Sunday, November 24, 2013

71 වසන්තය ලියු කිවිවර ජෙයපාලන් අත් අඩංගුවට

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ.
 දැනට නොර්වේ රාජ්‍යයේ වෙසෙන වීඅයිඑස් ජෙයපාලන් කලක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල විවේචකයෙක් වූ නමුත්, කොටි සංවිධානයට එරෙහිව ආරක්ෂක හමුදා දියත් කළ යුද්ධයද දැඩි විවේචනයට ලක් කළේය. ඔහු පසුව දෙමළ චිත්‍රපටවල රඟපෑමටද එක් විය.
ජයපාලන් විසින් 71 අරගලය අල්ල ලියැවුනු ඉතා ජනප්‍රිය කවියක පරිවර්තනයකි මේ.

පරිවර්තනය - නිලාර් එම් කාසිම්

71, වසන්තය
මලින් බර විය මහා වන හිස
කොවුල් ගී නද ඇසිණ මිහිරිව
පුරුදු පරිදිම
ඇවිත් ගිය හැම වසන්තය සේ
ප්‍රමෝදය හා යලිදු පිවිසිණි
71, වසන්තය
රාවණාගේ පාලනයේ වුව
රාමගේ පාලනයේ වුව කිම?
උදාවුණ ඒ වසන්තයේදිත්
ගමින් ගම නම් පුරුදු පරිදිම
පවුල් බලයේ බල පරාක්‍රම පැවතුණේමය.
මඩෙහි වධ විඳි මී ගොනුන්
රුදුරු ඉරණම දිනනු නොහැකියි
සිතනවා මෙනි
“සියලු දේ වෙයි උපන් හැටියට”
කියා එලෙසින පැරණි ගැමියෝ
යටත් වූවෝ එගැමි සිරිතට
උදා වූ ඒ වසත් දිනවල
තරුණ සමහරු
අනෙක් සොයුරන්
අවදි කෙරුවේ එක එකා මෙනි
දවල් නිදනා දනන් වෙනුවෙන්
රුදුරු දිග රෑ ගණන් නොනිදා
නැවුම් හිරු කැන් වසං කර සිටි
මහ ගිරිකුලු ඉවත් කරලන
පරම රහසද කෙඳිරුවෝමය
හිටිගමන් ඒ වසන්තය තුල
වීදී අවුරා ප්‍රලය වූ
අවි හඬින් ගැමියෝ සසැලුණාහුය
දෙපස මං පෙත රුහිරු මල් විය
අඳුරු පැහැගත් හැම ගමින් ගම
තරුණ හිරු දරුවෝ
වැළලුණාහුය, අපේ මිහි මවු ගැබෙහි පතුලෙම
කොවුල් ගී මැද මඟුල් පෙරහැරක් සේ ඇවිත්
අවමඟුල් පෙරහැරක් සේ එය ගෙවී නිම විය
71, වසන්තය
අපේ ගම් බිම් හරිම
සරුසාරයි- හැබෑමයි
කුමක් වළලා දමන ලද මුත්
පඳුරු ගසමින් යලිත් සුපිපෙයි
සත්තකින්, දලු ලා වැඩෙයි
- ව. අයි. ස . ජයපාලන්

1 comment:

  1. ජයපාලන් කියන්නෙ ඉන්දියන් දෙමල මනුස්සයෙක් කියලත් තැන් තැන්වල තිබුනා..
    මේ ජන සංසදය අඩවිය ලෝඩ් වෙන්න මහ ලොකු වෙලාවක් ගන්නවා නෙව.. මේක මේ තරං වෙලා ගන්නෙ ඇයි දන් නැහැ නේ.. ටෙම්පෙලෙට් අවුලක් වෙන්න ඇති.

    ReplyDelete