Saturday, February 8, 2014

මොරටුවේ “කුඩු” පොලිස් කාරයෝ අල්ලන්නේ නැත්තේ ඇයි.

අධිකරණ නියෝග කුණු කූඩයට දමමින් කුඩු ජාවාරම් කරන ලද පොලිස් කාරයින්ව බේරා ගැනීමට දෙවන වරටත් ගත් උත්සාහයද කුණු කූඩයට ...
විසිහත් හැවිරිදි අසිත කුමාරව, 2012.06.04 වන දින රාත්‍රී 12.00 ට පමණ, බත් කමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදි.
එදා පොසොන් දවසයි. ඒ නිසා ගෙදර බත් ඉව්වේ නෑ. දන්සැලකට ගිහිල්ලා තමයි පුතා අම්මාටත් එක් කෑම ගෙනාවේ.
අසිත කුමාරව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තමන් මොරටුව පොලීසියෙන් බව කියා සිටියා. චේන් කඩපු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා බවද ඔවුන් ප්‍රකාශ කළා. ඔවුන් අසිතගේ යතුරු පැදියත් අත්අඩංගුවට ගත්තා.
අසිත කුමාරව මොරටුව පොලීසියේ 2012.06.12 දක්වා රඳවා තබාගෙන වධ දුන්නා. දින 07 ක් නීති විරෝධී ව තබාගෙන, වධ දී අධිකරණයට ඉදිරිපත් කර බොරු නඩු දෙකක් දමමින්ය.
එකක් චේන් එකක් මංකොල්ලා කන ලද බවටය. අනෙක “කුඩු” මි.ග්‍රෑ. 2200 ක් ප්‍රවාහනය කළ බවටය.
මෙම බොරු නඩු දෙකෙන්ම අසිත කුමාර නිදහස් විය.
කුඩු නඩුවෙන් නිදහස් කරමින්, මොරටුව දිසා විනිසුරුවරයා කියා සිටියේ මොරටුව පොලීසිය අධිකරණයේ අත් බැඳ ඉතාමත් ද්වේශ සහගතව සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක්‍රියා කර ඇති බවයි.
එමෙන්ම, පොලිස් බාරයේ සිටිය දී, අසිත කුමාරට “කුඩු” දමා තිබෙන බවද ඔප්පු විය. මේ පිළිබඳව අධිකරණය කියා සිටියේ පොලීසියට කුඩු ලැබුනේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු බවයි. එමෙන්ම කුඩු තබා ගැනීම ගැන පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මොරටුව සහකාර පොලිස් අධිකාරී වරයාට නියම කළේය.
ඒ නියෝගය අනුව, ක්‍රියා කිරීමට පොලිස්පතිවරයාට බලයක් තිබුණේ ද නැද්ද. එසේ නැති නම් අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නේ පොලිස් නිලධාරීන් සතුව පොලීසිය විසින්ම සපයන කුඩු තබාගෙන සිටින නිසාද.
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, ඔවුනට වධ දෙන පොලිස්කාරයෝ, තමන් කරන ලද අපරාධයෙන් ගැලවීමට, අධිකරණය හමුවට මේ පුද්ගලයින්ව ඉදිරිපත් කරන්නේ “කුඩු” “ ගංජා” “ ගිනි අවි” හෝ “බෝම්බ” දමාය.
මෙය රාජපක්ෂ චින්තනය අනුව ක්‍රියාත්මක වන බව අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ මේ අපරාධ කරන පොලිස් කාරයින්ට නීතිය ක්‍රියාත්මක නොකර, ඔවුන්ට දඩුවම් ලැබීමෙන් ගැලවී සිටීම සහතික කර තිබෙන නිසාය.
මෙම නඩු තීන්දුව තිබිය දී, පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුග්‍රහය හා රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය යටතේ එම කුඩු ප්‍රවාහන චෝදනාවටම යළිත් වරක් අසිත කුමාරට එරෙහිව, මොරටුව අධිකරණයේම නඩු පැවරීය.
එම නඩුව, පවත්වාගෙන යෑමට නොහැකිව තීරණය කළ අධිකරණය දෙවන වරටත් අසිත කුමාරව නිදහස් කළේය.

මොරටුවපොලීසියේ මෙම නින්දිත ක්‍රියාවන්ට හවුල් පො.ප.බංඩාර ප්‍රමුඛ නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කර, අවම වශයෙන් අභිමානවත් පොලීසියක් ගොඩනගන්න උත්සාහයක් හෝ තිබෙන බව පෙන්වන ලෙසට පොලිස්පතිගෙන් හා රාජපක්ෂ විසින් පොලීසිය බාරව පිහිටුවා තිබෙන නව අමාත්‍යාංශයේ ලෙක්ම් ගෙන් ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment