Saturday, October 30, 2021

කසිප්පු නඩුවක් බාර දෙන්න පොලීසියට එන්නලූ නැතිනම් ඇවිත් කුදලාගෙන යනවාලූ.

 

පසු දිනක, කුප‍්‍රකට කසිප්පු ජාවාරම්කාරයෙකු අත්අඩංගුවට ගන්න, මතුගම පොලීසිය, අසල්වැසියෙකුගේ නිවසට ගොස් ”චන්දු” අලූතින් හදන නිවස පෙන්වන්න යයි එම නිවසේ ප‍්‍රධානියා වූ ප‍්‍රසන්නට කියා ඇත. 

ඔහු නිවස පෙන්වා තිබේ. පොලීසිය එහි ගොස් ටික වේලාවකින්, ප‍්‍රසන්න හමුවට පැමිණ, උඹ ''චන්දු'' වතුර ගන්නා ලිඳට ”කරන්ට්” එක දීලා උඹට අපි නඩු දානවා යයි කියා තිබේ.

තම වැට මායිමේ තියෙන, ළිදෙන් වතුර ගන්න මෝටරයට, වයරයක් ඇද විදුලිය ලබාදුන්න බව ඇත්ත නමුත් එය හොරෙන් විදුලිය දීමක් නොවන බවට ඔහු පවසා ඇත.

නමුත් පොලීසිය කියා සිටියේ, විදුලිය සැපයීමේ වරදට, හිලව්වට, ”චන්දු” ගේ කසිප්පු වල වගකීම බාරගෙන නඩුවක් අවශ්‍යය බවයි. එම ”නඩුව” ගන්න පොලීසියට එන ලෙසට ඔහුට තරයේ කියා සිටින ලදි.

පොලීසියේ නීති විරෝධී අණ පිළි නොගත්, ප‍්‍රසන්න, ”අවනඩුව” ගැන බලධාරීන්ට පැමිණිලි කිරීමට පියවර ගත්තේය.

ප‍්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු පෙරන ”චන්දු” පොලීසියේ ගජ මිතුරෙකි.

ඔහු හා එක්ව, ජාවාරමට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගෙන, උසාවිය පාවිච්චි කර, දඩ ගැස්සවීම, පොලීසියේ රාජකාරිය වී ඇත.

ප‍්‍රසන්න බලධාරීන්ට කරන ලද, ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

ඕනෑම රාජ්‍යය ආයතනයක් විසින් සිදුකරන, නීති විරෝධී අයුක්ති සහගත ක‍්‍රියා ගැන පැමිණිලි කරන්න. ප‍්‍රතිඵල හිමිවනු ඇත.

01. සභාපති,මානව හිමිකම් කොමිෂන් සභාව      02. පොලිස්පති                               

    කසිප්පු ජාවරම්කරුවා වෙනුවට ආදේශකයෙකු වන ලෙසට කරන ලද      ඉල්ලීම නොපිළිගැනීමේ අපරාධයට මුහුණ දීමට සිදුවීම.

ගම ඇතිගේ ෙදාන් නාමල් ප‍්‍රසන්න ගමඇතිගේ, අවු: 26 යි, ජා.හැ.අ. 953273276 ඪල විවාහක, දරුවන් 01 යි, රැකියාව: ගොවිතැන, ලිපිනය: දියබුලත්වැව කන්ද, මුලටියන, අගලවත්ත. දු.අ. 077 1684956 


2021.10.25 වන දින දීය.

2021.08.25 දින, දහවල් 11.00 ට පමණ, මතුගම පොලීසියේ, රාජපක්ෂ නම් නිලධාරියා, හා තවත් නිලධාරියෙක් ගෙදරට ආවා. 

මතුගම, බෝධියකන්ද හි පදිංචි, චන්ද්‍ර කුමාර නැමති අය, අලූතින් හදන ගෙදර පෙන්වන්න යයි, රාජපක්ෂ නැමති නිලධාරියා අපගෙන් ඇසුවා.

අප, අපගේ නිවසට, පිටුපස කන්දේ, ඔහුගේ අලූතින් හදන නිවස පෙන්නුවා.

පොලිස් නිලධාරීන්, එම නිවසට ගොස්, පරීක්ෂා කර, ලිඳ ළඟට පැමිණියා. ලිඳ පිහිටියේ අප ඉඩමට මායිම්ව.

නව නිවසට අවශ්‍ය ජලය ලබා ගැනීමට, සවි කර ඇති, වතුර මෝටරයට, අවශ්‍යතාවයට, විදුලිය ලබාදීමට ප්ලග් එක මගින්, වයරයක් ඇද විදුලිය ලබා දුන්නා.

පොලීසිය, එම ලිඳ පරීක්ෂා කර, අප නිවසට නැවත පැමිණියා.

පොලීසිය, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා, බැරල් කිහිපයක් එ් වන විට සොයාගෙන තිබුනා.

නමුත්, ”චන්ද්‍ර” නැමති අයව, අල්ලා ගැනීමට බැරිව තිබුනා. පොලීසිය, ඔහු ගැන අපගෙන් විමසා සිටියා.

”චන්ද්‍ර” නැමති අය, නීති විරෝධී මත්පැන් පෙරන හා විකුණන අයෙක් බව ගමේ කව්රුත් දන්නවා. පොලීසිය ද හොඳින් දන්නවා.

අප දන්නා තොතරතුරු පොලීසියට කිව්වා. පෙරන තැන් කොහේද කියා අප දන්නේ නැති නිසා, දන්නේ නැති බව කිව්වා.

පොලීසිය අපට චෝදනා කළා, චන්ද්‍ර නැමති අයගේ ලිඳේ මෝටරයට විදුලිය ලබාදීම බරපතල වරදක්, එ් නිසා නඩු දානවා කියා.

මෙය ”හොරෙන්” විදුලිය දීමක් නොවන බව කිව්වා.

පොලීසිය අපට යෝජනා කළා, ”චන්ද්‍ර” වෙනුවෙන් මට, නීති විරෝධී කසිප්පු නඩුවක් බාර ගන්නා කියා. නැත්නම් ජීවිත කාලයටම විදුලිය ගන්න බැරි වෙන්න නඩු දානවා කිව්වා.

මාගේ බිරිඳ, එසේ නොකරන ලෙසට පොලීසියෙන් ඉල්ලා සිටියා.

මට, සවස 4.00 ට පොලීසියට, නඩුවක් බාර ගන්න එන්න කියා, ඔවුන් දෙන්නා ගියා.

මම, පොලීසියට ගිය විට, අනිවාර්යෙන් අත්අඩංගුවට ගෙන බොරු නඩුවක් දාන හින්දා, පොලීසියට ගියේ නැහැ.

2021.10.14 වන දින හා 2021.10.19 යන දින දෙකේ, දවල් 11.00 ට පමණ, මතුගම පොලීසියේ රාජපක්ෂ ඇතුලූ නිලධාරීන් අප නිවසට පැමිණ තිබුනා.

එ් දින දෙකේදීම, මා වැඩට ගොස් සිටියේ. ගෙදර, බිරිඳ දරුවා හා බිරිඳගේ නංගී සිටියා.

2021.10.19 ඔවුන් නිවස සෝදිසි කර තිබුනා. 

දින දෙකේදීම, මට පොලීසියට ඇවිත් බාරවෙන ලෙසට දන්වමින් බිරිඳට තර්ජනය කර තිබුනා.

මා සතුව, ”බඩු” තිබෙන බවත්, දවසක රැ 12.00 ට ඇවිත් අල්ලාගෙන යන බවටත්, තර්ජනය කර තිබුනා.

මාගේ බිරිඳ, ලියනාරච්චිගේ ඉරෝෂා ලක්මිනි (අවු: 27) මතුගම, ස.පො.අ. කාර්යාලය ට මේ ගැන පැමිණිලි කරන්න, 2021.10.21 දින, උදේ 9.00 ට ගියද, සවස 3.15 වන තෙක්, එහි සිට, ආපසු පැමිණියේ පැමිණිල්ල ලියා ගන්නේවත්  නැතිවය.

මා, මතුගම බෝධිය කන්ද පදිංචි, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන, චන්ද්‍ර නැමති අය හා කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නැත. මා, මොනයම් ආකාරයක, නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ ද නැත.

අසල්වැසියෙකු වශයෙන්, අලූතින් හදන නිවසට, වතුර ගැනීම සඳහා වැට මායිමේ පිහිටි, ලිඳේ වතුර මෝටරයට විදුලිය ලබාදීමේ සිද්ධිය මුල් කරගෙන, ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු වන, පොලීසිය ඉතා හොඳින් දන්නා හඳුනන, චන්ද්‍ර නැමැත්තා සමග එක්ව, මට, ඔහු වෙනුවෙන් නඩු බාර ගැනීමට බල කර සිටීම හා එය ස්වේාවෙන් පිළිනොගැනීම නිසා, අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වාලන ලෙසට ද,

මෙම නීති විරෝධී ක‍්‍රියාවේ යෙදෙන, මතුගම පොලීසියේ, රාජපක්ෂ ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට,

ගම ඇතිගේ ෙදාන් නාමල් ප‍්‍රසන්න ගමඇතිගේ

 

  


දරුවන් තුන් දෙනෙක්ව, සසුනට පූජා කරපු පියාට, කසිප්පු නඩුවක් බාර ගන්නලූ !මසකට, රු: 50,000/- ක කප්පමක් සමග නඩු 02 ක් දෙන. කසිප්පු ජාවාරමක් වෙනුවෙන් කරන ඉල්ලීමක්.

 


මේ බදුරලිය පොලීසියේ, සමාජ සත්කාරයක්ලූ .... !

කුමාර, කුලී පදනම යටතේ විවිධාකාර වැඩපල කර, ජීවත්වන 43 න් හැවිරිදි ගැමියෙක්.

ප‍්‍රදේශයේ බොහෝ ගැමියන් මෙන්ම, මොහුද, අනවසරයෙන් පදිංචිව, නිවසක් සාදාගෙන පවුල් ජීවිතයක් ගෙවන්නට ගත් උත්සාහය බිඳී ගියේ ”බිරිඳ” වෙනත් අයෙකු දීග ගිය නිසාය. දරුවන් පස්දෙනෙකු හදා වඩා ගන්නේ මොහුය.

දරුවන්ට, නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට, ඉඩ ප‍්‍රස්ථාව ලබාදීමට දරුවන් තුන්දෙනෙක් ව සසුනට පූජා කළේ ය.

ඔහු සමග දැනට දිවි ගෙවන්නේ, ඔහු මෙන්ම කුලී පදනමින් වැඩ කිරීම ජීවනෝපාය කරගත්, 17 හැවිරිදි පුත‍්‍රයා හා පහ වසරේ ගෙන ගන්නා දස හැවිරිදි දියණියයි.

එසේ දිවි ගෙවන කුමාරව, බදුරලිය පොලීසියේ උ.පො.ප. කුමාර අත්අඩංගුවට ගෙන, පොලීසිය සමග ගනුදෙනු කරන, ”චන්දු” නැමැත්තා හා එක්ව, ”කසිප්පු” නඩුවක් පැවරීමට ගත් පියවර සම්බන්ධයෙන් කුමාර, ජනාධිපතිවරයාට පිටපත්ක සහිතව, මානව හිමිකම් කොමිෂම, නීතිපති හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

බලපත‍්‍ර ලබාගෙන, රට පුරා මහා පරිමාණයෙන් සිදුකරන, මද්‍යසාර (අරක්කු) පෙරීම, අවම කිරීමට නොහැකිව ඇත්තේ, මන්ද යන්න පිළිබඳව මෙම පැමිණිල්ලෙන් පැහැදිළි වනු ඇත.

මෙම ජාවාරම පිළිබඳ සිය`ඵ විස්තර, ගම්මු දනිති. නමුත් අසන්න කෙනෙක් නැත.

මෙම ජාවාරමට, පොලීසිය, සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම, අනෙකුත් යුක්තිය පසිඳලීමේ ආයතන ද සෘජුව හෝ වක‍්‍රව පවත්වන සම්බන්ධය ද මෙ මගින් පැහැදිළිය.

”කුමාර” අප රටේ බොහෝ දෙනා මෙන්ම පාසල් ගොස් ඇත. එහෙත් ලියන්නට බැරිය. අත්සන් කළ හැකිය. අකුරු ගැට ගසා කියවිය හැකිය. 

රටේ නීතිය කි‍්‍රයාත්මක වනනේ කෙසේද යන්න ගැන අවබෝධයක් ගැනීමට ඉවහල් වනු ඇතැයි සිතමු.


01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව        

02. පොලිස්පති, පොලිස් මූලස්ථානය         

03. නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව

   මහා පරිමාණ ජාවාරම්කරුවෙකුගේ, ”කසිප්පු” අල්ලා,

ඔහු වෙනුවට "මාව" ආදේශ කිරීම

අවු: 43 යි, ජා.හැ.අ. 77--, දික්කසාද, දරුවන් 05 යි, රැකියාව : කුලී වැඩ, ලිපිනය : -------, මතුගම. 

දු.අ. 077 --

2021.10.28 වන දින දීය.

2021 සැප්තැම්බර් 14 වන දින, දහවල් 1.30 ට පමණ, අවු: 10 ක් වන දුව සමග මා ගෙදර සිටියා. දෙදෙනෙක් සිවිල් පිට, යතුරුපැදියෙන් ගෙදරට ආවා. එක් අයෙක්, මගෙන් සුජීව ද කියා ඇසුවා.

මා, ඔව් කී විට, තමා, මතුගම පොලීසියේ, උ.පො.ප. කුමාර යයි කිව්වා. 

ඔහු,"උඹේ බඩු අහුවුනා" යයි කිව්වා. මම, මොන බඩු ද කියා ඇසුවා. 

එවිට ඔහු, "උඹ බබාද, උඹ කසිප්පු පෙරන බව අපි දන්නවා, ඔක්කෝම හොයාගෙන තමයි ආවේ" කිව්වා.

එ්අතර ඔහු, දුරකථනයෙන් කථා කරලා මතුගම පොලීසියේ, ජීප් එක ගෙන්නා ගත්තා. 

මාව හා දුව ව (ඒ අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියක් සිටියේ නැත) එහි නංවාගෙන, වත්තේ කෙළවරකට ගෙන ගියා. එතනින් බස්සවා, ලිඳක් ළඟට ගෙන ගියා. එය, අඩි 5 × අඩි 4 ක් ලොකු ලිඳක්.

එ් ලිඳ අසල, යකඩ බැරල් 02 ක්, ඉටි බැරල් 02 ක්, දඟර 02 යි, නිල් පාට, කි.ග‍්‍රෑ. 12.5 ගෑස් සිලින්ඩරයක් හා ලොකු ගෑස් ලිපක් තිබුනා.

එ් සියල්ල, ජීප් එකට දාගෙන, මා සමග මතුගම පොලීසියට ගෙන ආවා.

පොලීසිය, දිගින් දිගටම, මට කිව්වා, රුපියල් 10,000/- ක ‘දඩයක් ගහන’ නඩුවක් දානවා, බාර ගන්න කියා.

මම, කිසි දිනෙක, කිසිම ආකාරයක නීති විරෝධී ක‍්‍රියාවක් නොකරන නිසා, පෙර වැරද නැති අයෙක් නිසා නඩුව බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

මම, කරන ලද තර්ජන, භිය වැද්දවීම් මධ්‍යයේ, බොරු නඩු බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

ඔවුන්, මාගේ විරෝධය නොතකා භිය වද්දමින්, බලයෙන්, මගෙන් අත්සන් ගත්තා.

මම අත්සන් නොකළහොත්, ‘පොලිස් අණ නොතැකීම’ කියා, තවත් නඩුවක් දාන බව කියා සිටියා.

මාගේ ප‍්‍රකාශ නිසා, චෝදනාව මම පිළිනොගන්නා නිසා, එයට අවුරුද්දකට පෙර, පෙරූ බව, පිළිගන්නවා යැයි ලිව්වා.

මා, අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, මාව, ස්ථානාධිපති ළඟට ගෙන ගියා. මා, ඔහුට කාරණය කියන විට, ලොකු මහත්තයා ළඟ ‘කථා කරන්න දන්නේ නෑ’ කියා, කිව්වා. 

මා කිව්වා, ඔව් මම ඉස්කෝලේ ගියේ අට දක්වා, එත් ඉගෙන ගත්තේ නෑ කියා.

මම ඇහැව්වා, ‘ඉගෙන ගත්තු ඔය මහත්වරු’, මේ වගේ බොරු නඩු දාන්නේ, බලෙන් අත්සන් ගන්නේ ඇයි කියා.

ස්ථානාධිපති කිව්වා, එයට කරන්න දෙයක් නෑ, අත්සන් කරන්න කියා. මම අසරණ වී, අත්සන් කළා.

ඊට පස්සේ, කූඩුවට දැම්මා. රාත‍්‍රී 7.00 ට විතර, මාගේ නංගී ඇපයට අත්සන් කරපු නිසා එළියට දැම්මා.

නඩු දිනය : 2021 ඔක්තෝබර් 25 බව ප‍්‍රකාශ කළා. 

මා, නීතිඥ සුමල් පත්මේන්ද්‍ර මහතාට මාගේ නඩුව බාර දුන්නා.

ඔහුගේ උපදෙස් මත, මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා හමුවට දෙපාරක් ගියා. නමුත්, එ් දින දෙකේදීම, ප‍්‍රකාශයක් ගත්තේ නෑ. හෙට එන්න කියමින් රස්තියාදු කළා.

2021 ඔක්තෝබර් 25 දින, අධිකරණයේදී, වරද පිළිගත්තේ නෑ. නීතිඥ මහතා කරුණු දක්වා සිටියා. ශරීර ඇපයක් මත මුදාහැරියා. මීළඟ නඩු දිනය: 2022 ජනවාරි 26 බව ප‍්‍රකාශ කළා.

මෙම නීති විරෝධී මත්ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමේ, භාණ්ඩ සියල්ලේම හිමිකරු, අප ගමේ, "චන්දු" නමින් ප‍්‍රකට පුද්ගලයාය. එ් බව පොලීසිය හොඳාකාරවම දන්නා කරුණකි.

තවද, නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා, කැලයේ ඉදි කරන ලද ලිඳ කැපුවේද ඔහුය. පින්නගොඩ පදිංචි ඉසුරු නැමැත්තා සමග එක්වය. එයද පොලීසිය හොඳින් දන්නා කරුණකි.

මෙවර ද, පොලීසිය, අත්අඩංගුවට ගන්නා ලද ඉහත සඳහන් භාණ්ඩ අතුරින්, මා සතුව  "බැරලයක්" තිබූ බවට පමණක් උසාවියට වාර්තා කර ඇත.

නඩු දිනයේදී, "චන්දු" නැමති අය, මතුගම උසාවියට පැමිණ, මා හමුවිය.

ඔහු මට, රු: 25,000/- ක මුදලක් අතට දී, වැරැද්ද පිළිගන්න යැයි කිව්වා. නමුත් මා වැරැුද්ද පිළිගත්තේ නෑ.

පොලීසිය, මෙම චන්දු නැමැත්තා හා එක්ව, නීති විරෝධී මත්පැන් ජාවාරම, මහා පරිමාණයෙන් කරනු ලබයි.

එම චෝදනාවෙන් පොලීසිය ගැලවීමට, උ.පො. කුමාර, මට, ඔහුගේ, 071 1469934 යන දුරකථන අංකය ලබාදී, පෙරනකොට අල්ලා දෙන්න යයි කිව්වා.

මතුගම පොලීසිය, ප‍්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් හා එක්ව, සිදුකරන නීති විරෝධී මත්පැන් පෙරීම වළක්වන බව පෙන්වීමට සිදුකරන්නේ,

මා වැනි කිසිදු සම්බන්ධයක් නැති අසරණ පුද්ගලයෙකු අල්ලා, නඩුවක් දමා, අධිකරණය උපයෝගී කරගෙන දඩ ගැස්සවීම,

මහා පරිමාණ ජාවාරම්කරුවන්ගෙන්, ”කෝටා” ක‍්‍රමයට, නඩු ලබාගෙන, අධිකරණයට ඉදිරිපත් කර දඩ ගැස්සවීමය.

මා, අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නේ,

2021 ඔක්: 25, මතුගම ම/උ හි, 79871 යටතේ පවරන ලද නඩුව අමූලික බොරු නඩුවක් බවය.

මෙය, මට ඔප්පු කර සිටීම සඳහා, 

මුල් පැමිණිල්ලේ සහතික පිටපතක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමි. එ් සඳහා නියමිත මුදල ගෙවීමට මා සූදානම් බව ප‍්‍රකාශ කරමි.

මා, පසුව දැනගත්තා,

උ.පො.ප. කුමාර හා අනෙක් නිලධාරීන්, "චන්දු" ගේ කසිප්පු පෙරන "ලිඳ" ළඟට ගොස් තිබුනේ පෙරවරු 10.00 ට පමණ බවත්,

එ් වෙලාවේ සිට, අප නිවසට, ප.ව. 1.30 ට පැමිණෙන තෙක්, පොලීසිය සිට ඇත්තේ, එම ස්ථානයේ බවත්,

පැය 4 1/2 ක්, පොලීසිය ”චන්දු” හා එක්ව කසිප්පු පෙරා ඇති බවත්. 

සියලූ ගණුදෙනු අවසන්ව, නඩු දැමීමට, මාව අත්අඩංගුවට ගන්නා ලද බව.

මා ඉල්ලා සිටින්නේ, 

මෙම නඩුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා, නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත්,

ස්ථානාධිපති ඇතු`ඵ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්ය. 

මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. අපරාධයකි.

විශේෂ සටහන:

දැනට පදිංචිය, සිරිකඳුර වතුයාය, යුනිට් 02, සිරිකඳුර පාර, බදුගම, මතුගම. මෙම ලිපිනයට ලියුම් එන්නේ නෑ. අනවසර පදිංචිය, වසර 07 ක් පමණ වේ. රජයේ වත්තෙන් ඉවත් කිරීමට, නඩු පවරා ඇත.

ළමුන් 5 දෙනාගේ භාරකාරත්වය මා සතුය. 

අවු: 17, අවු: 15, අවු: 14, අවු: 13 හා අවු: 10 පිරිමි 04 යි, බාල ගැහැණු දරුවා. වැඩිමල් පිරිමි දරුවා හා බාල ගෑණු ළමයා මා බාරයේ සිටි. සියලූම වගකීම් දරන්නේ මා වසින්ය.

අවු: 15, 14, 13 යන දරුවන් මහන වෙලා. ගාල්ලේ, -----විහාරය. 

මෙයට,

--------- කුමාර


පිටපත :


ජනාධිපතිතුමා, 
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ   

ඔබ විසින් ආරම්භ කරන ලද නීති විරෝධී මත්පැන් ජාවාරම අවම කිරීමේ  වැඩසටහන, සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට හේතුව පැහැදිළිකරන උදාහරණයකි මාගේ නඩුව.



 



 


Friday, October 29, 2021

බොරු නඩුවට, වරද පිළිගත්තා - රු: 7,000/- දඩය මදිවාට, දවස් 7 න් තවත් නඩුවක් දැම්මා.

 


විසිතුන් හැවිරිදි කුමාර, පෙදරේරුවෙක්. මත්ද්‍රව්‍යය, මත්පැන් පමණක් නොව, බුලත් විටක්, සිගරැුට්ටුවක් වත් පාවිච්චි නොකරන්නෙක්.    2021 මැයි 06 දින, බදුරලිය පොලීසිය, ඔහුව අත්අඩංගුවට ගන්නේ, ඔහුගේ පියාද සමග.

පොලීසියේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව, ප‍්‍රදේශයේ බහුලව අලෙවි කරන, බලපත‍්‍ර රහිතව පෙරන, අරක්කු පානය කරන කෙනෙක්. දෙදෙනාටම, වෙන් වෙන්ව, නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම යන චෝදනාවලට නඩු පවරනු ලැබීය.

2021 ඔක්තෝබර් 15 වන දින, නඩු දිනයේදී, තමාට විරුද්ධව, බලපත‍්‍ර රහිතව පෙරන ලද මද්‍යසාර මි.ලී. 750 ක් තිබූ බවට චෝදනාවක් නගා ඇති බව දැනගත්තා. රු: 2,000/- ක් ගෙවා, ඔහු විසින් අල්ලා ගන්නා ලද නීතිඥයා ද, පොලීසිය ද ඔහුට බල කළා, වරද පිළිගෙන, ”සු`ඵ දඩයක්ගෙවා, නඩුව අවසන් කර ගන්නා ලෙසට. 

එ් අනුව ඔහු, වරද පිළිගන්නා බවට, නීතිඥවරයා ගරු අධිකරණයට කියා සිටියා.

අධිකරණය, රු: 5,000/- දඩයක් නියම කළා.

බොරු නඩුවට රු: 7,000/- ක් වැය කර, සැනසීමේ ඉන්න දුන්නේ හරියටම දවස් හතයි.

2021 ඔක්තෝබර් 22, බදුරලිය පොලීසියේ, තුන් දෙනෙක්, නිවසට පැන, මොහුට අතින් පයින් පහර දී, පිස්තෝලය ඔලූවට තබා, මරණ බවට තර්ජනය කර, අත් පිටුපසට කොට මාංචු දමා, ගෙයින් එළියට ඇද දමා, නිවස සෝදිසි කරනු ලැබීය.

ඉන් අනතුරුව, පොලීසියට ගෙන ගොස්, හිස් කොළවල ඇඟිළි සලකුණු ගෙන, බලයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගෙන, පොලිස් ඇපයක් මත මුදාහරිනු ලැබුවා. මෙවර ඔහුට, බලපත‍්‍ර රහිතව නිපදවන ලද, මද්‍යසාර බෝතල් 10 ක් ළඟ තබා ගත්තාය යන චෝදනාව නගා තිබේ.

මෙවර ඔහු වරද පිළිනොගන්නා බව කියා සිටී.

පොලීසියට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන ලදි.

 

Wednesday, October 27, 2021

වැරදි කරලා තියෙන එක ඇත්ත ! බොරු නඩු දාන එක අපරායක් !! හැදෙන්න ඉඩ දෙන්න !!!






මාල කඩා ගැනීම් හා මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධව සිට, අච්චු විඳින ලද පුද්ගලයෙක්.

විවාහ වී, කුලී වැඩ කරමින් ජීවත්වෙන්න පියවර ගෙන ඇති කෙනෙක්. එ් වුනාට පොලීසිය එ්කට ඉඩ දෙන්නේ නෑ. හේතුව, ප‍්‍රකට මත්ද්‍රව්‍යය ජාවාරම් කාරියක් සමග පවත්වන සම්බන්ධය.

ඔහු කියා සිටින්නේ, එම ජාවාරම්කාරිය මේ වන විටත්, බන්ධනාගාරගතව සිටින බවයි. ඇගේ සැමියා, මීට පෙර බන්ධනාගාරගතව සිටින කාලයේ, ඇය සමග එකට ජීවත්වූ බවයි.

එම කාලයේදීත්, කරපු වැරද වලට මෙන්ම නොකරපු වැරදි වලට, පොලීසිය, නඩු පැවරූ බවද ප‍්‍රකාශ කරයි.

කළ වැරදි වලට වරද පිළිගෙන දඬුවම් විඳින ලද නමුත්, නොකළ වැරදි පොලීසියේ කීමට, පිළි නොගැනීම නිසා, දිගින් දිගටම, තමාට පොලීසිය හිරිහැර කරන බව අවධාරණය කරයි.

ඔහු පසුගියදා, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිල්ලේ උද්ධෘතය පහත දක්වා සිටින්නේ, මත්ද්‍රව්‍යය ජාවාරම අවම කිරීමටවත් පොලීසියට නොහැකි වී ඇත්තේ මන්ද යන්න වටහා ගැනීමටය.

"පොලීසියට ගෙන්නාගෙන, බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට  හා ආරක්ෂාව සලසන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ද සිල්වා, අවු: 35 යි, ජා.හැ.අ. 19-----, විවාහක, රැකියාව : කුලී වැඩ, ලිපිනය : ------  දු.අ.--------

2021.10.23 වන දින දීය.

2021.10.23 වන දින, මා, ගෙදර ඉන්න විට, යතුරුපැදියෙන්, සිවිල් පිට, නිශ්ශංක හා චානක යන වාද්¥ව පොලීසියේ, කොස්තාපල්වරු දෙන්නා පැමිණියා.

ඔවුන් මට, ළඟට කථා කළා. මා පැමිණි පසු, අපරාධ අංශයේ, ස්ථානාධිපති, උ.පො.ප. ජයලාල්, මට එන්න කිව්වා යැයි කිව්වා. කාරණය කිව්වේ නෑ. ඔවුන් මට යතුරුපැදියට නගින්න කිව්වා. මම ෂර්ට් එක ඇඳගෙන යතුරුපැදියට නැග්ගා.

තුන්දෙනා සමග, පොලීසියට එන අතර, මගදී නැවැත්වූවා. එහිදී ඔවුන් බැස, අසල සුසන්ත යන අයගේ නිවසට ගොස්, එහි සිටි, පේ‍්‍රමතිලක යන අයව රැගෙන ආවා.

මට, බැස පොලීසියට එන්න කියා, පේ‍්‍රමතිලක යන අයව, නංවාගෙන ගියා.

මීට පෙර, මා මත්ද්‍රව්‍යය චෝදනා නඩු, සොරකම් සම්බන්ධ නඩු කිහිපයකට සම්බන්ධ අයෙක්. අච්චු විඳ තිබේ. පවතින නඩුවක් ද ඇත. ඇප කොන්දේසි වශයෙන් පොලීසියට ගොස් අත්සන් කිරීම ද සිදු කරමි.

මෙම පසුබිම තුළ, නිතර මට, වාද්¥ව පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ජයලාල් හා නිශ්ශංක යන නිලධාරීන්, මහ මගදී දුටුවත්, නතර කර, උඹට, අපි කුඩු හයිකෝට් එකක් හරි බෝම්බයක් හරි දානවා කියා තර්ජනය කරනවා.

මෙම පසුබිම තුළ, අද දින (2021.10.23)පොලීසියේ නියෝගය මත, මා පොලීසියට ගිය විට, අත්අඩංගුවට ගෙන, බොරු නඩුවක් දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම වළක්වාලන ලෙසට හා ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

මෙයට,

-----------ද සිල්වා


 


Tuesday, October 26, 2021

තිසා වැව, තේක්ක කැලයට ගෙන ගොස්, වධ දුන්න පොලිස් සැරයන් 26852 විජේසිංහ හා කොස්තාපල් 6998 වන්නිනායක ට රු. 1,050,000.00 ගෙවන්න වෙයි. හයි කෝනඩුවකුත් වැටෙයි.

 

පොලිස් සැරයන් 26852 විජේසිංහ හා කොස්තාපල් 6998 වන්නිනායක යන දෙදෙනාට, එක් අයෙකුට රුපියල් පන් ලක්ෂය බැගින් වන්දියක් සහ රුපියල් විසිපන් දහස බැගින් නඩු ගාස්තුවක් ගෙවන්නට නියම වූයේ මිහින්තලේ පදිංචි ගුරුසිංහ සෙනවිරත්නගේ තරිඳු ප‍්‍රියාන් අකලංකට ය.

අකලංක, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ප‍්‍රකාශ කර සිටියේ, 2017 සැප්තැම්බර් 20 වන දින, අනුරාධපුර අපරාධ විමර්ශන එ්කකය විසින් අත්අඩංගුවට ගෙන, වධ දුන්න බවයි. 

අමානුෂික ලෙසට පහර දීමෙන් පසුව, අනුරාධපුරයේ තිසාවැව තේක්ක කැලයට රැගෙන ගොස්, තේක්ක ගසක එල්ලා පහර දුන්න බවයි.

එහි ප‍්‍රතිඵලයෙන්, දින 12 ක්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නට ඔහුට සිදුවූ බවය.

මෙම වධ දීම අදාළව, ඔහු මුලින්ම මානව හිමිකම් කොමිෂමේ අනුරාධපුර ශාඛාවට පැමිණිලි කරනු ලැබීය.

ඉන්පසු, 2018 ජූලි 26 වන දින, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

නඩුවේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබූ ගණන 13 කි.

නඩුවට අදාළ ලිඛිත දේශන ලබාදීමෙන් අනතුරුව විභාගය 2021 ජූලි 09 පවරන ලද අතර, තීන්දුව 2021 ඔක්තෝබර් 21 ප‍්‍රකාශයට පත් කරන ලදි.

ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන, ජනාධිපති නීතිඥ විජිත කේ. මලල්ගොඩ හා මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත තීන්දුව ප‍්‍රකශයට පත් කරන ලද්දේ, ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ එස්. තුරෙයිරාජා විනිසුරු විසිනි.

මෙම තීන්දුව, යළිත් පොලිස් වධ හිංසාව පිළිබඳ පූර්ව තීන්දු සිහියට නගමින්, වධ හිංසාව වැළැක්වීම රාජ්‍යය වගකීම ගැන සඳහන් කරයි. 

එමෙන්ම, මෙම පොලිස්කාරයින්ට එරෙහිව, 1994 අංක 22 දරන වධ හිංසාව වැළැක්වීමේ පනත යටතේ ්‍යක්‍ 257රැු2019 දරන නඩුව පවරා ඇති හෙයින්, රජයට වන්දි ගෙවීමට, නියම නොකරන බවද සඳහන් කරයි.

ඉහත පොලිස්කාරයින් දෙදෙනා විසින් තනි තනිව, තම පුද්ගලික ධනයෙන්, අකලංකට, රුපියල් ලක්ෂ පහ බැගින් ද, රුපියල් විසිපන් දහස බැගින්, නඩු ගාස්තු ගෙවිය යුතුය.

හිමිවන මු`ඵ මුදල රු: 1,050,000/- කි.

බි‍්‍රතාන්‍යයන් විසින් අපට හඳුන්වාදුන්න රෙඩිමේඞ් පොලීසිය, එදා සිට අද දක්වාම, මොන නීතිය තිබුනත්, ජාත්‍යන්තරය කොතරම් ප‍්‍රකාශ නිකුත් කළත්, මෙම ආයතනය, වධ දීම, නීති විරෝධී ක‍්‍රියාවන් අඛණ්ඩව, නොඅඩුව කරගෙන යනු ලබයි.

පැලැස්තර වලින් තොරව නව නීති පද්ධතියක්, සංස්කාතියක් ඇති කළ යුතුයි.

එ් ගැන කථා කරමු.

For judgment visit JS web - JUDGMENTS 


Tuesday, October 19, 2021

බන්ධනාගාර නිලධාරියාගේ ඉඟි බිඟි ගැන කිව්වා කියා රිමාන්ඞ් එකේ සැමියාට මරණ තර්ජන!!! ආරක්ෂාව ලබාදෙන්න බිරිඳ ඉල්ලයි !!


පසුගිය දා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින තම සැමියාව බලන්න ගිය "විසිට්” තරුණ බිරිඳව, එහි නිලධාරියෙකු විසින්, අයුතු යෝජනා කරමින් ඉඟි බිඟි කර තිබේ.

23 හැවිරිදි දෙරු මවක් වන, ඇය එ පිළිබඳව, සැමියාට කියන විට, එතැනිට කඩා වැදුනු අදාළ නිලධාරියා, සැමියාගේ අත් පා, කඩන බවටද, ”සෙල්” එකේ දාන බවටද, ඉදිරියට ”විසිට්” නොදෙන බවටද, තර්ජනය කර තිබේ.

මෙම අශෝබන සිදුවීම හා සැමියාගේ ආරක්ෂාව ගැන, ඇය, බන්ධනාගාර කොමාසාරිස් ජනරාල්වරයාට හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැමිණිලි කර තිබේ. සිද්ධියට අදාළ බන්ධනාගාරය ක`ඵතර බවද, ප‍්‍රකාශ කර ඇත.

ඇගේ පැමිණිල්ළේ මෙසේ ස`දහන් වේ.

‘‘  මාගේ සැමියා, 2021 ජූලි 06 සිට, සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ. 

2021.10.15 වන දින, 11.00 ට පමණ, මා, මාගේ සැමියාව බැලීමට----- ගියා.

අත්‍යාවශ්‍යය ද්‍රව්‍යය ගැනීමට, ඇතු`ඵවන ෙදාරටුවේ, නිලධාරීන්ට (මුදල්) බැඳ, ලදුපත රැගෙන රැුඳවියන් පෙන්වන ශාලාවට ගියා. එහි සිටි නිලධාරියාට, ----- ලදුපත දෙන විට, එය ඔහු ලබාගත්තේ, මාගේ අත මිරිකමින්. ඉන්පසු මා වාඩිවී සිටින විට, එම නිලධාරියා මට, නොයෙකුත් ආකාරයේ ”අභිරූපනයන්” කරමින් මා පීඩාවට පත් කළා. ඔහු මාගෙන් කරන්නේ මොනවාද ආදී තොරතුරු විමසුවා. සැමියා පැමිණි පසු මා, එ් ගැන සැමියාට කියන විට, ඔහු නැගිට ඇවිත්, මට බැල්ලී කියා අමතමින්, ”මේකිට විසිට් පෙන්නන්න එපා” යයි එතන සිටි නිලධාරීන්ට නියම කළා.

වෙනත් නිලධාරියෙන් ඉදිරිපත්ව මාගෙන්, ඇඳුම් හා ලදුපත සැමියාට බාර දුන්නා.

මේ නිලධාරියා, මාගේ සැමියාගේ අත් කකුල් කඩන බවත්, සෙල් එකට දාන බවත්, තර්ජනය කළා.

මේ නිසා, මට සැමියා සමග අවශ්‍ය දේ කථා කරන්න ඉඩ දුන්නේ නෑ.

මා ඉල්ලා සිටින්නේ, බන්ධනාගාරයේ, නිලධාරියා, (දුටුවොත් හඳුනා ගත හැක) විසින් මාගේ සැමියාට පීඩා කිරීම නවත්වා දෙන ලෙසටය.

මෙයට,

බිරි`ද







Sunday, October 17, 2021

පයියාගල හිටපු මූ.පො.ප. තුෂාර ද සිල්වා ට නියම කළ රු:10,000/- වන්දිය තාම ගෙවලා නෑ. විනය පියවර ද ගෙන නැහැ. මහා රා ව්‍යාපාරිකයා පැමිණිලි කරයි.

 

මංගල ප‍්‍රියන්ත ”මහ රා” ව්‍යාපාරිකයෙකි. 2015.11.29 දින, ඔහුව පයියාගල පොලීසිය, අත්අඩංගුවට ගෙන, සුරා බදු ආඥ පනතේ, 52 (1) (අ) වගන්තිය යටතේ ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්, නඩු පැවරීම මගින්, තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට, මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරනු ලැබීය.

එම පැමිණිල්ල විමර්ශනයෙන් පසුව, 2021.06.19 දින, සිය නිර්දේශය, ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

යහපාලන සමයේ, ඊනියා අපක්ෂපාතී කොමසාරිස්වරුන් මෙන් නොව, මෙය සිංහලෙන් නිකුත් කර තිබීම විශේෂයකි.

කොමසාරිස්වරුන් වන, අනුප‍්‍රියා ෂන්මුගනාදන් හා ම.හේ. නිමල් කරුණාසිරි ගේ අත්සනින් නිර්දේශය ප‍්‍රකාශයට පත් කර තිබේ.

මංගල ප‍්‍රියන්තගේ පැමිණිල්ල අදාළ නිර්දේශය දී, සුරාබදු ආඥ පනත යටතේ වැරදි සම්බන්ධයෙන්, වැටලීම හා අත්අඩංගුවට ගැනීමට, පොලීසියට නෛතික බලයක් තිබේ.

එහෙත් සුරාබදු ආඥ පනත 52 (1)(අ) යටතේ නඩු පැවරීමට නෛතික බලයක් නොමැති හෙයින් එමගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතීන්, එවක පයියාගල පොලිස් ස්ථානයේ මූ.පො.ප. ව සිටි, තුෂාර ද සිල්වා විසින් උල්ලංඝණය කර තිබෙන බවට නිගමනය කර තිබේ.

එ්, මූ.පො.ප. තුෂාර ද සිල්වා විසින් මංගල ප‍්‍රියන්තට, රු: 10,000/- ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත්, 

පොලිස්පතිවරයා, මූ.පො.ප. තුෂාර ද සිල්වාට එරෙහිව විනය පියවර ගත යුතු බවත්, නිර්දේශ කර තිබේ. 

නමුත් මේ දක්වා එම නිර්දේශ 02 ක‍්‍රියාවට නංවා නැත.



 



Wednesday, October 13, 2021

ඌරගහ පොලිසිය දරු ගැබ විනාශ වනතුරුම කතකට පහර දීලා. පුතා කුඩු බොනවා!! අම්මා විකුණනවා!!!

 

ඌරගහ පොලීසිය දහඅට  හැවිරිදි තරුණ කතකට පහර දී ඇත්තේ ඇගේ දෙසතියක් වන දරු ගැබ විනාශ කරනවා යැයි පවසමින්ය

සිද්ධිය සැකෙවින් මෙසේය

ඇගේ 22 හැවරිදි සැමියා මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. විශේෂත්වය වන්නේ ඔහුගේ මව මත්ද‍්‍රව්‍ය අලෙවි කරන්නෙක් වීමය. ඇය පවසන අන්දමට සැමියාට මත්ද‍්‍රව්‍ය සැපයීමද මව සිදුකරයි.  දෙසැම්බර් 25 මේ යුවල ඌර  ගස්මංහන්දිය පොලිසිය අත්අඩංගුවට ගනු ලබයි. එ සැමියාට එල්ල වූ චෝදනා මතය. පොලීසියේදී ධම්මික නම් නිලධාරීයා ගේ අවශ්‍යතාවයට ඇයට එම පොලිසියේ මෙන්ඩිස් හා හෙට්ටිආරච්චි යන දෙදෙනා අමානුෂික ලෙස පහර දෙන්නේ ලේ මුත‍්‍රා පිටවෙන තුරුය. පිටවූ එම ලේ මුත‍්‍රා ඇය ඇඳ සිටි සායෙන් පිසදම්මවා ගැනීමටද මෙම නිලධාරීන් ක‍්‍රියා කරතිබෙි. 25වන දින අත්අඩංගුවට ගන්න ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නේ 27 වන දිනය. ඇය සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 4.101 එකක් තිබූ බවට පොලිසිය අධිකරණයට වාර්තා කිරීම නිසා ඇයව රක්ෂිත බන්ධනාගාර කරවයි.  ඉදිරිපත් කිරීමට පෙර ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ පිළිබඳ අධිකරණය පොලිසියෙන් විමසීමක්ද කර තිබුනේ නැත. අමානුෂික ලෙස වද දී අසාධ්‍යය තත්ත්වයෙන් පොලිසිය කූඩුවට වි සිටිනවිට බැලීමට පැමිණි නීතිඥවරයා කිසිදු පියවරක් ගන්නෙ නැතිව පොලිසිය සමග සාමිචියේ යෙදී ගොස් තිබිණ. මෙහිදී පොලිසිය අපි මෙයාට කුඩු දානවා ඒ නිසා කිසි දෙයක් කරන්න  ඕනේ නැහැ කියා පවසනවා කුඩුවේ සිටි ඇයට ඇසි තිබේ. අධිකරණයට ඉදිරිපත් කරන ලද විට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, ඇයව අත්අඩංගුවට ගත් දිනය, ස්ථානය, ඇයට වධ දී ඇති ආකාරය අධිකරණයටද ප‍්‍රකාශ නොකළා පමණක් නොව, ඇය සමග අත්අඩිංගුවට ගත්, ඇගේ සැමියාව පොලිසිය රඳවාගෙන සිටින බව දැනුම් දී නැත. බන්ධනාගාරයේ දී මාස දෙකක් යන තුරු ඇයට සනිපාරක්ෂක තුවා ලබා නොදුන් බවද, අවම වශයෙන් පැනඩෝල් පෙත්තක් වත් දුන්නේ නැති බවද ප‍්‍රකාශ කරයි. මාස හතරකට පසුව ඇයට අධිකරණය  ඇප ලබා දෙන්නේ රස පරීක්ෂකවරයා විසින් එවන ලද වාර්තාවේ පොලිසිය ලබාදුන් හෙරොයින් ග‍්‍රෑම් 4.101 තිබුණේ හෙරොයින් මිලිග‍්‍රෑම් 108 ණක් බව හෙළිදරව් කර තිබීම නිසාය. ඉතිරිය මොනවාදැයි සඳහන් කර නොතිබූ අතර, අධිකරණය ඒගැන ප‍්‍රශ්න කරන තිබුණේද නැත. මෙම නීති විරෝධී මෙන්ම මූලික අයිතිවාසිකම් කැඩිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, නීතිපතිට, පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්ට පැමිණිලි කර ඇත. එසේ ඇය පැමිණිලි කර ඇත්තේ පැමිණිලි කර නැතැයි යන චෝදනාවෙන් නිදහස් වීමටය.