Thursday, March 31, 2016

බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට වධ දුන්න පොලිස්කාරයාට එරෙහිව දොලොස් වසරකට පසුව නඩු.


නීතිපති උපදෙස් මත, පොලිස් විශේෂ විමර්ශණ එ්කකය විසින්, පොලිස් සැරයන් 1999 දඹගල්ලේ සිරිකුමාර ට එරෙහිව - බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2016.03.29 වන දින, අංක 89002 යටතේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුව පවරන ලද්දේ 2004 වසරේදී අම්බලන්ගොඩ ආඳාෙදාල පදිංචි පහලොස් හැවිරිදි ලක්මාල් හා දහතුන් හැවිරිදි ප‍්‍රදීප් යන ළමුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වධ දී, ඔවුන්ගේ දෙමාපියන් ගෙන් රු: 3000/= ක කප්පම් මුදලක් ලබා ගැනීම යන චෝදනා මූලික කරගෙනය.

2004 වූ මෙම සිදුවීම අදාලව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශණයක් කරනු ලදුව, එහි නිර්දේශ 2009 වසරේදී නිකුත් කරනු ලැබීය. එ් දීර්ඝ අරගලයකින් පසුවය. එම නිර්දේශයට අනුව, එවක අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකට, 
රු: 2500/= ක්ද, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හා පො.සැ.1999 ට රු: 5000/= බැගින්ද, වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය. නමුත් එම නිර්දේශය මෙම තිදෙනා ක‍්‍රියාත්මක කළේ නැත.

මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාව, පොලිසිය පහර දීමෙන් අනතුරුව, බලපිටිය මූලික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින තුනක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදෙන ලදි.නමුත්, එම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී - මෙම ළමුන් දෙදෙනාට තුවාල කිසිවක් නොමැති බවට සටහන් කර අධිකරණ වෛද්‍ය පෝරමය නිකුත් කිරීමට පියවර ගන්නා ලදි. 

මෙම කාරණය සැලකිල්ලට ගත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම ළමුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කොට, දෙවන වෛද්‍ය වාර්තා ලබාගැනීමට පියවර ගනු ලැබීය.

ජාතික පොලිස් කොමිෂම හා ළමා ආරක්ෂක අධිකාරිය, මෙම ළමුන් දෙදෙනාව වධහිංසාවට පත් කිරීම හා අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කරන ලෙසට, ලිඛිතව පොලිසියට දැනුම්දීම් කිරීම් පමණක් සිදුකරනු ලැබීය. එදත් අදත් මෙම ආයතන දෙකේ ක‍්‍රියා පිළිවෙත්හි වෙනසක් නැත.

මේ අතර, පොලිසිය අදාල නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. නමුත් එම විනය පරික්ෂණවල ප‍්‍රථිඵලය - මෙම වින්දිතයින් දෙදෙනාට මේ දක්වාම දැනුම් දී නොමැත.

මෙම පසුබිම් යටතේ, 2016.03.24 දින, ලක්මාල් ගේ හා ප‍්‍රදීප්ගේ නිවසට පැමිණි පොලිස් විශේෂ විමර්ශණ එ්කකයේ ජයන්ත නැමැති නිලධාරියා හා පො.සැ.1999 සිරිකුමාර, 2016.03.29 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ පෙනී සිටින ලෙසට වාචිකව දැනුම් දෙන ලදි. 

වාචික උපදෙස් මත අධිකරණයේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව ලක්මාල් හා ප‍්‍රදීප් ඔවුන්ට දැනුම් දෙන ලදි. 

එ් අවස්ථාවේ රු: 5000/= ක් අරගෙන සමාදාන වන ලෙස පො.සැ.1999 සිරිකුමාර ඔවුන් දෙපලට යෝජනා කළේය. තවද, මේ වන විට අපරාධ අංශයේ ස්ථානාධිපති මියගොස් ඇති බවත්, තමන් පහර දුන්නේ අරක්කු බෝතලයට යටවී බවත්, පවසමින්, රු: 5000/= ක් අරගෙන සමාදාන වීමට කැමැත්ත ප‍්‍රකාශ කරන ලෙසට ආයාචනා කර තිබේ. තවද කළ පවට තමන්ට දැනටමත් ප`ඩිසංදි ඇති බවද කියා තිබේ.

එ් අවස්ථාවේ ලක්මාල් තමන්ට හා පහර දුන් ආකාරය සහ එයින් අනතුරුව, ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සමග එක්ව තමන්ට හා පවුල් වලට තර්ජණය කිරීම, පොලිස් ජීප් එකෙන් බලපිටිය උසාවියේ වැඩ කරන කාල්ටන් නැමැති නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් දිවුරුම් ප‍්‍රකාශ වලට අත්සන් කර ගැනීම් ආදි, පොලිස් බලය උපායා්ගි කරගෙන සිදුකළ නොපමත්කම් සිහිපත් කර තිබේ.

ලිඛිත දැනුම් දිමක් නැතිව 2016.03.29 දින අධීකරණයේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, 2016.03.27 දින, පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩයක් මගින්, මොවුන්ට 2016.03.29 බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කරනු ලැබීය.

පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩය අයුතු බලපෑම් කිරිමට යොදා ගත් එකක් බව පැහැදිලි වු වද, එම දැනුම් දීමට අනුව, 2016.03.29 දින බලපිටිය මහේසත‍්‍රාත් අධිකරණයටලක්මා,ප‍්‍රදීප් හා මව්වරුන් ගොස් ඉදිරිපත් වුයේ, තම ස්ථාවරය අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කිරිමටය.

අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් පැමිණි ජයන්ත නැමැති නිලධාරියා හා නීතිඥවරුන් කිහිප දෙනෙකු, මුදල් අරගෙන සමාදාන වීමට කැමැත්ත පල කරන ලෙසට , ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් ඉල්ලා සිටියේය.

නඩුව කතාකල අවස්ථාවේ, පො.සැ.1999 සිරිකුමාර වෙනුවෙන්, නීතිඥවරු 10කු පමණ නැගිට ඉදිරිපත් වන ලදි. එම නිතිඥයින් , සමාදාන වීමේ යෝජනාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එ් පිලිබඳව අධිකරණය ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් විමසූ අවස්ථාවේ සමාදාන වීමකට තමන් එකඟ නැති බව, නිතිඥ සහයකින් තොරව, තනිව ම ඉදිරිපත්ව අධිකරණයට කියා සිටින ලදි.

පො.සැ.1999 සිරිකුමාරට ඇප නියම කල අධිකරණය, නඩුව සැප්තැම්බර් 28 දිනට කල් තබනු ලැබීය. පො.සැ.1999 සිරිකුමාර අධිකරණ කටයුතු වල නිරතවන බව ට වාර්තාවේ. 

2004 සිට 2016 දක්වා යුක්තිය උදෙසා බලාපොරොත්තු තබාගෙන සිටි, ලක්මාල් හා ප‍්‍රදීප්  දෛනිකව මුහුදු යන ධීවරයින්ය. මේ වන විට ලක්මාල් එක්දරු පියෙකි. ප‍්‍රදීප් දෙදරු පියෙකි. 

මේ නඩුව මොන අන්දමට නිමවේද යන්න පිළිබඳ අනාවැකි කියන්නට බැරිය. නමුත් අවම වශයෙන් තවත් වසර 12 ක් වත් මෙහි නිමාව දකින්නට ලක්මාල් හා ප‍්‍රදීප් සූදානම් විය යුතුය.

කුමන තත්වයක් යටතේ වුවද, කුමන තරාතිරමේ නීච නිවට ‘‘උගත්’ වෘත්තිකයින් සිටියද, එ් සියල්ල පරාජයට පත් කිරීමට, ආත්ම ගරුත්වය තිබෙන නිර්ධනයින්ට අවකාශයක්  තිබෙන බවට ඔප්පු වු තවත් අවස්ථාවකි මෙය. 

එමෙන්ම, නීතිය කඩා වැටුනු රටක, ‘‘අයිතිවාසිකම්’’ බඩගෝස්තරය කරගත් උගතුන්, වෘතිකයින් පිලිබඳව හෙළිකරන තවත් එක් උදාහරණයක් පමණි මේ.

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ආරම්භවු මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය, එනම් ලක්මාල් හා ප‍්‍රදිප්ට ආරක්ෂා සැලසීම බලධරයින් ගේ වගකීම වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් මානව හමිකම් කොමිසම ට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

Monday, March 28, 2016

කලුතර යුනිට් එකේදි පුතාට වධ දුන්නා.මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නාම උසාවියට ඉදිරිපත් කලා

.
Sryani mother of Ramesh

 " මංකොල්ලයකට සැකපිට වැලිපැන්න පොලිසියට බාරදුන්න තම පුතා රමේෂ් ව, කලුඵතර පොලිස් අධීකාරී කාර්යාලයේ තියෙන යුනිට්” එකට බාරදී, ඔහුට අමානුෂික ලෙසට පහර දෙන්නට වුනා. බෝම්බ දමා උසාවි දාන බවට තර්ජණය කරන්නට වුනා. ඒ 25 දා.

මම මානව හිමකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකය 0112 689064 ට කතා කරලා දැනුම් දුන්නා. එයින් පසුසේ රැම ආයෙත් වැලිපැන්න පොලිසියට බාර දෙන්න "යුනිට්” එක කටයුතු කලා. 

මෙසේ  කියන්නේ පානදුර පිංවත්තේ ශ‍්‍රියානි මහත්මියයි. ඇය තිදරු මවක්.

තම පුතා රමේෂ් ව පසු දින, වැලිපැන්න පොලීසිය 26 රැ 8.00 ට පමණ, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර, රැුඳවුම් නියෝගයක් ලබාගෙන කලුඵතර දකුණ පොලිසියට බාර දුන්නා. 

අප විසින් පුතා වෙනුවෙන් කතා කරන්න නීතිඥ මහත්මයෙක් ඉදිරිපත් කලා. එ් මහතා පසුව අපට දැනුම් දුන්නා, පුතාට ක`ඵතර විශේෂ යුනිට් එකේදී පහර දුන්න බව ප‍්‍රකාශ කල බවත්, ගරු මහේස්ත‍්‍රාත්තුමිය, පුතාව ප‍්‍රථිකාර සඳහා නාගොඩ මහා රෝහලට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කල බවත්.

මේ දක්වාම -28, පුතාව රෝහලට ප‍්‍රථිකාර සදඟා ඉදිරිපත් කර නැත. පුතා ප‍්‍රකාශ කරන්නේ, තවමත් අමාරු බව, තවමත් තුවාල තිබෙන බවයි. පුතා ප‍්‍රකාශ කරනවා, බෝම්බ දාලා නඩුදාන බවට තර්ජණය කරන බව.”

එම පසුබිම තුල ඇය ඉල්ලා සිටින්නේ, කල්ගත වන්නට පෙර, පුතාව රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසට සහ බොරු චෝදනා දමා නඩු පැවරීම් වලක්වාලන ලෙසටය.

කුඩුවලට ඇබ්බැහි වී සිටින පුතාව සුද්ද කරන්න තමා කිසි විටක ඉදිරිපත් නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන මව, වධ දීම හා බොරු නඩු දැමීම නොඉවසන බව ප‍්‍රකාශ කරයි.

මේ වන විට පුතා කුඩු වෙනුවට මග්ගොන පිහිටි ෆාමසියකින් ගන්නා පෙති වගයකට පුරුදු වී සිටින බව ඇය වැඩි දුරටත් කියා සිටී.

තම පුතා, සොරකම්, මංකොල්ලකෑම් වලට මේ වන විට පෙළඹී ඇත්තේ මෙම මත්පෙති භාවිතය නිසා බව ඇය කියා සිටී. ඇයට අවශ්‍ය තම පුතා මෙම මත් උවදුරින් බේරා ගැනීමටය.

ඇය සිද්ධිය අදාලව හා වත්මන් තතත්වය මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට හා පොලිස්පතිට ලිඛීතව පැමිණිලි කර තිබේ. 

Wednesday, March 23, 2016

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

පියා හා මව

පොලිසිස්  නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ. 

‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු.....   ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා. 

අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. 

සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. 

පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා. 

අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.

මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා. 

සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.

පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා. 

අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා. 

21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.

22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.

ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. 

දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ  ළමා නිවාසයේ.’ 

ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –

තම  පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,
ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.

පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ. 


Wednesday, February 3, 2016

පවුම් පහක් බැරිනම් දෙකක දීපන්. තම්බිලා ඔක්කොම හොරු. කප්පම නොදුන්න නිසා, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැම්මා.



මෙහි සඳහන් කරන්න බැරි කුණු හරප කියමින්, රත්තරන් වළලූ පහක් ඉල්ලා සිටියා. උඩ ඇඳුම් ගැලෙව්වා. දණ ගැස්සුවා. 

මෙසේ ප‍්‍රකාශ කරන්නේ මොරටුව ‘‘රෝම් ජුවලර්ස්’’ අයිතිකරු මොහමඞ් නවුෆර්. ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ, මෙසේ සඳහන් කර තිබේ.

‘‘ 2016. 01. 30 දින පස්වරු 02.30 ට පමණ සිවිල් ඇඳ්මින් මෙරටුව පොලීසියේ හතර දෙනෙක් ව්‍යාපාරික ස්ථානයට පැමිණියා. ඔවුන් සමග සතියකට පමණ පෙර සාප්පුවට පැමිණි පුද්ගලයෙකු සිටියා. ඔහු මාව පෙන්නා, රත්තරං බඩු වික්කේ මට බව කිව්වා. මා එ් බව පිළිගෙන ඔහු ගෙන් මිළයට ගත් රිදි ආභරණ කිහිපය, පොලීසියට පෙන්නා සිටියා. පොලසිය එම ආභරණ රැුගෙන බෝතලයකට දමා ගත්තා. එම ආභරණ අතර තිබු රිදි සාරි කටුව කොළයක ඔතා ගත්තා. මා මිළදි ගත් රිදි භාණ්ඩ හා ඉමිටේෂන් මාලයට ලබාදුන්න රිසිට් පතේ පිටපත එම නිලධාරින්ට පෙන්වා සටියා. එම පැහැදිලි කිරීම් පිළිනොගෙන, මාව අත්අඩංගුවට ගෙන මොරටුව පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. එ් වන විට වේලාව පස්වරු 02.30ට පමණ ඇති. රාත‍්‍රි 12ට පමණ මාව කූඩුවෙන් එළියට රැුගෙන අපරාධ අංශයට ගෙන ගියා. එහි දි මට කූණුහරප කියමින් බැන වඳිමින්, මා හැඳ සිටි ෂර්ට් එක හා බැනියම ගලවන්න කියා බල කලා. මා ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සේ දණ ගැස්සුවා. මට මෙහි සඳහන් කරන්න බැරි කුණු හරප කියමින්, මගෙන් රත්තරන් වළලූ පහක් ඉල්ලා සිටියා. මා පුන පුනා කියා සිටියා මා එම පුද්ගලයාගෙන් ලබා ගත්තේ රිදි ආභරණ පමණක් බව. එවිට මාව මුදාහැරිමට පවුම් පහක් දෙන ලෙසට ඉල්ලා සිටියා. මා ඔවුන්ට කියා සිටියා නොලත් දෙයක් දෙන්නට විදියක් නැති බව. එවිට පවුම් පහක් බැරි නම් දෙකක් දෙන ලෙසට ඉල්ලා සිටියා. මා එයද ප‍්‍රතික්ෂේප කළා. එවිට මට පාඩමක් උගන්වන බව ට, සාප්පුව කරගෙන යෑමට ඉඩ නොදෙන බවට තර්ජනය කර නැවත කුඩුවට ගෙනහින් දැම්මා. එසේ කුඩුවට දාන කොට මාව දවස් 14කට රිමාන්ඞ් කරවන බව කියා සිටියා. පසුදින, 2016. 01. 31, පස්වරු 02.30ට පමණ, වැඩ බලන මහෙස්ත‍්‍රාත් තුමා ලඟට ගෙන ගියා. මාව රු:-25,000/-ක  ශරිරි ඇපයක් මත මුදා හැර, 2016.02.01 දින මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පෙනීසිටින ලෙසට නියම කරනු ලැබුවා.
මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය මට වැඩ බලන මහෙස්ත‍්‍රාත් නියම කළ රු.25,000/- ශරිර ඇපය, රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කළා. මිළඟ නඩු දිනය 2016.02.15 වේ. නඩු අංකය බි.ආර්.209/16 වේ’’.
ඔහු ඉල්ලා සිටින්නේ, තමා නිත්‍යානුකුලව කරගෙන යනු ලබන ව්‍යාපාරය/රැුකියාව අවහිර තාවයකින් හා තර්ජන වලින් තොරව කරගෙන යෑමට ඉඩ සලසන ලෙසට, නිති විරෝධිව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, කප්පම් ලබා ගැනිමට උත්සහ කළ හා බොරු නඩු දමන ලද මාරටුව පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය. 

දැරියක් දුෂණය කළ බවට චොදනා ලැබ සිටින රැුඳවියකුට ක`ඵතර බන්ධනාගාර නිලධාරින් අමානුෂික ලෙස පහරදෙයි


තම සැමියාට බන්ධනාගාර නිලධාරින් අමානුෂික ලෙසට පහර දෙන බවට චොදනා කරන බිරිඳ, චොදනා ඔප්පු වුනත් ශාරිරික වධදීමට බන්ධනාගාර නිලධාරින්ට අයිතියක් නැති බව පෙන්වා දෙයි.

බාලවයස්කාර තරුණියක් දුෂණය කළ බවට වන චොදනාවකට, තම සැමියාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් 2016.01.30 වන දින, රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබු බව ප‍්‍රකාශ කරන චාන්දනී මිය, ඔහුට බන්ධනාගාර නිලධාරීන් අමානුෂික ලෙසට පහරදි ඇති බව පැමිණිලි කර සිටි.

ඇය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට, මානව හමිකම් කොමිසමට හා පොලිස්පතිට පැමිණිලි කරමින් ඉල්ලා සිටින්නේ පහර දීම වහාම නතර කරන ලෙසට, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඉදිරියට පමුණුවා වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසට හා පහර දුන්න බන්ධනාගාර නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

යම් වරදක් කළ බවට චොදනා ලැබුවන්ට, එනම් සැකකරුවන්ට වධ දීම යුක්තිසහගත කිරිමට සහ එ් ගැන සතුටුවීමට බහුතරය පුරුදු වි සිටිති. චොදනාව කුමක් වුවත්, දඬවම නියම කිරිමේ වගකිම අධිකරණය සතුය. රිමාන්ඞ් භාරයට පත්කිරිම දඬවමක් නොවේ. අධිකණය වරදකරු කොට බන්ධනාගාර ගත කරනු ලැබුවන්ට ද ශාරිරික දඬුවම් පැමිණවීමට බන්ධනාගාර නිලධාරින්ට සිදු කල නොහැක.  

Sunday, January 31, 2016

හෙලූවෙන් තියලා ගහලා, ගහලා, දෙකට නවලා ගුද මාර්ගයත් පරීක්ෂා කලා.


පානදුර දකුණ පොලිසියේ ටෙරන්ස් නැමැති නිලධාරියා හා තවත් අයෙක්, පාරේ යමින් සිටි තරුණයෙකුට පහරදී, ජීප් රථයේ දමාගෙන පොලිසියට ගෙනවිත්, එහි බැරැුක්කයට දමා නිරුවත් කොට පහර දීම හා ඉන් අනතුරුව ගංජා ග‍්‍රෑම් 10ක් එක්ක උසාවියට දැමීම පිළීබඳව කතාවකි මේ.
මේ දක්වාම පොලිසිය ශීලාචාර එකක් කරන්නට රජයට බැරිවී ඇත. පොලිසිය බාර ඇමතියෙක් ඇත. ඔහුද පොලිස් මාද්‍ය ප‍්‍රකාශකයාට නොදෙවෙනිය.
පොලිස් කොමිෂම පිහිටුවා ඇත. පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කල විට කරන්නේ, පැමිණිලි කල අයට පෝරම එවීමය. පරීක්ෂණ නැත. ආචාර්ය මහාචාර්යවරු ලිපිගොනු අරිමින්, ලියුම් එහාට මෙහාට යවමින් සිටිති.
මාධ්‍යට ඇවිත් බණ කියති. ඇත්ත කතා කරන්නේ නැත.
මෙය තහවුරු කරන, විදුවංශ ගුණරත්න විසින් පොලිස් කොමිෂමට, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට කර තිබෙන ලිඛීත පැමිණිල්ලෙන් පැහැදිලි වේ.
මෙම පුද්ගලයාව, පානදුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුනත් එසේ කර නොමැත. උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහුට නීතිඥ සහායවත් ලබා ගැනීමට ඉඩ තිබී නැත.
පොලිස් අපරාධ නවත්වා, දුෂණ හා අක‍්‍රමිකතාවන් අවම කර, අපරාධ මර්ධනය කිරීමට, කළ යුතු කාර්යයන් නීති පොතේ ඇත. එ්වා නීති පොතට සීමාවී ඇත. ජනතාව දැනුවත් නැත.
යහපාලනය යනු සටන්පාඨයක් නොවේ.භාවිතයයි. යහපාලනය ඇති කරන්න අත්‍යවශ්‍ය වන එක් කොන්දේසියක් දුෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර පොලිසියක්, උසාවියක් රටේ ඇති කිරීම.
විදුවංශ ගුණරත්න වයස අවු: 23 ය,ි විවාහක, දරුවන් 01 යි, රැුකියාව වඩු කාර්මික ශිල්පී.  ඔහු ලිඛීතව  මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට, පොලිස්පති ට, කරන ලද පැමිණීල්ල ට අවධානයට යාමු කරන්න. 

‘නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, ව්‍යාජ චෝදනා නගා  රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

2016.01.30 වන දින දීය.

2016 ජනවාරි 26 දින දහවල් 12.15 ට පමණ, මා බෙක්කේගම මිතුරකු හමුවීමට යන අතර, බෙක්කේගම ඉඳිගහ පාරේ ”පුෂ්පා” නැමැත්තිය විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැල ඉදිරිපිට දී, මා අසල පානදුර දකුණ පොලීසියේ ජීප් එක නැවැත්තුවා. 

සිවිල් ඇඳුමින් සිටි නිලධාරියකු එම ජීප් රථයෙන් බැස මා අසලට පැමිණ, එදා ගෙනාපු බයික් එක (යතුරුපැදිය) කෝ කියා මාගෙන් ඇසුවා.

මම ඔහුට කිව්වා, එ්ක අයිතිකාරයා ගෙනිච්චා කියා. එ් සමගම මූ ළඟ ගංජා තියෙන්න  ඕනි කියා, මට පහර දෙමින් මාව සෝදිස්සි කරන්න පටන් ගත්තා.

මම ඔහුට කිව්වා, මම කලිසම ගලවලා හරි පෙන්නන්නම් සාක්කුවලට අත දාන්න එපා කියා.

එවිට, ජීප් එකේ ඉදිරිපස අසුනේ වාඩි වී, නිල ඇඳුමින් සිටි අපරාධ අංශයේ පො.ප. ටෙරන්ස් නැමති නිලධාරියාට කිව්වා සර් මූ චෙක් කරන්න දෙන්නේ නෑ කියා.

ඔහු ජීප් එකෙන් බැස මා අසලට පැමිණ පහර දී, බලයෙන් මාව ජීප් රථයට ඇද දමා ගත්තා.

ජීප් එකේ ෂීට් එකේ වාඩි වෙන්නට දුන්නේ නෑ. බිම දමා පහර දුන්නා. මෙසේ පහර දුන්නේ සිවිල් ඇඳුමින් සිටි නිලධාරියා.

ඔවුන් දෙන්නා මට පහර දුන්නේ මූනෙන්, කොණ්ඩයෙන් ඇද බෙල්ල කරකවා.

ඉන්පසු පානදුර දකුණ පොලීසියට ගෙන ආවා. ජීප් රථය ඇතුලූ කළේ පිටුපස ගේට්ටුවෙන්.

ජීප් එක පොලීසිය ඇතුළට අරගෙන, මාව බිමට දාලා යළිත් පහර දුන්නා. එතනදී මගේ ෂර්ට් එක ගලවලා එ්කෙන් අත් දෙක බැන්දා. ඊට පස්සෙ මට පහර දෙමින් පොලීසියේ උඩ තට්ටුවට ගෙන ගියා. මාව ගෙන ගියේ එම තට්ටුවේ වැසිකිලිය අසල තට්ටු ඇඳන් තිබුණ තැනට. මට ඇඳුම් ගලවපන් කියමින් ගැහැව්වා. මම ඇඳුම් ගැලෙව්වා. සම්පූර්ණයෙන්ම නිරුවත් කළා.

එහිදී මගේ කොණ්ඩය අල්ලා බිම දමා බෙල්ල කරකවමින් පයින් ගහන්න පන් ගත්තා. එහෙම ගහන අතර පො.ප. ටෙරන්ස් පොල්ලක් අරගෙන ඇවිත් මගේ අත්වලට, කකුල්වලට, බෙල්ලට, ඇඟට ගහගෙන ගියා. ටික වේලාවකින් කකුල් දෙක උඩ නැගලා යටිපතුල්වලට ගැහුවා. ඉන්පසු පොල්ල සිවිල් ඇඳ සිටි අයට දීලා යන්න ගියා. ඔහු පොල්ල අරන් පෙර විදියටම මට පහර දුන්නා. පැය භාගයක් විතර ගැහැව්වට පස්සෙ, මාව නැගිට්ටවලා දෙකට නවා මාගේ ගුද මාර්ගය පරීක්ෂා කළා.

එසේ මට පහර දෙන විට, එතනට පැමිණි ප‍්‍රභාත් නැමති නිලධාරියා, මට පුටුවක වාඩිවෙන්න දුන්නා. මම නිරුවතින්ම පුටුවේ වාඩි වුණා. ඔහු මාගෙන් විස්තර ඇසුවා. මම කිව්වා.

එසේ කථා කරන අතර, මට දිගටම පහර දුන් තැනැත්තා මගේ කොණ්ඩෙන් අල්ලා පුටුවේ ඇන්දට තබා නවා, බෙල්ලට, පපුවට ගැහුවා.

පැයකට පමණ පසුව, මට ඇඳගන්න කියා බංකුවක වාඩි කෙරෙව්වා. විනාඩි 20 කින් පසුව කූඩුවට ගෙනත් දැම්මා.

කූඩුවට දාන්න හදනකොට රිසව් එකේ නිලධාරියා මාව කූඩුවේ දාන්න බෑ කිව්වා. එවිට මට පහර දුන්න නිලධාරියා ඔහුට කිව්වා, උඹට වැඩක් නෑ, ටෙරන්ස් මහත්තයා කිව්වේ කියා.

සවස 3.30 ට පමණ සිවිල් පිට සිටිමින් මට පහර දුන්න නිලධාරියා පැමිණ, මගේ නමයි ලිපිනයයි අසා ලියාගෙන ගියා.

මු`ඵ රාත‍්‍රියේම මම වේදනාවෙන් කූඩුවේ හිටියා. මාව බලන්න මගේ පවුලේ උදවිය හා මිත‍්‍රයින් පැමිණියා. මම ඔවුන්ට සියලූ විස්තර කිව්වා.

පසුදින උදේ (2016 ජනවාරි 27) උසාවි යන සාජන්වරයා පැමිණ, මගේ නම ලිපිනය අසා පොතක ලියාගෙන ගියා. 

උදේ 10.30 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. ත‍්‍රීරෝද රථයකින්    මාව සහ තවත් දෙන්නෙක් ගෙන ආවා.

ත‍්‍රීවිල් එක පාරේ ගිය එකක්. උසාවිය ට ගෙන එන අතරේ පොලිස් සැරයන්වරයා මට කිව්වා, මට විරුද්ධව ගංජා දාලා තියෙන්නේ, නිවරුදිකරු කිව්වොත් අඩු ගානේ දවස් දාහතරකටවත් ක`ඵතර යවාවි, එ් නිසා වැරදිකාරයා කියා පිළිගනින්, තුන් හාරදාහක දඩයක් ගහවි, ගෙවන්න බැරි නම් ප‍්‍රජා සේවයට දාලා දෙන්නම් කිව්වා.

කූඩුවට නැග්ගාම, මගෙන් නඩුකාරතුමා ගංජා ග‍්‍රෑම් 10 ක් ළඟ තබා ගත්තාට වැරදිකරු ද, නිවරුදිකරු ද කියා විමසුවා. පොලිස් සැරයන්වරයාගේ උපදෙස් අනුව මම වැරදිකරු බව කිව්වා. මට නීතිඥ උපදෙස් ගන්නවත් අවස්ථාව තිබුණේ නැහැ.

මට රුපියල් හයදාහක දඩයක් නියම කළා. දඩය ගෙව්වා.

නඩු අංකය: 34911, දිනය 2016.01.27, ලදුපත් අංකය: 0- 381154.

අධිකරණයෙන් පිට වූ මා, ගෙදර ගියා. රාත‍්‍රියේ අමාරු වුණා. පසුදින 2016.01.27 උදේ පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා පැමිණියා. මාව පළවෙනි වාට්ටුවට ඇතුළත් කළා. මට පොලීසියෙන් පහර දුන්න බව කිව්වා. 

රෝහල් පොලීසිය මට බලපෑම් කළා. නඩු අවශ්‍ය නැති බව කියමින් ඔවුන් මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළේ නෑ. 2016.01.29 දින ටිකට් කැපුවා. මට හොඳටම අමාරුයි. මම නැවත රෝහල්ගත වනවා.

මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ, (1) අපරාධ අංශයේ ස්ථානාධිපති, ටෙරන්ස් නැමති අයට, (2) සිවිල් ඇඳුමින් මට වධ දුන් අයට (දුටුවොත් හඳුනාගත හැකිය) යන අයට එරෙහිව, (අ) නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, (ආ* නීති විරෝධීව රඳවා තබා ගැනීම,
(ඇ) ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම, (ඈ) වධ දීම, කෲර අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට පාත‍්‍ර කිරීම අදාල නීතිමය පියවර ගන්නා ලෙසටය.

ඉහත සියලූම තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/විදුවංශ ගුණරතත්න’’


Saturday, January 30, 2016

පොලිස් බැලයන්ගේ පාහර ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි.


ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රරචාරක කාර්යාලයක් රාජපක්ෂ බැලයන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. ඒ 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී ය. 

තංගල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ මෙම කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම පිළිබඳව පැමිණිල්ල, පක්ෂ ක‍්‍රියාකාරීන් වූ කුමාර වාහලතන්ත‍්‍රී හා ඩැනිස්ටර් ගුණසේකර විසින් තංගල්ල පොලීසියට කරණු ලැබීය. 

පොලීසිය රාජපක්ෂ බැලයන්ට එරෙහිව පියවර ගත්තේ නැත. ගුණසේකර මෙම ගිනි තැබීමට විරෝධය පළ කිරීම සඳහා, පිළිස්සුන කාර්යාලය ඉදිරිපිට බැනරයක් දැම්මේය. 

එහි සඳහන් වූයේ ”මහ ජරා රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?” යනුවෙනි.

තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග හා පොලිස් පරීක්ෂක සුවාරිස් දින දෙකකට පසුව, බිරිඳ සමග යමින් සිටි ගුණසේකරව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කරණු ලැබීය.

එ් සමගම ජ.වි.පෙ. බැනරය ද කපා ඉවත් කරන ලදි. 

ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා තංගල්ල පොලීසියේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරණු ලැබීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12), 13(1) හා 14(1) ආ වගන්ති උල්ලංඝණය කිරීම මගින් තම මූලික අයිතීන් කඩකරන ලද බව පෙත්සමෙන් ප‍්‍රකාශ විය.

නීතිඥ පුලස්ති හේවාමාන්න සමග නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

නඩුවේ වගඋත්තරකරුවන් වූ තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග, පොලිස් පරීක්ෂක සුවාරිස්, පොලිස්පති හා නීතිපතිි වෙනුවෙන්, නීතිපති නියෝජනය කරමින් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ දීපිකා හෙට්ටිගේ පෙනී සිටියේය.

2009 පවරන ලද නඩුවට අදදාලව, පෙත්සම්කරුවන් වූ ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ 2012 මාර්තු මසය. පොලිස්කාරයන් වෙනුවෙන් රජයේ නීතිඥවරිය ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ වසරකුත් මාස හතරකට පසුව 2013 ජූලි මසය.

2015 අගොස්තු මස නඩුව විභාගයට ගැනුණු අතර, 2015 මාර්තු මස තීන්දුව ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

තංගල්ල පෙලිස් ස්ථානාධිපති කාලිංග හා පො.ප. සුවාරිස් ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනාගේ මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවට තීන්දු කරණු ලැබීය. 

මෙම තීන්දුව මගින් ආණ්ඩුව විවේචනය කරමින් බැනර් ප‍්‍රදර්ශනය මූලික අයිතිවාසිකමක් බවට, එය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බව යළිත් වරක් තහවුරු කළේය.

මීට පෙර අවස්ථා ගණනාවක දී පොලීසිය පාලකයන්ගේ වුවමනා එපාකම් ඉටුකරන්නට නීතිය උල්ලංඝණය කිරීම, අධිකරණයේ දෝෂදර්ශනයට ලක්ව තිබීම.

මෙම නඩුවේ තීන්දුවෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, භාවිතය පිළිබඳ පැහැදිළි කර, පොලිස් නීති විරෝධී ක‍්‍රියා දෝෂදර්ශනයට ලක් කරණු ලැබ තිබුණේ, පොලීස් නීති විරෝධී ක‍්‍රියාවන්ට රජයේ (ආණ්ඩුවේ* වගකීම අවධාරණය කරමින්ය.

එ් අනුව,

නඩුවේ දෙවන පෙත්සම්කරු වූ ගුණසේකරට, රු: 20,000/- ක වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කෙරිණ.

පොලීසියේ සියලූම නීති විරෝධී ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි. එම නිසා නීති ගරුක පොලීසියක් බිහි කිරීම, නීති උල්ලංඝණය කරන, ¥ෂිත පොලිස් කාරයින්, ලොකු කුඩා භේදයකින් තොරව දඬුවමට ලක් කිරීම ආණ්ඩුවේ වගකීමයි.

වැරදි කරන අපරාධ කරන පොලිස්කාරයන් වෙනුවෙන් මහජන මුදලින් වන්දි ගෙවීම ද අපරාධයකි. 

සම්පූර්ණ නඩු වාර්තාව සඳහා පිවිසෙන්න.


Friday, January 29, 2016

”හු.... ති යන්’’ ගෙන් කරදරලූ. පුතාව ගෙනත් නොදුන්නොත් අල්ලගෙන ඇවිත් බෝම්බ දමනවාලූ.


හුලං මෙට්ටයක් සොරකම් කල බවට කරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන, අසල්වැසි තරුණයෙකුට බොරු නඩු දාන්න ගන්නා උත්සාහයක් පිළිබඳවයි  මේ.

ඉරේෂා - පොලිසිය සමග ඇයි හොඳයි දක්වන තැනැත්තියකි. ඇගේ නිවසේ තිබූ හුලං මෙට්ටයක් නැතිවූ බවට ඇය ෙදාඩංගොඩ පොලිසියේ පැමිණිල්ලක් කරනලදි.

අල්ලපු ගෙදර අය නිතර තම නිවසට එන නිසා, ඔවුන් පිළිබඳව සැකයක් ඇති බව - ඇය පොලිසියට කියා තිබින.

ෙදාඩංගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක සිවිල් ඇඳුමින් තවත් පොලිස්කාරයින් දෙන්නෙක් එක්ක, අසල්වැසි පද්මිණී ගේ නිවසට පැමිණ, ගේ සෝදිසි කළේය.

හුලං මෙට්ටය හමුවූයේ නැත. පද්මිණීටත්, 21 හැවිරිදි පුතාටත් පසුදින පොලිසියට එන ලෙසට නියම කල අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක යන්න ගියේය.

පොලිස් අණට කීකරුව ඇය පුතාවද කැටුව පොලිසියට ගියේය. ඉරේෂා ද පැමිණ සිටියේය.

හුලං මෙට්ටය ගෙදර තියෙන බව ඉරේෂා පොලිසියට කිව්විට, දෙපාර්ශවයට පිටව යන ලෙසට ස්ථානධිපති ගුණතිලක නියම කළේය.

දිනකට පසුව, රාත‍්‍රියේ, පද්මිණී ගේ ගෙදරට පැමිණි ෙදාඩංගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් පසුදින පැමිණ පද්මිණිටපොලිසියට එන ලෙසට නියම කරනු ලැබීය.

ඇය පැමිණිලිකාරිය වූ ඉරේෂා ද කැටුව ගොස් ස්ථානාධිපති ගුණතිලක හමුවිය.

හුලං මෙට්ටය හමුවී ඇති නිසා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න අවශ්‍ය බව ඉරේෂා ස්ථානාධිපති ගුණතිලකට පැවසීය.

මේක ඇසු සථානාධීපති ගුණතිලක මේ ”හුත්තියන් දෙන්නාගේ කරදරය” යයි කියා පොලීසියෙන්  පන්නා දමන ලදි. 

එ් අතර, පද්මිණිට සිය, පුතාව පෙලීසියට බාර දෙන ලෙසට නියම කළේය. එසේ නොකලොත් අල්ලාගෙන ඇවිත් බෝම්බ දමන බවට තර්ජණය කරමිණි. 

ස්ථානාධිපති ගුණතිලක ට හුලං මෙට්ටයට නඩු දාන්න බැරිය. මන්ද, නඩු භාණ්ඩය උසාවියට බාරදී නැත. ඉරේෂා ගංජා විකුණන තැනැත්තියකි. කිහිප වරක්ම සිරගතව  සිටින්නියකි. ඇය පොලිසිය සමග කු`ඵපගුය. ස්ථානාධිපති ගුණතිලකට අවශ්‍යව ඇත්තේ, ඉරේෂාගේ ගංජා මෙම තරුණයාට පැටලවීමටය.

මේ පාහර ක‍්‍රියාව - සෑම පොලිසියක්ම සිදු කරයි. ප‍්‍රජා පොලිසි ගැන කතා කරන්නන් පොලිසියේ පාහර වැඩ කතාකරන්නේ නැත. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය.

පද්මිණි මෙම කරුණු ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම හා පොලිසපතිය පැමිණිලි කරන ඇත.






Thursday, January 28, 2016

පොලිස් අපරාධ වලට වන්දි ගෙවන්නේ මහජනයා.


පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදීම හා මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. ඒ ස`දහා මෙම නඩුවේදි අපරාධයක් පමණක් නොව මුලික අයිතිවාසිකම් කඩකල නිලධාරියා බවට නිගමනය කර තිබෙන පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි නිලධාරියා ජිවතුන් අතර නැතත් ඔහුට විරුද්ධව විනය පියවර ගත යුතු බව අවධාරණය කරමු.

මන්ද ඔහු විසින් සිදුකරන ලද අපරාධයට මහජනතාවට වන්දි ගෙවන්නට ඉඩ දීම මගින් නරක පුර්වාදර්ශයක් පොලිස් අපරාධ කරුවන්ට ලබා දෙන නිසාය.

ජාතික පොලිස් කොමිෂන් සභාව, එහි සභාපති - මහාචාර්ය එස්. හෙටටිගේ,  පොලිස්පති මහතා එන්.කේ. ඉලංගකෝන්,  පොලිස් මානව හිමිකම් අංශය හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අමතමින් ඉහත කරුණු අවධාරණය කරන ජනසංසදය සිය ලිපියේ මෙසේ සඳහනු කරයි. 

‘‘SC/FR 1006/2001දරන උක්ත මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා යන අය වේ. ඔහු විසින්, 2009 12.29 වන දින එවක මීරිගම පොලිස් ස්ථානයේ සේවය කළ,

1.සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ගෝතමී රණසිංහ, 2.රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි හා 3.උ.පො.ප. මිලින්ද පේ‍්‍රමනාථ කුමාරරත්න යන නිලධාරින්ට එරෙහිව පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ, 2015.12.15 දිනැති තීන්දුව ප‍්‍රකාර දැනට ජීවතුන් අතර නැති, පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12(1) වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර තිබේ.
එ් අනුව, පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා ට, රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කර තිබේ. එම ගෙවීමේ වගකීම පොලිස්පතිට පවරා තිබේ.

මෙම තීන්දුවෙන් ප‍්‍රකාශ වන්නේ පොලිස් නිලධාරීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන විට එහි වගකීම මහජනතාව වෙත පැවරෙන බවයි. රජය වෙනුවෙන් පොලිස්පති වගඋත්තරකරුට වන්දි ගෙවන්නේ මහජන මුදලින්ය. 

පොලීසිය නීතිගරුක කිරීමේ සෘජු වගකීම් දැරිය යුත්තේ පොලිස්පතිවරයාය. සමස්ථයක් වශයෙන් පොලීසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියා අවම කිරීමටවත් හැකියාවක් හෝ ඔනෑ කමක් ඔහු ඇතුලූ පොලීසියේ ඉහළ නිලධාරීන්ට නැත. එයට එකම හේතුව එම නිලධාරීන් ද නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙන නිසාය.’’ 

මෙම තත්ත්වය වෙනස් කර මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. එම වගකීම මහජනතාව පීඩාවට පත් නොකර ඉටු කරන මෙන් ද, මෙම නඩු තීන්දුව හා සමාන මෑතක ලබාදුන් නඩු තීන්දු පිළිබඳව මහජන කථිකාවක් ආරම්භ කරන ලෙසට ද ඉල්ලා සිටින පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටි.

Wednesday, January 27, 2016

මානව හිමිකම් කොමිෂම පොලිස් වධකයින් රැක්කේ මෙහෙමයි.


15 හැවරිදි සිසුවකුට වධදුන්න යටවත්ත පොලිසියේ පොලිස් කාරයින් තිදෙනෙකු ව රකින්න පසුගිය කාල පරිචේඡුයේ කොමිෂම ක‍්‍රියා කර තිබෙන ආකාරය ගැන වත්මන් කොමිෂම වෙත ලිඛිතව කරුණු දක්වන ජනසංසදය, ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි.
සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මිය අමතන ලද සම්පුර්ණ ලිපිය පහත දක්වමු.

2016.01.27 දින.

ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය, සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව.         

පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු්

පැමිණිලිකාරිය :- එච්.එම්.වයි. කුමාරිහාමි මිය, යටවත්ත, මාතලේ 

වගඋත්තරකරුවන් :- මාතලේ, යටවත්ත, පොලීසියේ, පො.සැ. ඩග්ලස් ඇල්ලෙපොල, පො.සැ. බණ්ඩාරනායක, පො.සැ. හෙට්ටිආරච්චි හා ආර්. නිශ්ශංක ස්ථානාධිපති.
                     
සිද්ධිය සංක්ෂිප්තව :- පැමිණිලිකාරිය, එච්.එම්.වයි. කුමාරිහාමි මිය තනි මවකි. දැනට වයස අවුරුදු 62 යි. ඇගේ එකම දරුවා, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න දැනට වයස අවුරුදු 18 යි.

2011 ජුනි 30 වන දින,  ඒ වන විට, මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි, 15 හැවිරිදි එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ව, යටවත්ත පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු පැමිණ, අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, යටවත්ත පොලීසියට ගෙන ගොස් රඳවා තබාගෙන වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.  

එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න, තමන්ට වධහිංසා පැමිණවීම අදාලව අධිකරණයේදී, කරන ලද ප‍්‍රකාශය අනුව, ගරු මහේස්ත‍්‍රාත්තුමිය ඔහුව මාතලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරණු ලැබීය.

මාතලේ පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර අධිකරණය වෙත වාර්තා කරණු ලැබීය. එම වාර්තා සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නට වධ දීම අදාලව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලෙසට නීති ආධාර කොමිෂමට නියෝග කරණු ලැබීය.

එම නියෝගයට අනුව නීති ආධාර කොමිෂම 2011 වසරේ ීක්‍රැුත්‍ඍ 578රැු2011 නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරණු ලැබීය. එම නඩුවේ තීන්දුව 2016.01. 16 ප‍්‍රකාශයට කරන ලදි.

ප‍්‍රශ්නය

මෙම සිද්ධිය, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ගේ මව එච්.එම්.වයි. කුමාරිහාමි මිය, 2011.07.20 වන දින ලියාපදිංචි තැපෑලෙන් ඔබ කොමිෂම වෙත ඉදිරිපත් කරණු ලැබීය.

ඔබ කොමිෂමේ පවතින සම්ප‍්‍රදායට අනුව එම පැමිණිල්ල මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලයට යොමු කර තිබිණ. එම කාර්යාලය පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු් යටතේ ලියාපදිංචි කරණු ලැබීය.

ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරියාගේ නියමයෙන් විමර්ශන නිලධාරී එම්.එන්. අපොන්සු විසින් 2011.09.03 දාතමින් එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත ලිපියක් යවමින්, ඇගේ පැමිණිල්ල අදාල කරුණු සම්බන්ධව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කොමිෂමට එවන ලද ලිපියේ පිටපතක්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත යොමු කර, එහි සඳහන් කරුණු ගැන විරෝධතාවයන්/අදහස් දන්වන ලෙසටත්, එ් සඳහා. 2011.09.16 දින දක්වා කල්දෙන බවත් කියා සිටින ලදි. 

මලපොතේ අකුරු නොදන්නා ඇය, එම ලිපිය හා වාර්තා කියවාගෙන පිළිතුරු සැපයීමට කල් ඉල්ලා සිටින ලදි.

එසේ කල් ලබාගෙන ඇයගේ අදහස්, විරෝධතා කොමිෂමට ලිඛිතව දන්වා සිටිනු ලැබීය.

කරුණු එසේ තිබියදි, 2012.05.23 දාතමින් එවක සභාපති වූ ප‍්‍රියන්ත පී.ආර්. පෙරේරා, අතිරේක ලේකම් (නීති* වු  නිමල් පී. පුංචිහේවා හා මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී වූ නිරංජන ඩයස් සුමනසේකර යන තිදෙනාගේ අත්සනින් ‘‘මේ දක්වා විරෝධතා ඉදිරිපත් නොකිරීම යන’’ කරුණු සඳහන් කර පරීක්ෂණ කටයුතු අවසන් කරන බවට දැණුම් දෙන ලදි.

එම තීරණය තුළද, 2012.06.02 දාතමින්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය, සිද්ධියට අදාලව පවරන ලද SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලැබී ඇති බවද කොමිෂමට දන්වන ලදි.

මෙම කරුණ ඔබ වෙත මේ අවස්ථාවේ ඉදිරිපත් කරණුයේ වධහිංසා සම්බන්ධයෙන් තවමත් ඔබ කොමිෂමේ විමර්ශන නිලධාරියකු ලෙසට කි‍්‍රියා කරන නිරංජන ඩයස් සුමනසේකර, එවක සභාපති, අතිරේක ලේකම් (නීති* ඇතු`ඵ කොමසාරිස්වරුන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිලි කිරීමටය.

ඔබ කොමිෂම ගත වූ කාල පරිච්ෙඡ්දයේ වධහිංසා කිරීම් පිළිබඳ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී, වගඋත්තරකරුවන්ගෙන් (වධකයන්ගෙන්* වාර්තා ලබා ගෙන එම වාර්තාවට  උත්තර බඳින ලෙස ට නියම කිරිම හෝ එම වාර්තාව පදනම් කරගෙන නිගමනයට එළඹීම මත විමර්ශනය අත්හිටුවීම ට ක‍්‍රියා කරන ලද්දේ වගඋත්තරකරුවන් ආරක්ෂා කිරීමට හා වින්දිතයාව අපහසුතාවයට/පිඩාවට පත් කරවන්නටය. එය කොමිෂම අනුගමනය කරන ලද පිළිවෙත විය.

මෙම සිදධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පොලීසිය පවරන ලද නඩුවේ සම්පුර්ණ වාර්තාව ගෙන්වා ගැනීමට, අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ගෙන්වා ගැනීමට හෝ පොලිස් ලේඛන පරික්ෂා කිරිමට හෝ අවම වශයෙන් පැමිණිලිකරුවන් ගෙන්වා විස්තර විමසා සිටීමට විමර්ශන නිලධාරීයා ට  අවශ්‍යතාවයක් නොතිබීමය. මෙම ක‍්‍රියා පිළිවෙත මෙම විමර්ශන නිලධාරී ගේ ¥ෂිත ක‍්‍රියා පිළිවෙත ට තවත් එක් උදාහරණයක් පමණි. 

මෙම කරුණු ඔබගේ අවධානයට කැඳවන්නේ ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමටය.

මේ සමග SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අමුණා එවමු.
Link:-  http://www.janasansadaya.org/page.php?id=605&lang=en

මෙම සිද්ධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති අංක 97799 නඩුවේ සම්පූර්ණ වාර්තාව ගෙන්වාගෙන අධ්‍යයනය කිරීමෙන් මෙම ¥ෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිළිවනු ඇත.

සැ.යු. 2015.11.16 දින සිවිල් සංවිධාන සමග මානව හිමිකම් කොමිෂන් සභා රැුස්වීමේ දී අප ඉදිරිපත් කරන ලද සටහන ට ඔබ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි සිතමු.

ස්තුතියි. මෙයට අ.ක/ චිත‍්‍රාල් පෙරේරා(ලේකම්)




Saturday, January 23, 2016

පොලිස් පහරින් කැඩුනු දතට රු:-ලක්ෂ පහක වන්දියක්. ගෙවන්න පොලිස්පතිට නියම කරයි. සිද්ධියට මුල ගම්බට්ටියක්!


පසුගියදා තීන්දුව ලබාදුන් මුලික අයිතිවාසිකම් නඩුවක, වරදකරු බවට පත්වු පොලිස්කාරයා එ් වන විට මෙලොවින් තුරන්ව ගොස්ය. මැරුනත් වන්දිය ගෙවිය යුතුයි. එය රජයේ වගකීමකි. එ් වරදකරුවු මළ පොලිස්කාරයා වෙනුවෙන් නියම කල රුපියල් ලක්ෂ පහ, රජය වෙනුවෙන් පොලිස්පති ට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙය 2009 වසරේ සිදුවීමකි.
ජගත් පෙරේරා මීරිගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. අසංක ඔහු යටතේ සේවය කරයි. අංසක බිරිඳගෙන් වෙන්ව ජිවත් වෙයි. බිරිඳ මීරිගම පොලීසියට අනුයුක්ත සිවිල් ආරක්ෂකාවියකි. ඇගේ පැමිණිල්ලකට අනුව අසංකව පොලීසියට කැඳවා තිබින. තම සේවකයා කැටුව ජගත් පෙරේරා ද පොලිසියට යන ලදි. එ් 2009.11.17 දිනය. සු`ථ පැමැණිලි අංශයේ පො.ප. ගෝතමි රණසිංහ පැමිණිල්ල විභාග කරන අතර, අසංක වෙනුවෙන් ඉදිරිපත්වු ජගත් පෙරේරා, දරුවා ගැන සලකා, දෙපාර්ශවය සමගි කරන ලෙසට ඉල්ලා සිටියේය. එ තැනට පැමැණි රථවාහන අංශයේ පො.ප. මිල්ල විතාරණ හෙවත් මිල්ලවිතානච්චි, ජගත් පෙරේරාව එතැනින් ඉවතට ගෙනගොස් පහර දෙන ලදි. ඔහුගේ දතක් කැඩුනු පසුව කුඩුවට ගෙනගොස් දමන ලදි.
පසු දින අධිකරණයට ඉදිරිපත් කළ විට, තමාට පහර දුන් බව උසාවියට කියා සිටින ලදි. උසාවිය, බන්ධනාගාර රොහලින් ප‍්‍රිතිකාර ලබා දෙන ලෙසට වන නියෝගයද සමග ජගත් පොරේරාව රිමාන්ඞ් භාරයට පත්තරන ලදි. 2009.11.26 දින ඇප මත නිදහස්වු වහාම ඔහු රාගම ශික්ෂණ රොහලට ඇතුලත්ව 2012.12.02 දින දක්වා නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා ලදි. 
ඔහු සිය නිතිඥ පි.කේ.ප‍්‍රින්ස් පෙරේරා මගින් 2012.12.29 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නඩු විභායේදි පොලීසිය නිදහසට ඉදිරිපත් කරන ලද සිය`ථ කරුනු ප‍්‍රතික්ෂේප කරන ලදි.
2015.09.29 දින දෙපාර්ශවයේ වාචික කරුනු දැක්විම් වලින් අනතුරුව, 2015.12.15 දින ඉහත තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.
පොලීසිය මේ මොහතේත් නීති විරෝධි අත්අඩංගුවට ගැනිම්, රඳවා ගැනීම්, වධදිම්, බොරු නඩු දැමිම් අඛණ්ඩව සිදුකරනු ලබයි. එම තත්වය වළක්වා නීතියට ගරුකරන, නීතියට යටත් පොලීසියක් ඇති කිරිම පොලිස් කොමිසමේ වගකීමයි.
නඩු තිනිදුවේ ප‍්‍රකාර වරදකරු වු පොලිස් නිලධාරියා මිය ගියද, ඔහුට විරුද්ධව විනයානුකුල පියවර ගෙන දඬවම් කළ යුතුය. හොඳ ක‍්‍රියාවක් කර මිය ගිය පසුව උසස්වීම් දෙන්නා සේම, වැරැුදි කොට මිය ගිය පසුව දඬවම් කළ යුතුය. 
සම්පුර්ණ නඩුවාර්තාව සඳහා යොමුවන්න.......



ලිඟුව මිරිකා වධ දුන්නාට, පොලිස්පතිට රු: 50,000/- ක් ගෙවන්න නියම වෙයි.


15 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන නිරුවත් කොට පුරුෂ ලිඟුව මිරිකා වධදුන්න මාතලේ යටවත්ත පොලීසියේ පොලිස්කාරයන් හතරදෙනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරණු ලැබීය. 

පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ එම පොලිස්කාරයන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද, අත්විඳින්ට සිදු වූ ශාරීරික හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම සිසුවාට          රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය. 

මෙය 2011 වසරේ සිදු වූ සිදුවීමකි. මාතලේ යටවත්ත පොලීසියේ සැරයන් ඩග්ලස් ඇල්ලේපොල, පො.ප. බංඩාර, හෙට්ටිආරච්චි හා ස්ථානාධිපති නිශ්ශංක යන පොලිස්කාරයන්, 15 හැවිරිදි පුබුදුව අත්අඩංගුවට ගෙන වධදුන්නේ සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමටය. 

පොලීසිය පුබුදුව, මහේස්ත‍්‍රාත් අධිකරණයට කළ අවස්ථාවේ, ඔහුව රෝහල්ගත කිරීමට එවක මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

මාතලේ පළාත් මහ රෝහලේ වශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් ජයසේන  මහතා, පුබුදුව පරීක්ෂා කොට, විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත යොමු කරණු ලැබීය.

විශේෂඥ මානසික වෛද්‍යවරයාගේ නිගමනය වූයේ, වධ දීමේ ප‍්‍රතිඵලයෙන් පුබුදු, දැඩි මානසික ආතතියකට (ඡුඔීෘ* පත්ව තිබෙන බවයි.

එවක මාතලේ මහේස්ත‍්‍රාත්වරිය, මෙම පසුබිම යටතේ, පුබුදුට වධදුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරන ලෙසට නීති ආධාර කොමිෂම ට නියම කළේය.

නීති ආධාර කොමිෂමේ උපදෙස් මත, නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පුබුදු හා මව කුමාරිහාමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

2015 ඔක්තෝබර් 13 දින පෙත්සම අදාලව විවාදය පැවැත්වී අතර තීන්දුව 2016 ජනවාරි 14 දින ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

විනිසුරු වනසුන්දර හා විනිසුරු උපාලි අබේරත්න ගේ එකඟතාවය මත, තීන්දුව ප‍්‍රකාහයට පත් කරණු ලැබුවේ විනිසුරු අනිල් ගුණරත්න විසිනි.

පොලීසියේ වධහිංසා පැමිණවීම් අදාලව දීර්ඝව කරුණු දැක්වීමකින් අනතුරුව, පොලීසිය ඉදිරිපත් කරන ලද සියලූම සාක්ෂි, තර්ක ප‍්‍රතික්ෂේප කර පුබුදු ට වධ දී ඇති ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක්කරණු ලැබීය.

පුබුදු ට සාධාරණ යුක්තිසහගත වන්දියක් රජය ගෙවිය යුතු බවත්, එය පොලිස්පති විසින් ගෙවිය යුතු බවටත් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහත නම් කළ පොලිස්කාරයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද නියම කළේය.

පොලිස් අපරාධකරුවන් ආරක්ෂා කිරීම පොලිස්පති ගේ කාර්යයි. එ් නිසා, මෙම පොලිස් අපරාධකරුවන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැක.

වර්තමානයේ මෙහි වගකීම ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය. එ් නිසා ජනසංසදය, මෙම නඩුවේ තීන්දුව ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කර, එ් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසටත්, එ් මගින් ජාතික පොලිස් කොමිෂමට සිය ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය පළ කර සිටී.

2011 දි මෙම සිද්ධිය, පුබුදුගේ මව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඉදිරිපත් කළේය. කොමිෂම කළේ ඇයගේ පැමිණිල්ල මහනුවර පිහිටි මානව හිමිකම් කොමිෂමේ ප‍්‍රාදේශීය කාර්යාලයට යොමු කිරීමය.

එහි සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, සිද්ධියට අදාල යටවත්ත පොලීසියේ, පොලිස් අපරාධකරුවන් විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමේ ලිපියේ ඡුායා පිටපතක් පුබුදුගේ මවට යවා, එයට විරෝධතා දක්වන ලෙසට දැණුම් දීමය. 

එයට පිළිතුරු දීමට මළ පොත කියවන්නටවත් බැරි පුබුදුගේ මවට නොහැකි විය.

සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, නියමිත දිනට පිළිතුරු එව්වේ නැත යන පදනම මත පොලිස්කාරයන්ට එරෙහි පැමිනිල්ල කුණු කූඩයට දැමීමය.

මේ පිළිබඳව ද, ජනසංසදය වත්මන් කොමිෂමේ සභාපතිනියගේ අවධානය කැඳවා පොලිස් අපරාධ වසන් කිරීමට කාලයක් තිස්සේ ක‍්‍රියා කළ මානව හිමිකම් කොමිෂමේ විමර්ශන නිලධාරීන්ට එරෙහි ව විනය පියවරක් ගන්නා ලෙසට ද ඉල්ලා තිබේ. 

x නඩු තීන්දුව හා විස්තර සඳහා;

        පිවිසෙන්න.
                                                    
x පුබුදු ගේ කථාවට සවන් දෙන්න;
  https://www.youtube.com/watch?v=B3lw_7BVo3c
පිවිසෙන්න.


   

Friday, January 22, 2016

ලීසිං කොම්පැනිකාරයෝ පොලීසියත් ලීසිං කරයි.


කලබදු (ලීසිං) කොම්පැනි, මේ වන විට ගෙවීම් පැහැර හරින්නන්ගෙන් මුදල් අයකර ගන්න යොදාගෙන ඇත්තේ පොලීසියයි.

ලීසිං කොම්පැනිවල ජරාවට යටවී සිදු කරන මෙම අපරාධය පිළිබඳ හෙළිදරව් කිරීමට අද හැකි වී තිබේ.

අසංක, කොමර්ෂල් ලීසිං හා ෆිනෑන්ස් කොම්පැනියෙන් කල්බදු ක‍්‍රමයට ත‍්‍රීරෝද රථයක් මිළයට ගත්තේය. එම ත‍්‍රීරෝද රථය, ඔහු ලීසිං කොම්පැනියේ අනුමැතියට යටත්ව, විකුණන ලදි. 2014.08.19 වන දින දෙවන ගැණුම්කරු වූ මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත්, එම ත‍්‍රීරෝද රථය අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට විකුණන ලදි. එම ගණුදෙනුව කළේ ද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගමේ ක`ඵතර ශාඛාවේ කලමණාකරු ඉදිරිපිටදීයි.

තෙවන ගැණුම්කරු, සියලූම ණය වාරික ලීසිං සමගම ගෙවා, තමා නමට ත‍්‍රීරෝද රථය පවරා ගැනීමට ඉදිරිපත් විය.

එ් අවස්ථාවේ, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර මුල් ගැණුම්කරු අසංක එ් සඳහා ඉදිරිපත් විය යුතු බව කියා සිටී.

අසංක, ලීසිං සමාගමේ එකඟතාවය යටතේ, ලිඛිත ගිවිසුමකින්, ත‍්‍රීරෝද රථය, මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත් ට විකුණන ලදි. ඊ්ට පසු එම ත‍්‍රීරෝද රථය ලීසිං සමාගමේ අනුමැතිය යටතේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් අරගත්තද, ණය වාරික සඳහා ලදුපත් නිකුත් කර ඇත්තේ අසංක නමටය. අඩුම වශයෙන් අසංකගේ වෙනුවෙන් ණය වාරික රු: 15,100/- බැගින් වූ වාරික 11 ක් ගෙවන ලද්දේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් බවට සටහනක්වත් සමාගමේ නැත.

එසේ සටහනක් ලා දීමද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම තත්ත්වය තුළ තමන්ගේ නමට ණය වාරික ගෙවන ලද ලදුපත් නිකුත් කරන්නේ නැතිනම්, ණය වාරික නොගෙවන බව අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් කියා සිටී.

මේ තත්ත්වය යටතේ ණය වාරික අය කර ගැනීමට, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම පොලිස් කාරයෝ මිළයට ගෙන සිටී.

නම් නොකියන මේ පොලිස් කාරයෝ තමා මිරිහාන පොලීසියේ  ඕ.අයි.සී. බව පවසමින් අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට තර්ජනය කරණු ලබයි. මේ තත්ත්වය වහාම වැළැක්වීම ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි.


බාලවයස්කාරියගේ තුනටියට පිහියෙන් ඇන්නේ, පරණ ලව් එකටලූ ! පොලීසිය කියයි !!



දුවගේ පිංතූරය මුහුණු පොතේ දමාගෙන සිටින, මෙම අරාධ සැකකරු එමගින්, අයුතු බලපෑම් කරන බව මව කියා සිටී.

වාද්දුවේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නිවසට ඇතුලූව, අත කපා, තුනටියට පිහියෙන් ඇන ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙකුයි. මෙම අපරාධය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කිරීමේදී දියනියව අවමානයට ලක් කරන බවද මව කියා සිටී.

දැනට ඇප මත නිදැල්ලේ සිටින මෙම බාල වයස්කාර පාසල් සිසුවා, මුහුණු පොතේ දියණියගේ ඡුායාරූප දමාගෙන මිතුරන් අතරේ ගෙන යන කත කථා නිසා බියට පත්ව සිටින මව හා දියණිය, නඩු යන අතරතුර දියණියගේ ජීවිතයට හානියක් වේ යැයි බියෙන් පසුවෙති.

මේ පිළිබඳව වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, අපරාධ සැකකරුවන් මුහුණු පොතේ තම දියණියගේ ඡුායාරූප පළ කර, සිදුකරන අයුතු බලපෑම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටී.


කාලේ හරි නෑ ! නැතිනම් කරන දේ දන්නවා !!අඟුරුවාතොට පොලීසිය කියයි.



තරුණයකු අත්අඩංගුවට ගෙන පහර දී බොරු නඩුවකට පැටලීම අදාල මේ ප‍්‍රකාශය කළේ අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති ඇපලකොටුව නැමැත්තාය.

මෙම තරුණයා මීමැස්මොර රෝගය වැළඳී සුව වී ඇති අයෙකු හෙයින්, ඔලූවට ගහන්න එපා යැයි පියා, මෙම ස්ථානාධිපතිවරයාට කිව්ව විට, වධ දෙන්න පු`ඵවන් බවට නීතියේ තියෙන බව පෙන්වීමට පොතක් ගෙන පිටු පෙරලමින් සිට, දැන් කාලෙ හරි නෑ, නැතිනම් කරන දේ දන්නවා යයි ඔහු කියා තිබේ.

ප‍්‍රදේශයේ මොස්තරකාරියකගේ චේන් එකක් කඩා ගත්තායි චෝදනා කරමින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන වධ දී බොරු චෝදන මත රක්ෂිත බන්ධනාගාරගතපියවර ගෙන තිබේ.

මෙම පීඩාවට පත් වුණේ කම්කරුවකු වන, 21 හැවිරිදි විවාහකයකු වූ ඉංගිරියේ සෂීන්ද්‍ර නැමති තරුණයෙකි.

ඔහු පවසන අන්දමට මෙම මස 11 වන දින, වැඩපලේ සිට දිවා ආහාරය සඳහා නිවස බලා එමින් සිටිය දී අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරියේදීය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුට වධ දී ඇත. පසුදින බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්බාරයට පත් කරවා තිබේ.

දින තුනකට පසුව එනම් මෙම මස 14 වන දින, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත‍්‍රාත්වරිය, ඔහුගේ බිරිඳගෙන් කරුණු විමසා මොහුව ශරීර ඇප මත මුදාහැර තිබේ.

මොහු මේ පිළිබඳව 2016.01.20 දාතමින්, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට ළිඛිතව පැමිණිලි කර තිබේ.


Thursday, January 14, 2016

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.


මේ වනවිට, ම.රා පාලන සමයේ , තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අභ්‍යන්තර කොටස්කරුවන් කුපිතව සිටින බව සැවොම දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල ව කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට සිවිල් සංවිධාන විසි දෙකක් අමතමින් ජසදංසදය කරන ලද ඉල්ලීම පහත දැක්වේ.

‘‘ 2015 ජනවාරි 08 ඇති කළ වෙනස සහ විශේෂයෙන් 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කොමිෂන් සභාව, පවැරී තිබෙන බලතල යටතේ,

(1* 2015 ඔක්තෝබර් 29 දින පොලීසිය, උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය
    පිළිබඳව පවත්වන ලද විමර්ශනය හා එහි නිර්දේශයත

(2* ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තර්ගත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන නීති, දණ්ඩ නීති
    සංග‍්‍රහයට සංශෝධන වශයෙන් ඇතුළත් කිරීමට ගත් උත්සාහය පිළිබඳ, ආණ්ඩුවට ඉදිරිපත්
    කරන ලද කරුණු දැක්වීම සහ එම සංශෝධනය ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

(3* මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ සමහර කොටස් දරන ලද උත්සාහය
    සම්බන්ධයෙන් ආණ්ඩුවට, ඉදිරිපත් කරන ලද නිර්දේශය, එනම් මරණ දඬුවම නීති පොතෙන්
    ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිඹිබු කරන්නක් විය.

එහෙත් මෙම ‘‘ස්වාධිනත්වය’’ වත්මන් ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගේ සහ පොලීසිය ප‍්‍රමුඛ සමහර රාජ්‍යය ආයතනවල දැඩි අප‍්‍රසාදයට හා දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බව අප දුටුවෙමු.

මේ වන විට උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ නිර්දේශය පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

එමෙන්ම ගත වූ කාල පරිච්ෙඡ්දයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු එහි අභ්‍යන්තර කොටස්කරුවන්ගේ ද දැඩි අප‍්‍රසාදයට පාත‍්‍ර වී තිබෙන බව ද අප දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට කරුණු කාරණා නොදන්නා ජනතාව නොමග යැවීමට, අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සේයා දැරියගේ මරණය අලවි කරන ලද පුද්ගලයන් සිය විකෘති ආශාවන් සපුරා ගැනීමට මරණීය දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට අදෝනා නගන්නට පටන් ගති.

ජන මාධ්‍ය මගින් ආන්දෝලනයක් බවට පත් කරන සෑම අපරාධයක්ම එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කිරීම මගින් විසඳිය හැකි බවට ගෙන යන ප්‍රෝඩාකාරී ප‍්‍රචාරයට අන් කරුණු වලදීම මෙන් සිදු කරන්නේ රටේ බරපතල ප‍්‍රශ්න යට ගැසීමය. පොදු ජනතාවට එ්වා ටික කලකට හෝ අමතක කරවීමටය.

ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා නිවැරදිව, මරණ දඬුවම ශි‍්‍ර ලංකාවේ නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය සහ එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට  එකඟ වීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.

මෙය සිය බලතල ඉක්මවවා යෑමක් ලෙසට හුවා දැක්වීමට අධිකරණ ඇමති වශයෙන් විජයදාස රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය මගින්, ඔහුගේ අරමුණ වන්නේ, ගතවූ කාල පරිච්ෙඡ්දයේ මෙන්ම, වත්මන් ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝණය, මානව හිමිකම් විරෝධී ක‍්‍රියාවන් වලට සුදු හුණු ගාන කොමිෂමක් ඇති කිරීමය.

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට ඉල්ලමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුර්වලතා, අක‍්‍රමිකතා ¥ෂණ ආදියට එරෙහිවන අතරම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමද අපේ වගකීමකි’’.