Tuesday, July 22, 2014

නේපාලයේ පෙනීම දෙන දෙවියන්


නේපාලයේ අක්ෂි විශේෂඥයකු  වන සන්ඩුක් රුයිට් විසින් ලොවට හදුන්වා දී ඇති, ඉතා ළාභදායී, ප්‍රකට අක්ෂි රෝගයක් වන සුද ඉවත් කිරීමේ ශෛල්‍ය කර්ම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හදුන්වා නොදෙන්නේ ඇයි ?

මේ ප්‍රශ්ණය නගන්නට සිදුව ඇත්තේ - මේ වනවිට සුද නැමැති අක්ෂි රෝගයෙන් පෙළෙන දුගී ශ්‍රී ලාංකිකයින්ට ඒ සදහා වැය වන මුදල පියවා ගන්නට බැරිව සිටින්නට වීම නිසාය.

නේපාලයේ - හිමාලය කදු පාමුල සුඵ වෙළද ව්‍යාපාරික පවුලකට උපන් සන්දුක් රුයිට්, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ - නේපාලයේ කත්මන්ඩු නුවර සිද්ධාර්ත වනස්කාලි පාසලේය. එයින් අනතුරුව ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහු, එයින් පසු - නෙද්ර්ලන්තයේ, ඇමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීය.

ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය  ෆේරඩ්  හෝලෝඩ් යටතේ සිය ඉගෙනීම් හා පර්යේෂණ කටයුතු වල නිරතවූ සන්දුක් රුයිට‍ ඔහු හා එක්ව  සුද ඉවත් කිරිම සදහා වූ ඉතා සරල ශෛල්‍යකර්ම ක්‍රමවේදය සොයා ගත්තේය. එමෙන්ම අඩු මුදලක් වැය වන කාචයක් ද නිර්මාණය කළේය.

මේ නිසා බටහිර ලෝකයේ නිපදවන ඩොලර් 100ක් වන කාචය ඩොලර් 3.5 කට නිපදවීමට හැකි විය.

1994 දී නේපාලයේ තිල්ගංගා අක්ෂි මධ්‍යස්ථානය පිහිටුවීය. නමුත් එයට එරට සම්ප්‍රදායික වෛද්‍යවරුන් හා ආණ්ඩුවේ විරෝධය නිසා පවත්වාගෙන යෑමට නොහැකි විය. නමුත් ඔහු කිහිපදෙනෙකු හා එක්ව, රහසිගතව තම ශෛල්‍යකර්ම කරගෙන ගියේය.

ඉතා ටික කලකින් අභියෝග බිද දමමින් තම ශෛල්‍ය කර්ම ක්‍රමය හදුන්වා දීමට පියවර ගත්තේය.
මේ අතර ඔහුගේ මෙම විශ්ම ජනක ශෛල්‍ය කර්මය පිළිබද වාර්තා චිත්‍රපට නිපදවීමට, ඉහළම සිටිනා සිනමා කරුවන් එක්විය.

මේ වන විට නේපාලයේ - ලක්ෂයකට වැඩි පිරිසකට පෙනීම ලබා දීමට සන්දුක් රුයිට් ගේ වෛද්‍ය කණ්ඩායමට හැකිව තිබේ.

ලෝකයේ බොහෝ රටවලින් පැමිණි තරුණ අක්ෂි වෛද්‍යවරුන්, රුයිට් ගේ අක්ෂි කදවුරුවල ඔහු ගේ ඉතා අඩු වියදමින් සිදු කරන- සුද ඉවත් කිරීමේ ශෛල්‍ය කර්ම ක්‍රමය ඉගෙනුම ලබයි.


මේ ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වාදී - ලක්ෂ ගණනක් මුදල් නොමැතිවීමෙන් පෙනීම අහිමිවී ඇති අයට - ආලෝකය ලබාදීමට පියවර ගැනීම - ආණ්ඩුවේ මෙන්ම වෛද්‍යවරුන්ගේ ද වගකීම වේ.

No comments:

Post a Comment