Saturday, January 11, 2014

ඉංග්‍රීසියෙන් ලියපු කටඋත්තරයට අත්සන් කිරීම ප්‍රතික්ෂ්ප කලා. පැනලා යනවද කියා ඇහැව්වා. අවස්ථාවක් ආවොත් පනිනවා කිව්වා. පැනලා යන්න උත්සාහ කරන තෙක් ආරක්ෂාව තියෙනවා කිව්වා. - සෝමපාල ගරුසිංහ


මම ජේ.වී.පී එකට එකතු වෙලා, 1971 කැරැලල්ට සම්බන්ධ වුනා. මම අවුරුදු හයක්ම සන්නද්ධව කණ්ඩායමක් එක්ක අහුවෙන්නේ නැතිව හිටියේ කැලේ.

අත්අඩංගුවට පත්වුනොත් දෙන කට උත්තරයට මම සූදානම් වෙලා හිටියා. මාත් එක්කම හිටපු අයගේ නම් ගම් හෙළි කරන්නේ නැතිව, මම කරපු දේවල් කියන්න මම සූදානම් වෙලා හිටියේ.

මාව අත්අඩංගුවට ගත්තේ 1976 අග භාගයේදී. මාව ප්‍රශ්ණ කලා. මම මගේ සැලැස්මට අනුව කටඋත්තර දෙනවා. කොළඹින් ආපු රහස් පොලිසියේ මහත්වරු දවල්ට ප්‍රශ්ණ කරලා, රෑට කූඩුවට ගෙනත් දානවා. දවසක් පොලිස් නිලධාරී මහතෙක් මගේ ළගට ඇවිල්ලා කිව්වා (මගේ ප්‍රකාශයට සවන් දීපු) - කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ, අවුරුදු 20කට හිරේ යනවා කියලා.

මම ඔහුට කිව්වා - ඔය ප්‍රකාශයට මම අත්සන් කරන්නේ නෑ කියලා.  ඔහු පුදුම වෙලා ඇහුව්වා ඒ කොහෝමද කියලා. මම කිව්වා ඒක ලියන්නේ ඉංග්‍රීසියෙන්, ඒ නිසා මම අත්සන් කරන්නේ නෑ කියලා.

දවසක් ප්‍රශ්ණ කරන අතරේ මගෙන් ඇහැව්වා පැනලා යනවාද කියා. මම කිව්වා අවස්ථාවක් ආවොත් පැනලා යනවා කියා. පැනලා යන්න උත්සාහ කරන තෙක් ආරක්ෂාව තියෙනවා කියා පොලිසිය කිව්වා.

පසුවදා එම මහත්තයයි, තවත් මහතෙකුයි කූඩුව ලගට ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ යුක්ති කොමිෂන් සභා පනත මට ගෙනත් දුන්නා. මට කියලත් දුන්නා.

රහස් පොලිසියේ මහත්වරු මට ප්‍රකාශයට අත්සන් කරන්න කිව්වා. මම බැහැ කිව්වා. ඉංග්‍රීසියෙන් තියෙන නිසා. මට බල කලා. නමුත් අත්සන් කළේම නෑ. මම ඔවුන්ට නීතිය කිව්වා. ඒ පාර යලිත් මගෙන් ප්‍රකාශය අරන් සිංහලෙන් ලිව්වා. කියන දේට පිටින් අකුරක්වත් වෙනස් කරන්නේ නැතිව. මම එයට අත්සන් කලා. මම නිදහස් වුනා.

88-89 දී මම එතකොට ජේ.වී.පී.නොවෙයි. මම එයට විරුද්ධයි. ඒත් දයානන්ද වික්‍රමසිංහ (පාර්ලිමේන්තු මංත්‍රි) ගේ අවශ්‍යතාවයට මාව අත්අඩංගුවට ගත්තා. මාව වීරවිල කඳවුරට ගෙනහින් දැම්මා. ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, විජය කුමාරතුංග ඉදිරිපත් වෙලා මාව බේරා ගත්තා.

මම මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම ගැන. නඩුව කළේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය. මම මෙම ප්‍රකාශය කළේ, මාගේ කයිවාරුව කියන්න නෙවෙයි. මෙම ප්‍රකාශනය - නීතිය, පොලිසිය, උසාවිය හා යුක්තිය පසඳලීම- ගැන කථා කරන්න, නීතිය දැනගෙන සිටීම ඉතා වැදගත් බව පෙන්නුම් කරන්න. පැහැදිලි කරන්න.

මම අගය කරනවා - ජනසංසදය දරන උත්සාහය, නීතිය ජනතාව ලගට ගෙනයන්න. නීතිය දැන තිබීම අවශ්‍යයි. පොලිසියට, උසාවියට ගිහිල්ලා අභියෝග කරන්න.

2013.12.29 - නීතිය, පොලිසිය, උසාවිය හා යුක්තිය පසඳලීම තේමාව යටතේ ජනසංසදයේ පැවැති කථීකාවට එක්වෙමින් ඉහත අදහස් ප්‍රකාශ කළේ 1971 අප්‍රේල් සන්නද්ධ කැරැල්ල සෘජුව සම්බන්ධව, වසර 6ක් අත්අඩංගුවට පත් නොවී කැලයේ සිටි සෝමපාල ගරුසිංහය. ගුරුවරයෙකු වු සෝමපාල ගරුසිංහ, ගුරුවෘතිය සමිති ව්‍යාපාරයේ මෙන්ම 71´ සංසදයේ මුල් පෙළේ ක්‍රියා ක්‍රිය්‍යාධර යෙකි.

No comments:

Post a Comment