Friday, February 22, 2019

පොලීසිය කප්පන් ගන්නේ පෙරකදෝරුවන්ගේ මාර්ගයෙන් !

තමාම, තම නඩුවට පෙනී සිටින පුද්ගලයෙකුගෙන් අදාල නඩුවේ- පැමිණිල්ලේ සහතික පිටපතක් ලබාදිමට, පෙරකදෝරුවෙක් ගෙන් ලියුම් ගේන්න යයි පොලිසය කියන්නේ, ඔවුන් (පෙරකදෝරුවන්)  මගින් අල්ලස් ගැනීමටය.

පගාව ගැනීම නීතිය කඩා වැටීමේ පිළිඹිඹුවකි. එදා හොර රහසේ කළ පගාව ගැනීම අද කරන්නේ විවෘතවය. මේ එයට කදිම නිදසුදනකි.

කියවන්න අනුර, පොලීසියට ලියපු ලියුම.

ලි.ප.තැ.

ක. අනුර, මතුගම. 2019.02.22 දින දිය. 

පූජිත ජයසුන්දර මයා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

මුල් පැමිණිල්ලේ සහතික පිටපත 
ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.

මා විසින්, 2019.01.22 දාතමින්, මට විරුද්ධව මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 නඩුවට අදාලව, මුල් පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසට ඉල්ලා සිටින ලදි.

ඉල්ලීමේ ඡායා පිටපත අමුණා ඇත.

මාගේ එම ඉල්ලීම, ප්‍රතික්ෂේප කරන ලදි. එසේ ප්‍රතික්ෂේප කරන ලද නිලධාරිවරයා සිටියේ සිවිල් ඇඳුමින්ය. ඔහු ආබාධිත පුද්ගලයෙකි. 

ඔහු මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර, පෙරකදෝරුවෙක් ගෙන් ලිපියක් අරගෙන එන්න යැයි වැඩිදුරටත් කියා සිටින ලදි.

මා චූදිත කර ඇති නඩුවේ මුල් පැමිණිල්ලේ සහතික පිටපතක් නියමිත මුදල් අය කර මට නොදීම, කුමන නීතියකට අනුකූලවද යයි ඔහු නොකියන ලදි.

එමෙන්ම මට දිය නොහැකි ලේඛණයක් පෙරකදෝරුවෙකුගේ ලියුමකට දීමට පු`ඵවන් වන්නේ කෙසේද? 

මෙම නීති විරෝධී ක්‍රිියාව පොලිස් නිලධාරියා අනුගමනය කරන්නේ, මාගෙන් ගත නොහැකි අල්ලසක්, පෙරකදෝරුවෙකු මගින් ලබාගැනීමටද යයි කීමට මා නොදනිමි.

මා ඉල්ලා සිටින්නේ,

ප්‍රමාද නොකර, යුක්තිය ඉටු කර ගැනීම සඳහා, මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 දරන නඩුවේ, මුල් පැමිණිලිකරු වන හොරණ, මිල්ලෑව, අංක 142/බී/2 දරන ලිපිනයේ “රජිත අවන්හලේ” අයිතිකරු වන අමදෝරුගේ මුදිත ප්‍රසාද් යන අය විසින් 2018.12.13 දින කරන ලද පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර, මා වෙත නිකුත් කරන ලෙසට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
ක. අනුර
චුදිත





Wednesday, February 13, 2019

ඒජන්සි කරුවන්ට ගසා කන්නට ඉඩ දීලා, නීතියත් උන්ට!, අල්ලා ත් උන්ට ලු!



සුබ්‍රමනියම් තංගම්මා - පාස්පෝට් එකේ තියෙන නම. නමුත් මුස්ලිම් ආගමට ගිය තැනැත්තියක්. ඇය වැන්දඹුවක්. 

70 හැවිරිදි ඇගේ මව නාගම්මා, තංගම්මාව කටාර් හී වහල් සේවයට යැව්වේ ණය බරින් නිදහස් වෙන්න.

කුරුණෑගල, ඉබ්බාගමුවේ නිව් ගෝල්ඩන් ඒජන්සිය තමයි, රුපියල් ලක්ෂ තුනක් දෙන පොරොන්දුවට, තංගම්මාව රට යැව්වේ.

රට යන දවසේ ලක්ෂයක් දීලා ඉතිරි ලක්ෂ දෙක දවස් දෙක තුනකින් දෙන්න පොරොන්දු වූයේ - ගුවන් තොටුපොලේදි. 

තවම දවස් දෙක තුන, ගෝල්ඩන් ඒජන්සියේ හිමිකරු අස්වර් ට ගිහිල්ලා නැහැ.

දැන් මාස තුනකට අසාන්නයි. මේ නාගම්මාට සීමාවූ කතාන්දරයක් නොවෙයි.

ඒජන්සි කාරයින් ගෙන් යැපෙන ඇමතියා නිහඬයි. උන්ගෙන් යැපෙන විදේශ සේවා කාර්යංශයේ බැලයින්ට රටට විදේශ විනිමය ගෙන එන වහල් සේවයේ යෙදෙන කාන්තාවන්ට වඩා ඒජන්සි කාරයෝ ලොකුයි.

නාගම්මාගේ පැමිණිල්ලට පොලිස්පති මොකෑ කියන්නේ, ඇය බලාගෙන සිටී.

Sunday, February 3, 2019

දඩයම් කරන්න යොදා ගන්නේ උසාවිය




පොලිස් අධිකාරී කාර්යාල මුල් කරගෙන පිහිටුවා තිබෙන “යුනිට්” වල අරමුණ ප්‍රදේශයේ පොලීසි වලට බැරිවු, නීති විරෝධී ජාවාරම් මැඩලීම.

මෙම “යුනිට්” කලක් තිස්සේ වධකාරගාර පවත්වාගෙන යන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව බොරු නඩු දැමීම ද සිදු කරයි.

ගෙදර සිටි පත්මසිරි ව, අත්අඩංගුවට ගෙන, උසාවිය යොදවාගෙන, පීඩාවට පත් කරන්නේ, ඔහු විසින් පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ල නිසාය.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිර්දේශයට වසරකටත් වැඩි කලක් ගතව ඇතත්, තවමත් ක්‍රියාත්මක කර නැත.

පොලීසිය කියන්නේ නිර්දේශය අවිධිමත් බවයි. එය පැහැදිළි කරන ලෙසට ද, පොලීසිය කොමිෂමෙන් ඉල්ලා ඇත.

නමුත් තවමත් එයට පිළිතුරු දීමට කොමිෂම සමත්වී නැත.

මේ අතර, පත්මසිරිව දඩයම් කිරීමට පොලීසිය පටන් ගෙන ඇත. ඒ “යුනිට්” යොදාගෙනය. 

සියලු කරුණු පත්මසිරිගේ පැමිණිල්ලෙන් පැහැදිළි වන ඇත.

වධ හිංසා පැමිණවීම පිළිබඳ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශය මුල් කරගෙන පළිගැනීම සඳහා අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා පීඩාවට පත් කිරීම.

පත්මසිරි, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව ගොවිතැන, 
2019.02.01 වන දින දීය.

2019.01.30 වන දින, උදේ 9.00 ට පමණ, මා වැඩට යෑමට සූදානම්ව සිටියදී, යතුරුපැදි තුනකින් හය දෙනෙකු ගේ මිදුලට පැමිණියා.

එම පිරිස සිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් බැස, මා වෙත පැමිණ, අපි කව්ද දන්නවාදැයි ඇසුවා. මා නැහැ කිව්වාම, පලයන් ගෙට කියා ගේ ඇතුලට තල්ලු කළා.

ඊට පසුව ඔවුන් ගෙදර සෑම තැනකම සෙව්වා. පොලවට පවා තට්ටු කරමින් පරීක්ෂා කළා.

කිසිදු නීති විරෝධී දෙයක් හමු වූයේ නැති විට අපි හොයා ගන්නම් කියා, මට මාංචු දැම්මා. ඉන්පසු එක් යතුරුපැදියක මැද තියාගෙන, කිලෝ මීටර් 1/2 ක් පමණ ඈතින් පිහිටි, වඩුවා හේන රබර් වත්තට ගෙන ආවා.

එතනදී මාව බස්සවා, වෙලට ගෙනිහින් ඒ අසල මයිකල් නැමැත්තාට හිමි පිල්ලෑවට ගෙන ගියා. එහි තිබූ පරණ බැරලයක් පෙන්වා මේ තියෙන්නේ බඩු කියා, අනෙක් බඩු කෝ කියා ඇසුවා.

බැරලය එහි තබා, මාව දෙන්නෙක් එක්ක එතන තබා, අනෙක් පිරිස යතුරුපැදිවලින් කොහේට ද ගියා. පැය තුනකට පස්සෙ ඔවුන් ආවා. ඒ වෙලාවේම පානදුර “යුනිට්” එකේ ජීප් රථය පැමිණියා. එහිද නිලධාරීන් පස් දෙනෙකු පමණ හිටියා.

බැරලය එතැන තබා මාව ජීප් එකේ අරගෙන මොරගහහේන පොලීසියට ගෙනවිත් බාර දුන්නා. 

පොලීසියේදී යුනිට් එකේ නිලධාරියෙක් මගේ මගෙන් නම ගම ආදී විස්තර අසා කොල තුනක මොනවද ලිව්වා. එයට මාගේ අත්සන ගත්තා. ඊට පසු තවත් නිලධාරියෙක් කොලකෑලි 4 කට ඇඟිලි සලකුණ ගත්තා.

එයින් පසු මාංචු ගලවා කූඩුවට දැම්මා. පොලීසියේදී මට කෑම එකක් දුන්නා. ඔවුන් මගේ ගෙදරට දුරකතනයෙන් දැනුම් දුන්නා. හවසට ඇවිත් ඇප දීලා අරන් යන්න කියා. 

ගෙදරින් ආවත් මට ඇප දුන්නේ නැහැ. පසුදා, එනම් 2019.01.31 උදේ 8.30 පමණ පොලිස් ඇප මත මුදාහැරියා.

මාව අත්අඩංගුවට ගෙන, රැගෙන ගිය වඩුවාහේන වත්තේ පිල්ලෑවේ හවස් වනතුරුම යුනිට් එක ගෙනවිත් දමන ලද බැරලය නඩු භාණ්ඩය වශයෙන් වත් රැගෙන නොගොස් එතනම දමා ගොස් තිබුනා. එහි ඡායාරූප ගත්තා. 

මේ ආකාරයට මට, පොලීසිය හිරිහැර කරන්නේ පොලිසියට විරුද්ධව මා, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල (එහි අංක: HRC511/13 හා 2518/13) හා අදාල නිර්දේශය ක්‍රියාත්මක නොකර සිටීමටය. 

තවද එම බොරු නඩුව 2019.02.15 ට කැඳවා තිබීමද හේතුවක්.

මාව අත්අඩංගුවට ගෙන ගොස් රඳවාගෙන සිටි වඩුවාහේන වත්තතේ පිල්ලෑව යන ස්ථානයට කඩිනමින් ගොස් පරීක්ෂා කර, මා කියන සත්‍ය අවබෝධ කරගෙන, අදාල නිලධාරීන්ට එරෙහිව නීති්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
 පත්මසිරි


ඇමති තලතා, තලන්නට ඉඩ දෙයි.



වාර්තාවී ඇති අන්දමට රැඳවියන් හය හත් දෙනෙකුට අතින් පයින් පොලුවලින් පහරදී, බරපතල තුවාල සිදුකිරීම, සුපුරුදු පරිදි යටපත් කිරීමට බන්ධනාගාර ඉහළයින් මෙන්ම ඇමති තලතා ද පියවර ගෙන තිබේ.

2019 ජනවාරි 31 දින, මෙම පහරදීම සිදුකර ඇත්තේ ජේලර්වරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ, ගාඞ්ලා විසිනි.

බී 5 වාට්ටුවේ මේ පහරදීම සිදුකර ඇත.

මේ දක්වාම, තුවාල ලැබ සිටින රැඳවියන්ට පෙනඩෝල් පෙත්තක්වත් දී නැත.

මෙම මෲග ක්‍රියාව පිළිබඳව රැඳවියන්ගේ බිරින්දෑවරුන්ගෙන් හතර දෙනෙක් තම සැමියන්ට පහරදී බරපතල තුවාල සිදුකිරීම පිළිබඳව ක`ඵතර උතුර පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිලි විභාග කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට, රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඉඩ දී නොමැති බවද වාර්තා වේ.

රැඳවියන් දෙදෙනෙක්, ක`ඵතර මහේස්ත්‍රාත්වරයාට, තමන්ට පහරදීම වාර්තා කර ඇත.

අධිකරණය මෙම රැඳවියන්ව, රෝහල්ගත කරන ලෙසට නියෝග කර ඇතත් මේ දක්වාම රෝහල්ගත කර නොමැති බව බිරින්ඳෑවරුන් ප්‍රකාශ කරයි.

රැඳවියන් නොසිටි අවස්ථාවක, ජංගම දුරකතනයක් බී 5 වාට්ටුව තුල තිබී හමුවීම, මෙම පහර දීමට හේතුව බව ද වාර්තා වේ.

බිරින්ඳෑවරු සිව් දෙනෙක් මානව හිමිකම කොමිෂමට, පොලිස්පතිට හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙම මෙලේච්ඡ පර දීම ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙසට, ජනසංසදය මානව හිමිකම් කොමිමෙන් ඉල්ලා තිබේ. බන්ධනාගාර බාර වත්මන් ඇමතිනී තලතා මේ ප්‍රවෘතිය, එළිදරව් වීම වැළැක්වීමට නම් පියවර ගනු ඇත.

සුපුරුදු පරිදි මෙම මෙලේච්ඡ පහරදීම යටපත් කරණු ඇත.

රජය භාරයේ සිටින මිනිසුන්ගේ ආරක්ෂාව, සැලසීමට තරම් බෙලහීන ඇමතිනී තලතා සුපුරුදු පරිදි, ප්‍රශ්නය අමතක වෙන්නට හරිනු ඇත.

අධිකරණ නියෝග නොතකන බන්ධනාගාර තිබෙන රටක, අධිකරණ ස්වාධීනත්වය ගැන කුමන කථාද?

නීතිය මත පාලනයක් නැති රටක “ප්‍රජාතන්ත්‍රවාදය” හොරුන්, හොරු රැක ගැනීම සඳහා පාවිච්චි කරන පුහු වචනයකි.