Saturday, July 12, 2014

පුරුෂ ලිංගයට, ගුද මාර්ගයට, ඇස් වලට කොච්චි මිරිස් ඉස්ම වැක්කෙරුවා.


කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායේ වධකාගාරය තුල දි මෙසේ වධහිංසාවට ලක්ව ඇත්තේ, කාලවිල පදිංචි නුවන් කුමාර නම් 20 හැවරිදි තරණයෙකි.
පසුගිය ජුනි 15 දින ඇතිවු අලුත්ගම සිංහල - මුස්ලිම්  කෝළහාලයට සම්බන්ධයයි යන චෝදනා කරමින් 20 දින බේරුවල පොලීසියේ ධම්මික හා අලූත්ගම පොලීසියේ අපරාධ අංශයේ ලක්ෂිත යන නිලධාරින් දෙන්නා විසින් නිවසේදි අත් අඩංගුවට ගන්නා ලදි.
පසු දින මොහුව අලුත්ගම පොලීසිය, කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායට බාර දී ඇත්තේ වධදී සිංහල - මුස්ලිම්  කොළහාලයට සම්බන්ධ බවට පිළිගැන්වීමට ය.
ඇස් බැඳ කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායේ වධකාගාරයට ගෙන යෑමෙන් පසුව නිරුවත් කර අත් පිටු පසට තබා මාංචු දමා දස වධ දීම ආරම්භ කර ඇත.
තමාට වධ දුන්න ආකාරය නුවන් කුමාර විස්තර කරන්නේ මෙසේය.

මාව කාමරයකට ගෙන ගියා. එහිදී මාව නිරුවත් කරලා, අත් පිටුපසට කර මාංචු දමා, උඩුබැලි අතට බිම නිදි කෙරෙව්වා.
එයින් පසුව හය දෙනෙක් විතර වට කරගෙන, පෙලූ වලින් අතින් පයින් පහර දුන්නා. මගේ කලවා උඩ නැගලා කකුල් උඩට නැව්වා. ඇලපත් වලට පයින් පහර දුන්නා.
ඊට පස්සෙ කොච්චි මිරිස් කොටපු පොට්ටනියක් අරන් ඇවිත්, ඇස් වලට මිරිස් ඉස්ම මිරිකුවා. පොල්ලකින් පුරුෂ ලිංගයේ සම පස්සට කර එතැනට කොච්චි මිරිස් වක් කළා.
ඉන් පසු මුනින් අතට පෙරලා ගුද මාර්ගයට මිරිස් ඉස්ම වත් කළා.  
  මේ සියල්ලම කරන විට පොලිස් නිලධාරීන් තුන් හතර දෙනෙක් මගේ ඇඟ උඩ නැගලා හිටියේ.
එහෙම කරලා ඉවර වෙලා, මාව ටැප් එක ළඟට නිරුවතින්ම අරන් ගිහිල්ලා, මාංචු ගලවා හෝදා ගනින් කිව්වා.
ඉන්පසු, මාව නැවත එම කාමරයට ගෙන ආවා.
එහි තට්ටු දෙකේ ඇඳක්, ටී.වී. එකක් තිබුණා. බිත්තියට, බිමට ආසන්නව යකඩ පයිප්පයක් අල්ලා තිබුණා.
මාව උඩබැලි අතට, නිරුවතින් බිම හිඳුවා, බිත්තියට හේත්තු කර, අත් දෙක ඇද පයිප්පයට තබා මාංචු දැම්මා.....
..... උදේ හිටපු බොහෝ නිලධාරින් යන්න ගියා. දෙදෙනෙක් ඉතුරුවු නා.
එක් අයෙක් නාලා තුවාය පිටින් මා ලඟට ඇවිත් ඇත්ත කියපන් කියමින් කුණු හරප කියමින් මට බැණ වැදුනා.
ඔහු ලී පොල්ලකින් මාංචු දාමා තිබු අති යකඩ බටය තබා ඇඟිල් තැලූවා. අත් දෙකේම ඇඟිල් තැලූවා.
හොඳටම රැ වුනාට පස්සේ මට කලිසම ඇඳගන්න දුන්නා.
එදින මුළු රාත‍්‍රියම නිදාගන්න නොදි ඒ ආකාරයටම මට ඉන්න සිද්ධ කළා.

පසු දින අධිකරණයට ඉදිරිපත් කර, ජූලි 02 වන දින දක්වා නුවන් කුමාරව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ජූලි 02 වන දින, අධිකරණයට ඉදිරිපත් කර නැවත ජූලි 09 වන දින දක්වා, රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලැබීය.
ජූලි 09 වන දින, නුවන් කුමාරව පෙරෙට්ටුවකට ඉදිරිපත් කළද හඳුනා ගැනීමට පොලීසිය ඉදිරිපත් කරන ලද මුස්ලිම් ස්ත‍්‍රිය කියා ඇත්තෙ ඔහුව හඳුනන්නේ නැති බවයි. තවද ඇය නිවසේ නොසිටි බවද පවසා ඇත. නුවන් කුමාරට විරුද්ධව නඩු 09 ක් දාමා තිබුන අතර ඉන් 07 කින් එදිනම මුදාහැරිය ඇතර නඩු දෙකට මා ශරීර ඇප ලබා දි මුදාහරිනු ලැබීය.
මෙසේ නීති විරෝධිව අත්අඩංගුවට ගෙන තමාට දරුණු ලෙස වධ දී බොරු නඩු දැමිමට  අත්අඩංගුවට ගෑනිමට එකම හේතුව වශයෙන් ඔහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

මෙසේ මාව අත්අඩංගුවට ගැනීමට එකම හේතුව :- 2014.06.15 දින රාත‍්‍රි 8.30 ට පමණ මා, මාගේ මව, පියා, මල්ලිලා තුන්දෙනා සමග පාපැදි වලින් බේරුවල පොසොන් තොරණ බලන්න යන අතර අධිකාරීගොඩ මුස්ලිම් පල්ලිය අසල විශාල පිරිසක් රැුස්ව කෝලාහල කරමින් සිටියා. එම පිරිස් වලට අප මැදි වුණා. අප මැදි වූ තැන පරණ යකඩ බෝතල් එකතු කරන ස්ථානයක් තිබුණා. එය ලොකු වත්තක්. ඒ වත්ත ඇතුළේ බේරුවල පොලීසියේ ධම්මික කොස්තාපල්වරයා හිටියා.
කෝලාහල කළ පිරිස එම වත්තට ඇතුලූ වන්නට උත්සාහ කළා. ගේට්ටුව වහලා තිබුණ නිසා ඔවුන් ධම්මික කොස්තාපල් ගෙන් ඉල්ලා සිටියා ගේට්ටුව අරින ලෙස. ධම්මික කොස්තාපල් ගැමුණුගේ පුතා කියලා මට කතා කළා. මම ගේට්ටුව අසල සිටි පිරිසට කිව්වා මේ ඉන්නෙ බේරුවල පොලීසියේ ධම්මික කොස්තාපල් බව. ඔහු සිටියේ සිවිල් පිට. රැුස්ව සිටි පිරිස ධම්මික කොස්තාපල් ට කිව්වා ගේට්ටුව කඩන්න අපට  ඕන නෑ. බෝතල් යකඩ අරන් දෙන්න කියලා. ධම්මික කොස්තාපල් බෝතල් හා යකඩ පයිප්ප පොහොර බෑගයකට දමා ගේට්ටුවට උඩින් එ් පිරිසට දුන්නා.
එතැන විශාල පිරිසක් හිටියා. අපට කරන්න දෙයක් නැතිව හිටියේ. අම්මාගේ අතේ අවුරුදු එකයි මාස තුනක් වන පොඩි මල්ලිත් හිටියා.
ටික වේලාවකින් කඳුඵ ගෑස් ගැහැව්වා. පිරිස ඒ මේ අත දුවන අතර අපිද ගෙදර ආවා.
පසුදින එනම් 17 දා, මට ධම්මික කොස්තාපල් දුරකතනයෙන් කතා කරලා කිව්වා කොල්ලෝ එදා හිටපු අය කියපන් උඹව පාවා දෙන්නේ නෑ, උඹ දන්නවනේ මගේ හැටිකිව්වා.
ඔහු තවදුරටත් මම තැනක් කියන්නම් එතැනට වරෙන්කිව්වා.
මම ඔහුට කිව්වා මම එතන හිටිය කිසිවෙකු අඳුනන්නේ නැති බව. එ් අපේ ගම නෙවෙයිනෙ කියලා කිව්වා.
එයින් පසු දින 3 කට පසුව තමයි (20 දා) මාව අත්අඩංගුවට ගත්තෙ.
මෙයින් පැහැදිළි වන්නේ මෙම කොල්ලයට සම්බන්ධ වූ බේරුවල පොලීසියේ ධම්ම්ක යන කොස්තාපල්වරයා විසින් තමන් හෙළිදරව් වීම වැලැක්වීමට මා යොදා ගත් බවයි.

 මෙම කොලහාලයෙන් පසුව ආණ්ඩුවේ උවමනාවට අපරාධකරුවන් වෙනුවට අසරණයි අල්ලා වධදි බොරු නඩු දමා ජනයා රැුවටීමට ගත් උත්සහය මොනවට පැහැදිලි වේ.



Wednesday, July 9, 2014

බොරු නඩු දාමා රිමන්ඩ් කරවා වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැද්ද?



2010 ජනවාරි 01 වන දින, සිය සේවාස්ථානයේදී වසන්ත නිරෝෂන්ව මොරොන්තුඩුව පොලිස් මුර පොළේ, ස්ථානාධිපති චන්දන පී. ලියනාරච්චි, නන්දන පුෂ්පකුමාර ගීකියනගේ, පී.එන්.යූ. ෆොන්සේකා, පී. උදය කුමාර හා සංජය රණසිංහ යන කොසුතාපල් වරු විසින් අත්අඩංගුවට ගෙන, දින 04 ක් නීති විරෝධීව රඳවා තබාගෙන, ගංජා ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ චෝදනා නගා, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරවනු ලැබීය.
බොරු චෝදනා නගා, බොරු වාර්තා සපයා දින 70 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ වසන්ත නිරෝෂන්ව, මහේස්ත්‍රත් අධිකරණය මගින් ම නිදහස් කරනු ලැබීය. මෙම බොරු නඩු දැමීම අදාලව   කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මිරිහාන පොලීසියෙන් පැමිණ, ප‍්‍රකාශ ද ලබා ගන්නා ලදි.
බොරු නඩු දමා, වධහිංසාවට පත් කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කරවා වධයට පත් කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිළිව ඉහත නම් කළ පොලිස් නිලධාරීන් අපරාධයක් කර තිබියදීත්, මේ දක්වාම එනම්, වසර 4 ක් ගත වී ඇතත් කිසිදු නීතිමය හෝ විනයානුකූල පියවරක් ගෙන නැති බව වසන්ත නිරෝෂන් ගේ පියා ප‍්‍රකාශ කර සිටි.
එසේ විනයානුකූල පියවරක් ගෙන තිබේ නම්, එ් පිළිබඳව ඔහු ව දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටින අතර, බොරු නඩු දැමීමට එරෙහිව මෙම නිලධාරීන්ට විරුද්ධව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටි. බොරු නඩු දැමීම ශ්‍රි ලංකා පොලීසියේ ප්‍රතිපත්තියි. එයට රාජපක්ෂ ආණුඩුවේ පුර්ණ අනුග්‍රහය හිමිව තිබේ.





Tuesday, July 8, 2014

මිරිහාන පොලීසිය විසින් පැහැරගෙන ගොස් වධදි මුදාහැරියා. වධදුන්ෙන් මුබරක් කියන නිලධාරියා.

  

2014.07.05 වන දින, රාත‍්‍රී 12.00 ට පමණ, දෙදෙනෙක් පොලීසියෙන් කියාගෙන ගෙට ඇතු`ඵ වුණා. ඔවුන් දෙන්නා හිටියේ සිවිල් පිට. කටඋත්තරයක් ගන්න තියෙනවා, යාලූවෝ දෙන්නෙකුත් ඉන්නවා කියා, පානදුර පොලීසියට යන් කිව්වා. කටඋත්තරය අරගෙන ගෙදරටම ගෙනත් දාන්නම් කිව්වා.
මගදි කලූ රෙද්දකින් මගේ ඇස් බැන්දා. ගෙනියන්නේ කොහෙද කියා කිව්වේ නැහැ.

පානදුර, කිරි ගොවිතැෙන් නියැලි 22 හැවරිදි සුජිත් පෙරේරා ව ඉහහත අාකාරයට පැහැර ෙගන ෙගාස් තිබුෙන් මිරිහාන ෙපාලීසිය විසින් ය. ඔහු සිද්ධිය විස්තර කරන්ෙන් ෙමෙස්ය.

“මාව, කාමරයකට ගෙන ගියා. මාව ගෙන ගියේ මගේ ෂර්ට් කොලරයෙන් අල්ලාගෙන. එහි සිටි කෙනෙක් මගෙන් බඩු දෙනවාද කියා ඇහැව්වා. මම ඇහැව්වා මොන බඩු ද කියා. එවිට උඹ දන්නවා හරක් ගෙනියන අය, කියපන් කිව්වා. මම කිව්වා මම දන්නේ නැහැ කියලා.

එවිට ඔහු කිව්වා අහන්නේ තුන් පාරයි කියපන් කියලා. නැවත ඇහුවා. මම දන්නේ නැති බව කිව්වා. නැවත ඇහැව්වා. එවරත් මම දන්නේ නෑ කිව්වා.

මාව බෙල්ලෙන් අල්ලගෙන හිටිය කෙනා මගෙන් ඇහැව්වා මේ මහත්තයාව අඳුරනවද කියා.
මම අඳුරන්නේ නැති බව කිව්වා.

ඔහු මූව ගෙනියන්න දෙන්නකියා.  එ් සමගම මගේ මුහුණට පාරක් ගැහැව්වා. මාව වැටුණා. මම නැගිට්ටට පස්සේ නැවත ගැහැව්වා.

ඉන්පසු මාව වෙන කාමරයකට ගෙන ගියා. එහිදී මට තව පාරවල් හතරක් විතර මූණට ගසා ඇස් බැඳපු රෙදි කෑල්ල ලිහුවා. එවිට මා අඳුනා ගත්තා මට ගැහැව්වේ පානදුර පොලීසියේ හිටපු මුබාරක් නැමති නිලධාරියා බව. මාව ගෙනැත් තිබෙන්නේ මිරිහාන පොලීසියට බවද දැන ගත්තා.

ඊට පස්සෙ මගේ අත් දෙක පිටුපසට කොට මාංචු දමා මාව බිම වාඩි කළා. ඉන්පසු පැට‍්‍රල් දාපු ෂොපින් බෑග් එකක් මගේ මූණ වැසෙන්න තියා අල්ලා ගෙන මට හුස්ම ගන්න බැරිවන තෙක් අල්ලාගෙන සිටියා.

ඊට පස්සෙ මාංචු ගලවා, අතක් පිටුපසට කර තබා අනෙක උරහිස් උඩින් ගෙන පිටුපසට කොට මාංචු දමා ඉන් පසු මාංචු අතරින් පොල්ලක් දමා, මා පෙට්ටියක් හා ෙදාරට තියා එල්ලූවා. ඊට පසුව පොල්ලෙන් මගේ යටි පතුල් වලට ගැහැව්වා. මාව එසේ එල්ලා තබා බිමට බෑවා.

එතකොට කෝල් එකක් ආවා. මුබාරක් නිලධාරියා උත්තර දෙමින් කිව්වා, මූට දෙන්න  ඕනි වධ ඔක්කොම දුන්නා, මුකුත් කියන්නෙ නෑ කියලා. ඊළඟට මාව බිම දැම්මා. අත් දෙක දණහිස් දෙක අතරින් දමා, මාංචු දමා, මුබාරක් නිලධාරියා සපත්තු පිටින් මගේ කකුල් දෙක උඩ නැගලා පොල්ලෙන් යටි පතුල් වලට පහර දුන්නා. පාරවල් විස්සක් විතර ගැහැව්වා. එක දිගටම පහර දුන්නා.


එසේ පහර දීමෙන් පසුව, මට නැගිටින්න කියා, උඩ පනින්න කිව්වා. අත් උස්සන්න පහත දාන්න කිව්වා.
එයින් පසුව මාව මේසයක් යට දාලා, මේස කකුලකට මගේ කකුල තියා මාංචු දමා නිදා ගනින් කිව්වා.
උදේ මාවයි, එ් අවස්ථාවේ අල්ලන් ඇවිත් හිටිය පස්දෙනෙකුවයි එතන හිටිය නිලධාරීවරයෙකු කැන්ටිමට අරන් ගියා. මට සල්ලි තිබුණේ නෑ. අල්ලගෙන හිටිය පස් දෙනා මටත් මාලූ පාන් එකක් හා තේ එකක් අරන් දුන්නා.
මුබාරක් කියන නිලධාරියා උදේ 9.00 ට පමණ, ඇවිත් උඹට දෙන්නම් කිය කියා හිටියා. දවල් 12.00 ට පමණ මුබාරක් නිලධාරියා මට කිව්වා උඹව යවනවා කියා. ඔහු කිව්වා උඹවත් මම දන්නවා, උඹේ ආතාවත් දන්නවා, උඹේ ආතා විතරක් ආවොත් උඹව බාර දෙනවා, නැත්තන් කුඩු දාලා යවනවා කියා.
ඊට පසු මුබාරක් නිලධාරියා මගේ ආතට දුරකතනයෙන් කතා කරලා කිව්වා, යා`ඵවෙක් ඉන්නවා ඇවිල්ලා ගෙනියන්න, විමලේ අයියා ආවොත් විතරයි දෙන්නේ කියා. හිරණ පදිංචි ආතාගෙ නම විමලේ. ඔහු ගුරුකම් කරන අයෙක්, ඔහුගේ කන ඇසීම දුර්වලයි. එ් නිසා මුබාරක් නිලධාරියා කිවූ දේ ඔහුට තේරුනේ නැහැ. එ් නිසා  මුබාරක් නිලධාරියා ඔහුගේ දුරකතනය මට දීලා ආතට කතා කරන්න කිව්වා.
මම කතා කළ විට උත්තර දුන්නේ ඔහුගේ පුතා. මම ඔහුට විස්තර කිව්වා.
ඊට පස්සෙ මුබාරක් නිලධාරියා කිව්වා මේ වන විට ගෙදර මිනිස්සු පොලීසි වල ඇන්ටි‍්‍ර දාලා ඇති එ්වට යන්න එපා, ඉස්පිරිතාලෙ යන්න එපා, කියා. එහෙම ගියොත් අනිවාර්යයෙන් කුඩු දාලා යවනවා කියා තර්ජනය කළා.
ඊට පස්සෙ මුබාරක් නිලධාරියා මගෙන් ඇහැව්වා කිරිබේරියේ පොල්කිරියා වත්තෙ ගල්පොත්ත පදිංචි ජයසේන නැමති අයට ලක්ෂයක් දෙන්න පු`ඵවන්ද කියා. මම කිව්වා මට එහෙම කරන්න බෑ කියා. ඊට පස්සෙ මුබාරක් නිලධාරියා මට කිව්වා ජයසේන ව සැක කරන්නත් එපා, කොන්ගහකොටුවේ හේමන්තව සැක කරන්නත් එපා කියලා.
සවස 3.00 ට විතර ආතා සහ මගේ ඥතීන් කීප දෙනෙක් මිරිහාන පොලීසියට ආවා. ආතාට මුබාරක් කිව්වා විමලේ අයියා නිසා තමයි දෙන්නෙ, මෙයාට කියලා දෙන්න පැමිණිලි දාන්න ඉස්පිරිතාලෙ යන්න එපා කියලා.
එළියට එන විට මොනවාදෝ ලියපු කොළයකට මගෙන් අත්සන් ගත්තා. තවත් කොළයකට මගේ මාපට ඇඟිලි සලකුණ ගත්තා. ඊට පස්සෙ ඔහු කිව්වා සති දෙක තුනක් යනකම් ගමෙන් පිටවෙලා ඉන්න කියලා.
ගෙදර එන විට සවස 6.00 විතර වුණා. මට ? හොඳටම අමරු වුණා. පසු දා උදේ එනම් 2014.07.07 වන දින උදේ 9.00 ට පමණ පානදුරේ මූලික රෝහලට පැමිණියා. මාව රෝහලේ නතර කර ගත්තා. රෝහලට මා සිය`ඵ විස්තර කිව්වා. මිරිහාන පොලීසියේ මුබාරක් නිලධාරියා පහර දුන්න බව ප‍්‍රකාශ කළා.
රාත‍්‍රී 9.00 ට පමණ පානදුර රෝහලේ රෝහල් පොලීසියෙන් පැමිණ මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මිරිහාන පොලීසියේ මුබාරක් නිලධාරියා පහර දුන් බව කියා සිටියා.
අද, එනම් 2014.07.08 වන දින අධිකරණ වෛද්‍යවරයා පරීක්ෂා කළා. ඔහුටද මා මුබාරක් නිලධාරියා පහර දුන් බව ප‍්‍රකාශ කළා.
ඊට පසු දවල් 11.00 ට පමණ පානදුර පොලීසියේ බුද්ධි අංශයේ නිලධාරියෙක් පැමින මගෙන් විස්තර අසා ලියා ගත්තා. ඔහුට ද මා ඉහත විස්තර කියා සිටියා. දහවල් 1.00 ට පමණ මා රෝහලෙන් පිට වුණා.
මා රෝහලේ සිටින අතර දහවල් 12.00 ට පමණ ජයසේන නැමති පුද්ගලයා මුබාරක් නිලධාරියාගේ අවශ්‍යතාවය මත හත් දෙනෙකු රැුගෙන විත් රෝහල ඉදිරිපිට මීයා හොරෙක්යන පාඨ රැුගත් පුවරු රැුගෙන සිටි බව දැන ගන්නට ලැබුණා. ”
ෙමම සාපරාධි ක්‍රියාව ගැන සුජිත් මානව හිමිකම් ෙකාමිසෙමන් හා ෙපාලිස්පතිෙගන් ඉල්ලා සිටින්නේ,
මිරිහාන පොලීසියේ මුබාරක් නිලධාරියාගේ අවශ්‍යතාවයට  නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, ඇස් බැඳ මිරිහාන පොලීසියට ගෙන එ්ම,
ඉන්පසු මෙම මුබාරක් නැමති නිලධාරියා ඉහත සඳහන් කරන පරිදි වධ දීම,
හා කුඩු දාලා බන්ධනාගාර ගත කරන බවට තර්ජනය කිරීම, පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට හා ආරක්ෂාව සලසා දෙන ලෙසටය.


වධහිංසා පනත යටතේ පොලිස් කාරයින්ට නඩු.



නීතිපති උපදෙස් මත චූදිත නිදහස්. මූලික අයිතිවාසිකම් නඩුවට බලපෑම්. 2008 මාර්තු මස 07 එවකට අවුරුදු 14 ක් වූ බුද්ධික ඉවන්තට මීටියාගොඩ පොලීසිය වධ දී, බොරු නඩු දැම්මේය.

ඔහුට දිවා කාලයේ නිවසක් බිීම, රුපියල් 23000/= ක් සොරකම් කිරීම හා සොර බඩු ළ තබා ගැනීම යන ව්‍යාජ චෝදනා යටතේ නඩුවක් ද පවරන ලදි.

මෙම සිද්ධිය මූලික කරගෙන 2008 අප්‍රේල් මස, බුද්ධික ඉවන්ත හා ඔහුගේ පියා ජයන්ත ගුණසේකර පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරනු ලැබීය.
මේ නඩුවේ වගඋත්තරකරුවන් වූයේ මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ය.

මෙම නඩුව, වසර පහක් පුරා විභාගයට ගැනීමක් සිදු නොවූ අතර 2013.07.24 වන දින වත්මන් අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉදිරියේ විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ පාර්ශව කරුවන් නඩුව සමථයකට පත්කර ගත යුතු බවයි.

තවද,  බුද්ධික ඉවන්ත ට මීටියාගොඩ පොලීසිය පවරන ලද බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටද, සහන මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසද ඔහු යෝජනා කළේය.

නමුත්, බුද්ධික ඉවන්ත සමථයකට සූදානම් නැති බව ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි.

ඒ අතර, නීතිපතිගේ උපදෙස් මත බුද්ධික ඉවන්ත ට මීටියාගොඩ පොලීසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුව ඉල්ලා අස්කර ගත් අතර, උප පොලිස් පරීක්ෂක අතුකෝරල ඇතුළු බුද්ධික ඉවන්ත ට වධ දුන් නිලධාරීන්ට එරෙහිව බලපිටිය මහා අධිකරණයේ, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට ද නීතිපතිවරයා පියවර ගනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව සමථ කරවීමට අගවිනිසුරු මොහාන් පීරිස් ගේ යෝජනාව  පදනම් කරගෙන මුලික අයිතිවාසිකම් නඩුව සමථ කරන ලෙසට බුද්ධික ඉවන්තට ඉදිරියේදී ද බලපෑම් එල්ල විය හැකිය.



Monday, July 7, 2014

Face book, twitter සදහා මෝඩිගේ උපරිම සහය හිමිවේ.



ශ්‍රී ලංකාව ඇතුලු, ප්‍රජාත්නත්‍ර විරෝධී රටවල් Face book, twitter ප්‍රමුඛ නව මාධ්‍යයන්ට එරෙහි නිති ගෙන ඒමට උත්සාහ දරන අතර, ඉන්දියාවේ නව අගමැති ඒ සදහා දිරිදිමට ඉදිරිපත්වීම, මෙරට නායකයින්ද ආදර්යට ගත යුතුයි.

සිය මැතිවරණ ව්‍යාපාරය සදහා Face book, twitter ඇතුලු අන්තර්ජාල තාක්ෂණ යොදා ගත් මෝඩි ඒ තුලින් සිට ජනප්‍රියත්වය අසිමිතව වැඩි කර ගත්තේය.

මේ වන විට මෝඩිගේ Face book එකට ලැබි තිබෙන ප්‍රතිචාර, ලොව සිව්වන ස්ථානය ගනි. එය මිලියන 18.8කි.

සිය ආණ්ඩුවේ ක්‍රියාවන් පිළිබදව Face book හා twitter භාවිතා කරන ලෙසට සිය ඇමතිවරුන්ට දන්වා ඇති අගමැති මෝඩි, අන්තර්ජාල පහසුකම් වර්ධනයට, එම සමාගම්වලට ඇරයුම්කර ද තිබේ.

පසුගියදා Face book ප්‍රධාන විධායක නිලධාරිනිය ෂර්ලි සැන්ඩ්බර්ග් අගමැති මෝඩි හමුවි - තම සමාගමේ කටයුතු ඉන්දියාව තුල පුලුල් කිරීම පිළිබදව අදහස් හුවමාරු කරගෙන තිබේ.



ගෝලයෙන් පිටතට බෝලය ඇදි යන විට අඩනවා. නිදහස අහිමි වන විට අඩනවාද? නැතිනම් සටන් කරනවාද?




ලෝක පාපන්දු තරගාවලිය බ්‍රසීලයේ පැවැතෙන අතර - නිදහස, මානව හිමිකම්, දූෂණයට හා වධහිංසාවට එරෙහිව නැගි සිටි, ලොව ප්‍රකට පාපන්දු ක්‍රිඩකයින් කෙරෙහි අවධානය කැදවිමට, මැන්වෙස්ටර් යුනයිටඩ් ක්‍රිඩා සමාජයේ ප්‍රමුඛ ක්‍රිඩකයෙකුව සිටි එරික් කැන්ටෝනා පියවර ගෙන තිබේ.

ඔහු තෝරාගෙන සිටින පාපන්දු ක්‍රිඩකයින් පස් දෙනා අතර ප්‍රමුඛ ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ චිලියේ කාලෝස් කේස්ලිය.

1969 -1985 යන කාලවල චිලියේ ජාතික පාපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ කාලොස්, 1973 වසර හමුදා කුමන්ත්‍රණයෙන් පාලන බලය අල්ලාගත් ජෙනරාල් ඔගස්ටෝ පිනෝෙච්  ට එරෙහිව නැගි සිටි දහස් ගණනට එක්වූයෙකි.

මෙහි ප්‍රථිඵලය වූයේ, කාලොස්ගේ මව, අත්අඩංගුවට ගෙන වධහිංසාවට පත් කිරිමය. ජෙනරාල් ජිනෝෙච් ෙග් දුෂ්ඨ පාලනයට එරෙහිව සටන් වැදුනු ඔහු, එම අරගලයේ අඛණ්ඩව සිටිමින් ලොව ක්‍රිඩකයින්ට ආදර්ශයක් ලබා දුනි.

ජෙනරාල් ජිනෝෙච් ද බලයේ සිටි කාලයේ, වධකාගාරයක් ලෙසට භාවිතා කළ, එරට ප්‍රධාන පාපන්දු ක්‍රිඩාංගනයට පැමිණි කාලොස්  කළ ප්‍රකාශය - නැවත එපා Never again  යන කියමන අදටත් රැව් පිළිරැව් දේ.


කාලොව්ස් ප්‍රමුඛ නිදහස වෙනුවෙන් කැපවූ පාපන්දු ක්‍රිඩකයින් පස් දෙනාගේ ඇසුරෙන් සකස් කළ විඩියෝව.
http://www.aljazeera.com/programmes/footballrebels/2013/03/2013312145718474996.html




Sunday, July 6, 2014

කුණු බිත්තරය ගහපු එකා හොයන්න උදෙන්ම ආපු සේවකයා අල්ලා බඩ මිරිකයි.


.ලංකා රබර් තාක්ෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ කාමරයට එල්ලවූ කුණු බිත්තරය ගහපු එකා හොයන්න ගල්කිස්ස පොලිසිය දියත් කළ මෙහෙයුම සාර්ථකව නිම කළේ  - උදෙන්ම ආපු සොවකයාව අල්ලාගෙන ගොස් බඩ මිරිකා දැමිමෙන්ය.

එයට අමතරව මෙම සේවකයාට බැණ තර්ජණය කරමින්, බිත්තරය ගහපු බව පිළිගන්නා ලෙසට බල කළ ද, ඔහු තමා නොකල දෙයක් පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේපකර සිටියේය.

රත්මලාන, තෙලවල, රබර් තාක්ෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පත්විම ලැබ පැමිණී   සුසන්ත සිරිවර්ධන නැමැති නිලධාරියාව සාදරයෙන්  පිළිගැනිමට මෙම බිත්තරය, ඔහුගේ කාර්යාල බිත්තියට එල්ලකර තිබිණ.

වහාම ගල්කිස්ස පොලිසිය කැදවූ එහි අධ්‍යක්ෂවරයා බිත්තරය ගහපු තැනැත්තාව සොයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස පොලිසියෙන් ඉල්ලා සිටියේය.

පොලිස් නිලධාරීන් හයදෙනෙකු ගෙන් පමණ සමන්මිත කණ්ඩායමක් පරික්ෂණ පවත්වා, කිසිදු සැකකරුවෙකු සොයා ගැනිමට නොහැකිව, එදින උදේ ම තම කාර්යාලයට පැමිණි රසායනාගාර සහායක පියතිස්ස මයාව අල්ලාගෙන ගොස්, බිත්තර ගැසූ බවට පිළිගන්නා ලෙසට, බලකළේ බැණ තර්ජණය කරමින්ය. අසිමිත වේදනාවක් ගෙන දෙන පරිදි බඩ මිරිකා දැමිමෙන්ය.

උදේ, ආරක්ෂක නිලධාරිනිය සමග තමා සේවය කරන රසායනාගාරයට පැමිණ, එහි පවිත්‍රතා කටයුතු කිරිමේ යෙදුන, මෙම සේවකයාව , සුපුරුදු පරිදි පොලිසිය අභූත චෝදනා නැගීමට උත්සාහ ගෙන ඇත්තේ කුණු බිත්තර ප්‍රහාරයට ලක්වූ සුසන්ත සිරිවර්ධන නැමැති නිලධාරියා පිනවන්නටය.

මෙම අසාධාරණ සිද්ධියට මුහුණ දුන් - මෙම ආයතනයේ වසර විස්සකට ආස්න්න කාලයක් මෙම ආයතනයේ සේවය කල පියතිස්ස මයා, තමාට ගල්කිස්ස පොලිසිය සිදුකල අපරාධය ගැන, අදාල බලධාරින්ට පැමිණිලි කර සාධාරණයක් ඉටුවේය යන අපේක්ෂාවෙන් සිටි.


දූෂණ හා වංචා චෝදනා මත හිටපු ප්‍රංශ ජනාධිපති අත්අඩංගුවට



හිටපු ප්‍රංශ ජනාධීපති සාකෝස්කි ට එරෙහිව, ප්‍රංශ නඩුපවරන්නා විසින් දූෂණ හා වංචා පිළීබද චෝදනාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශණ කිරිම ආරම්භ කර තිබේ.

සාකෝස්කි එරට ජනාධිපති වශයෙන් සිටි කාලයේදි කරන ලද දූෂණ හා වංචා අතර, ලිබියාවේ හිටපු නායක ගඩාපිගෙන් මැතිවරණ සදහා මුදල් ලබා ගැනිමද වේ.

ප්‍රංශ නිතියට අනුව, ජනාධීපතිවරයෙකුට හිමිවන, විචර්මුක්තිය හෙවත් දඩුවම් වලට යටත් කිරිමට ඇති නොහැකියාව, නිල කාලය අවසන් විමත් සමග, අවසන් වේ.

පසුගියදා අත්අඩංගුවට ගත් සාසොස්කිව එරට පොලිසිය පැය 18කට වැඩි කාලයක් රදවාගෙන ප්‍රශණ කර ඇත.


59  හැවිරිදි සාසොස්කි, ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත් විය. මේ අතර ඔහුගේ නීතිඥ වරයාවද ප්‍රශ්ණ කිරීම්වලට භාජණය කර තිබේ. 

රාමදාන් උපවාසය විනය තහනම් කරයි.

මෙම මස 28 වන දින සිට ආරම්භ වන මුසිල්ම් ආගමිකයින්ගේ රාමදාන් උත්සාවය හා අදාල උපවාස තහනම් කිරිමට චිනය පියවර ගෙන තිබේ.

රාමදාන් කාලයේ උපවාස පැවැත්විම, චිනය විසින් තහනම් කල පළමු අවස්ථාවද මෙය නොවේ.
මෙම තහනමට අනුව, කිසිදු පාසලක, රජයේ ආයතනයක උපවාස කල නොහැක. උපවාස ළමුන්ගේ වර්ධණයට අහිතකර බවද පෙන්වාදී තිබේ.

පාලක කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ටද මෙම තහනම බල පවැත්වෙන බව ප්‍රකා වේ.

ආගම හා රාජ්‍ය වෙන්විය යුතු බවට චීන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ගෙන ඇති මෙම තිරණය නිසා දැනටමත් ගැටුම් පවතින චිනයේ මුස්ලිම්වරු බහුතරයක් ජිවත් වන භිජියං ප්‍රාන්තවල උණූසුම් වාතාවරණයක් ඇතිවිමට ඉඩ ඇති බව වාර්තාවේ.



පැමිණිල්ල විමර්ශනයට කතෝලික පූජක තැන බාධාවක්ද ?



මාස 18ක් ඉක්ම ගියත්, සාක්ෂිකරුවකුගේ ජිවිතවලට අනතුරක් වන ආකාරයට ක්‍රියා කිරිම අදාල පැමිණිල්ල විමර්ශනයට නොගැනිම පිළිබද ප්‍රශණ කරන, බාලවයස්කාර පැමිණිලිකාරුගේ පියා, එයට හේතුව සිද්ධියට අදාල වන එක් පුද්ගලයකු වන්නේ හලාවත ප්‍රබල කතෝලික පූජකයෙකු විම නිසාද? යන ප්‍රශණ්ය නගයි.

තමා විදේශගතව සිටියදි. එවක තම බිරිද සමග අයුතු සම්බන්ධයක් ආරම්භ කල මෙම පූජකවරයා, සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරු වන තම බාලවයස්කාර දරුවාගේ ජීවිතය අනතුරට ලක් කිරිමට කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහු චෝදනා කරයි.

කලක් ඉතාලියේ රැකියාව කරන ලද මොහු, කතෝලික පුජකවරයෙකු සමග සම්බන්ධකම් පැවැත්වු බිරිගෙන් දික්කසාද විම සදහා මාරවිල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එම නඩුවේ සම විත්තිකරු වන්නේ මෙම හලාවත කතෝලික පූජකවරයාය.

ඒ අතර, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩත්තු නඩුවෙන්, බිරිද විසින් මොහුගේ පුත්‍රයාට නඩත්තු ගෙවනුද ලැබේ. මෙය සාමාන්‍යයෙන් අහඹු සිදුවිමකි.

මෙම පසුබිම තුල, ප්‍රකට සමාජසේවකයකු වශයෙන් පෙනි සිටින මෙම කතෝලික පූජකවරයා ගේ බලපෑම් වලට පොලිසිය යටත්ව ඇති බව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දි තිබේ.


එමෙන්ම එම ලිපියේ පිටපත් හලාවත බිෂොප් වරයාට හා කාදිනල් වරයාටද ඔහු යවා තිබේ.

Friday, July 4, 2014

මුස්ලිම් ස්ත්‍රී ඇදුම් තහනම නීතියට පටහැනි නෑ.



ඉස්ලාමීය කතුන් අදින, හිස සිට දෙපා දක්වා ආවරණය කෙරෙන බර්තා නමින් හදුවන ඇදුම ඇතුලුව, ආගමික හෝ ජාතික හෝ අනන්‍යතාවය පෙන්නුම් කරන ඇදුම් හෝ ලාංජන පැලදීම ප්‍රංශයේ තහනම් කළේ 1989 වසරේදීය.

මෙම තහනමට ප්‍රංශය තීරිණය කළේ, එරට සමාජයේ සමානාත්මතාවය බිදීමට, මෙම ආකාරයේ ආගමික, ජාතීන්ට අයත් සංස්කෘතික ඇදුම් පැලදුම් හේතු වන බැවිනි.

මෙම තහනම, තම ආගමික නිදහසට බාධාවක් බවටත්, එය මානව හිමිකම් උල්ලංඝනයක් බවටත් ප්‍රකාශ කරන අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්, ප්‍රංශ රජයේ මෙම තීරණයට එරෙහිව යුරෝපීය මානව හිමිකම් අධිකරණය ඉදිරියේ නඩු පැවරීය.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල, යුරෝපීය මානව හිමිකම් අධිකරණය, ප්‍රංශ රජයේ තීරණය මගින් එරට මුසලිම් වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝණයක් නොවන බවට තීරණය කළේය.

වාර්තාවන අන්දමට, ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් අනුව, ඇදුම් පැලදුම් චාරිත්‍රවල නියැලෙන ප්‍රංශ මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතා අල්පයකි.




පුතා කුඩුබොන බවට අම්මාගෙන් සහතිකයක් ගන්න හදයි.


තම සැමියාට, බොරු නඩු දැමීමට දරන උත්සාහය පිළිබදව - පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් කරන 21 හැවිරිදි, එක් දරු මවක් වන මධුෂානි මහත්මිය-මේ ආකාරයට පයාගල පොලිසියේ ස්ථානාධීපති වරයා ක්‍රියා කරන්නේ, යම් යම් පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත්ව බවද, කියා සිටී.
මෙම ස්ථානාධිපතිවරයා, තම සැමියාව පොලිසියට ගෙන්වා, උඹ කුඩු ගහනවා නේද යයි බැණ තරජණය කරමින් අසා ඇත. ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කල විට එහෙනම් ගංජා ගහනවා නේද යයි ප්‍රකාශ කරමින් තර්ජනය කර තිබේ.
උඹ ඉන්නේ හිරගෙදර උලුවස්ස ලග, උඹේ අවසානය ලගයි කියමින් තර්ජණය කර, ඔහුගේ මවගෙන් - පුතා කුඩුබොන අයෙකු බවට ප්‍රකාශයක් ගැනීමට උත්සාහ ගෙන ඇත.
විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ - රාජ්‍ය දෙපාර්තමේන්තුව බවට පත්ව සිටින පොලිසිය, අසරණයකු අල්ලා වධ දී, බොරු චෝදනා නගා, බන්ධණාගාරගත කිරවීමේ පුරුද්ද, මේ වන විට කුඩු දමා පුනරුත්තාපන කදවුරු වලට ගාල් කරවීමට, අධිකරණය බළල් අතක් කරගෙන තිබේ.

රාජපක්ෂ පාලනයේ අවශ්‍යතාවය මත, පිස්තෝල ඉනේ ගසාගෙන, අසරණයින් මරා දැමීමටද, බොරු නඩු දමා හිරගෙවල්වලට ගාල් කිරීමද සිදුකරන, පොලිසිය පිළිබදව තමන්ට වරදින තුරු බලා නොසිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලමු.

මානව හිමිකම් කොමිෂම දූෂිතයින් රකියි. වින්දිතයින් ට යන එන මං නැති කරයි.


මානව හිමිකම් කොමිෂමේ මාතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අක්‍රමිකතා හෙළි කිරීම, පරික්ෂණ යට ගැසීමට හේතුවක් වෙලාද.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ප්‍රියන්ත පෙරේරා ට ලිපියකින් දැනුම් දෙන, කරන්දෙණීය පොලිසියේ වධහිංසාවට ලක්වුනු චන්දිල ගුරුසිංහ මහතා, පැමිණිල්ල ලියා පදිංචි කර වසරක් ඉකුත්වී ඇත්ත පරීක්ෂණ ආරම්භ කර නැති බවට චෝදනා කරයි.
කරන්දෙණීය පොලිසිය, තම කුලය ඉස්මතු කරමින් කෘෘර වධහිංසාවන්ට ලක් කළේ 2013.05.07 දීය.
ඉන් අනතුරුව බොරු චෝදනා නගා බන්ධණාගාරගත කරන ලදි. බන්ධණාගාරය විසින්ම ඔහුව, කරාපිටිය ශීක්ෂණ රෝහල ට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදෙන ලදි.
මානව හිමිකම් කොමිෂන් සභාව මේ පිළිබදව කරන ලද පැමිණිල්ල - විමර්ශණය සදහා මාතර ප්‍රාෙද්ශීය මධ්‍යස්ථානයට යොමු කරන ලදි.
මාතර ප්‍රාදේශීය මධ්‍යස්ථානය, ඔහුව දැඩි පීඩාවට පත් කළේය. එම පසුබිම තුල තම පැමිණිල්ල හා අදාල  පරික්ෂණ ප්‍රධාන කාර්යාලය මගින් පවත්වන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.
මාතර ප්‍රාදේශිය මධ්‍යස්ථානය භාර දිසානායක නැමැති නිලධාරියා හා අනෙකුත් විමර්ශණ නිලධාරීන් ප්‍රදේශයේ පොලිසිය හා එක්ව, වින්දිතයින් පාවා දෙන බවට චෝදනා රැසක් එල්ලවී තිබේ.
එපමණක් නොව, මෙම ප්‍රධාන නිලධාරියා රැකියාව ලබාගෙන ඇත්තේද, ව්‍යාජ සහතික ඉදිරිපත් කර බවට වන චෝදනාවන්ද එල්ලවී තිබෙන අයෙකි.
මෙම දූෂිත තත්වය තුලද, ඔවුන් රැකගනිමින් වින්දිතයින් දැඩි අපහසුතාවයට පත්කරන මෙම නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කර, අදාල විමර්ශණය ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලෙසට ඉල්ලා සිටියද, එය මගහරිමින්, වින්දිතයින් පීඩාවට පත් කරන වත්මන් කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය හෙළා දැකිය යුතු අතර, ඒ පිළිබදව හෙළිදරව් කල යුතුව තිබේ.


පොලිසියේ අයුතු බලපෑම් වහාම නතර කරන්න.



ව්‍යාජ නඩු පැවරීම, වධ දීම, නීති විරෝධීව රඳවා තබාගැනීම යන චෝදනා මත, ශ්‍රේෂ්ඨාධීකරණයේ විභාගයට නියමිත නඩුවක් ඉල්ලා අස්කර ගන්නා ලෙසට, පොලිසිය කරන අයුතු බලපෑම් වහා නතර කරන ලෙසට, පෙත්සම් කරුගේ බිරිඳ පොලිස් පතිගෙන් හා මානව හිමිකම් කොමිෂම් සභාවෙන් ඉල්ලා සිටී.

පිළීයන්දල, ශිරානි මහත්මිය කියා සිටින්නේ, 2008 වසරේදී තම සැමියා වූ සරත්ව, නීති විරෝධීව අත්අඩංගුවට ලැබුවේ මොරටුව පොලිසියේ එවකට සිටි පොලිස් පරීක්ෂක දමිත් සිල්වා ඇතුලු පිරිසක් බවත් හා ඉන් අනතුරුව දින 08ක් රදවා තබාගෙන වධ දුන්න බවත්ය.

එයින් අනතුරැව මේ නිලධාරීන් ඔහුට විරුද්ධව සොරකම් නඩුවක්ද , කුඩු නඩුවක්ද පවරන ලඅබීය. එහි ප්‍රතිඵලය වුයේ වසර එකහාමාරක් සැමියාට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමටය.

මෙම සියලු නඩුවලින් ඔහු නිදොස් කොට නිදහස් විය. ඒ අතර තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව වසර තුනකට පසුව විභාගයට නියමිතව තිබේ.

මෙම නඩුවේදී, පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ උත්සාහය වී ඇත්තේ, තම සේවාදායකයින් වන පොලිස් කාරයින්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කොට, ඔවුන්ව නිදහස් කරවීම නොව, මොනයම් හෝ කූඨ උපාය ක්‍රමයකින්, සරත්ට හා ඔහුගේ පවුලට බලපෑම් කොට, නඩුව ඉල්ලා අස්කරවා ගැනීමට කටයුතු කිරීමය. 

මෙම කුඨ හා වංචනික උපදෙස් අනුව පොලිස්කාරයින් සරත් ට හා ඔහුගේ පවුගේ පවුලට අයුතු බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ.