Friday, December 5, 2014

පිරිමි ඇගට, ඇස්වලට කොච්චි ඉස්ම දැම්මේ නිරුවත් කර ධර්ම චක‍්‍ර ක‍්‍රමයට එල්ලලා.


මහින්ද රාජපක්ෂ පාලනය කරන  පොලීසිය අජිත් කුමාර ව, අවු: 29 යි, පානදුර දකුණ පොලීසිය නීතිවිරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධ දීම පිළිබදව පොලිස්පති එන්.කේ ඉලංගකොන් ට 2014.12.04 වන දින කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

2014.12.18 වන දින, දහවල් 11.00 ට පමණ මා, කිරිබේරිය හංදිය, ත‍්‍රීරෝද රථ ගාලේ, ත‍්‍රීරෝද රථයේ සිටින විට, ඩිෆෙන්ඩර් රථයකින්, පානදුර දකුණ පොලීසියේ බුද්ධි අංශයේ නිශාන්ත කුමාර හා අමිල යන පොලිස් නිලධාරීන් දෙන්නා පැමිණ, මගේ නම අසා උඹව තමයි  ඕනි කියා, මගේ අතින් අල්ලා ඩිෆෙන්ඩර් රථයට දමා ගත්තා.

ඩිෆෙන්ඩර් රථයේ තවත් නිලධාරීන් තුන් දෙනෙක් හිටියා. සියලූ දෙනාම හිටියේ සිවිල් ඇඳුමින්. මාව, ඔවුන් පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයට ගෙන ආවා.
එහිදී, අමිල නැමති නිලධාරියා මට කිව්වා, ගුටි කන්නේ නැතිව, ටයර් එක දියන් කියා.
මම, ටයර් එකක් ගත්තේ නැති බව ප‍්‍රකාශ කළාම, කිසිවක් සටහන් නොකර මාව, කූඩුවට ගෙනත් දැම්මා.

එදින, දවල්,  මාව බලන්න මාගේ බිරිඳ, මව, පියා හා ඥතීන් පැමිණියා. මට ඔවුන් සමග කතා කරන්න දුන්නා.

පසුදින, එනම් 2014.11.19 වන දින, උේ 8.30 ට පමණ අමිල නැමති නිලධාරියා පැමිණ, කූඩුවෙන් මාව අරගෙන උඩ තට්ටුවට ගෙන ගියා.
මාව පොලීසියේ තුන්වන තට්ටුවේ කෙළවරේ පිහිටි, නිලධාරීන් වාසය කරන කාමරයට ගෙන ගියා.
එම කාමරයේ ඇඳන් 10 ක් විතර තිබුණා. මේස 02 ක් තිබුණා. ටී.වී. එකක් තිබුණා. ලොකු බංකුවක් තිබුණා.

එහිදී, අමිල නැමති නිලධාරියා, මට ගලවපන් පකෝ, ඇඳුම් කියා කම්මුලට ගැහැව්වා.
මම ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සෙ අත්දෙක එක්කර බැනියමක් අඹරා ගැට ගැහුවා. ඊට පසු වාඩි කරවා, කකුල් දෙක හා අත් දෙක අතරින් යකඩ පොල්ලක් දමා, අමිල හා තවත් නිලධාරියෙක් මේසය හා බංකුව අතරින් තබා මාව එල්ලූවා. එය ධර්ම චක‍්‍රය යැයි කිව්වා.  

එසේ එල්ලා, කොච්චි කොටා, පොට්ටනියක් කර, එහි ඉස්ම, මගේ ඇස්වලට හා පුරුෂ ලිංගයට මිරිකුවා.
ඊට පස්සේ මුලූ ඇෙඟ්ම එ් පොට්ටනිය ඇතිල්ලූවා. කොච්චි මට කැවෙව්වා. ඊට පස්සෙ යටි පතුල් වලට විකට් කූරක් අරන් ගැහැව්වා. තට්ටම් වලට ගැහැව්වා.

පැයක් විතර මාව එල්ලලා තියලා බිමට බෑවා. මම වතුර ඉල්ලූවා දුන්නේ නැහැ.
මේ සියලූම වධ දුන්නේ අමිල කියන නිලධාරියා. බිම ටික වේලාවක් තබා දෙන්නෙක් ඇවිත් අත් ලිහා, ඔවුන්ගේ නාන කාමරයට මාව අල්ලාගෙන ගෙන ගිහින් නාන්න කිව්වා.

නෑවට පස්සේ ඇඳුම් ඇඳ ගනින් කියා, මාව අපරාධ අංශයේ බංකුවේ වාඩි කරවා තිබ්බා.
එසේ ඉන්න විට, සවස 3.00 ට විතර, අමිල නිලධාරියා ඇවිත් කිව්වා අපි උඹව එළියට දාන්න හිටියේ, උඹේ අම්මලා මානව හිමිකම් ගිහින්, එ්ක හින්දා උඹව අපි ආමි ඇබ්සන්ට් හින්දා හමුදාවට බාර දෙනවාකියා.

පස්සේ මාව කූඩුවට දැම්මා. පසුදින, එනම්, 2014.11.20 දින, අලූයම 4.30 ට පමණ, මිලිටරි පොලීසියෙන් පැමිණ මාව, නාරාහෙන්පිටට ගෙන ගියා. නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ, මිලිටරි පොලීසියේ මාව දින 02 ක් රඳවා ගෙන හිටියා. 2014.11.22 දින, මාව, මා අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ, කොබෙයිගනේ කඳවුරට ගෙන ගියා. එම කඳවුරේ, මා දින 04 ක් හිටියා. 2014.11.26 උදේ 10.00 ට පමණ, රෙජිමේන්තුවේ මූලස්ථානයට ගෙන ගියා. එහි දින 02 ක් හිටියා. 2014.11.27 දින, සවස මන්නාරම, කරායි, රෙජිමේන්තු මූලස්ථානයට නෙ ගියා.
එහි සිටින විට, 2014.11.30 වන දින, මාව හමුදාවෙන් අස් කිරීමට නියමිත බවට ලිපියක් නිකුත් කර ගෙදර එව්වා.

මෙසේ මාව, පානදුර දකුණ පොලීසිය, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධ දුන්නේ, මාලමුල්ල දෙල්ගස් හංදියේ, වාහන හිමියාගේ අවශ්‍යතාවයට බව ප‍්‍රකාශ කරමි.
මේ ආකාරයට නීති විරෝධීව මට වධ දී, අපරාධයක් සිදු කළ පානදුර දකුණ පොලීසියේ අමිල හා නිශාන්ත කුමාර යන නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටමි. -  අජිත් කුමාර












No comments:

Post a Comment