ මිච්ඡා සංකප්පධාරීන් බුද්ධ කාලයේත් හිටියා. කණගාටුයි අදත් ඉන්නවා.


පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!"


 Chameera Dedduwage

2 comments:

  1. මූදු මාළු මැරීම පවක් නොවේ, මිරිදිය මාළු මැරීම තමයි පව් වැඩේ!

    ReplyDelete
  2. ඉහතින් කතන්දර මතක් කරන්නේ, මාර්ටින් වික්‍රමසිංහගේ 'අපේ ගමේ' එන මාලු මරන්නාගේ කතාවේ කෑල්ලක් මහිතේ.
    බෝවත්තෙ හාමුදුරුවන්ට මොනව කීවත් දැන් වැඩක් නෑ ඒව අහන්න උන්වහන්සෙ දැන් ජීවතුන් අතර නැහැ.

    තවත් අය උන්වහන්සේ අනුගමනය කිරීමයි නැවත්විය යුතු.

    අරක්කු කාලට විකිනෙන දේශප්‍රේමය, රියාල්/dinar සොච්චමකට මසට විකිනෙන්න සිදුව ඇති සරීර කූඩු අතරේ උන්නාන්සෙගෙ සරීර කූඩුව පූජා කලේ පුද්ගලික උවමනා වලින් බැහැර වු යම් උදාර පරමාර්ථයකට, එය අගය කරමි.

    ලංකාවේ මසට සතුන් මරණ ක්‍රමය හරිම කෲරයි, ඒ මස් කන අයත් කෲර වෙන බව විද්යාත්මකව ඔප්පු කර තිබෙනවා. ඒ සතුන්මරන විදිහ නම් සාමාන්‍ය කෙනෙකුට නම් උහුලන්න බෑ. ඒ ගැනවත් හිතල උන්වහන්සේගේ හිතවතුන්ට දායකකාරකාදීන්ට පවුලේ අයට සැනසිල්ලක් ලබන්න පුලුවන්. ඒත් පොදුවේ ගත්කල භික්ෂුවකට තිබෙන සමාජ පීඩනය එයින් පිළිඹිබු වෙනව.

    භික්ෂුවගේ කාර්‍යභාරය කුමක්දැයි දැන් භික්ෂූන්ටත් ප්‍රශ්නයක් වී ඇති හැටි එලියට පනින්න අරන් බොහෝ කල්. ඒත් මෙ තරමට වන වී ඇතිබව ලෝකෙටම පෙන්වන අවස්තාවක්.
    තව දුරටත් පාදඩයන්ට පිරිත් නූල් බඳිනු බැරිව, දරිද්‍රතාවයෙන්, සමාජ පීඩනයෙන් බේරෙනු බැරිව දිවි නසා ගන්නා බුද්ධපුත්‍රයන්ගේ සංඛ්‍යාව ඉහල නොයෑමට සඞඝ සමාජය මෙන්ම ගිහි සමාජය වග බලාගත යුතු බව කිව යුතුය.

    ReplyDelete