ඉස්සර අවුරුදු දහයේ දොළහේ කාලේ ගමේ හිටිය කුපාඩිම ළමයි සෙට් එක අපි වෙන්න ඇති. කී දෙනෙක්ට වද දෙන්න ඇත්ද. ජනෙල් කීයක් බිඳලා ඇත්ද. කී දෙනෙක්ගෙන් බැනුම් අහන්න ඇත්ද. පාර දෙපැත්තේ ගෙවල් වල තිබිච්ච කාබරන්කා, අඹ, පිනි ජම්බු කවදාවත් ඉදෙනකන් තියෙන්නෙ නැතුව ඇති. :-D ඒ කාලේ නං මතක් වෙනකොටත් නලියනවා. ඒ තමයි ජීවිතේ ලස්සනම කාලේ. ආයේ එන්නේ නැති....
අපි සෙල්ලම් කලේ පන්සල් වත්තේ. පොඩි හාමුදුරුවෝ එක්ක. හාමුදුරුවෝ අපේ වයසේ. සුදුම සුදුයි. මාර ලස්සන හිනාවක් තියෙන්නෙ. පොඩි කාලේ ඉඳන්ම අපේ පැත්තේ උපාසක අම්මලාගේ හුරතලේ. අහිංසකයි. ඒත් මාර කටක් තියෙන්නෙ. කොහෙන්ද මන්ද ඉගෙන ගත්ත කතා ලොට් එකක්ම දන්නවා. "හාමුදුරුවෝ වැඩ්ඩා වැඩිල්ලක්, සිවුර වෙලේ" කතාව කියල දුන්නෙත් පොඩි හාමුදුරුවෝ. =D සිංහලෙන්ම කියනවා නං පොඩි හාමුදුරුවෝ කියන්නේ පට්ටම ඩයල් එකක්. දහම්පාසල් යන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම අපිත් එක්ක බුදු ෆිට්. කොච්චරද කියනව නං හම්බ වෙන හැම දෙයක්ම හංගගෙන ඉඳල අපි එනකං ඉන්නවා බෙදාගෙන කන්න. අපි හැමෝම ප්‍රාර්ථනා කරන ජාතියේ සහෝදරයෙක් වගේ. මට මතකයි එක සැරයක් පොඩි නෙක්ටෝ බෝතලයක් හම්බ වෙලා හාමුදුරුවෝ අපි එනකං බලං හිටියේ ඒක බොන්න. මුලින්ම අපි උගුර උගුර බීලා හාමුදුරුවන්ට එනකොට බින්දු දෙකයි ඉතුරු උනේ. ඒත් "කමක් නෑ. මට හම්බ වෙනවනේ" කියල හිනා වෙලා හිටියා... ඒ වගේම අපිත් එහෙමම තමයි. මොනා කැඩුවත්, පොඩි ලොවි ගෙඩි ටිකක් උනත් අරං යන්නෙ පන්සලට. ලොකු හාමුදුරුවෝ එහෙට මෙහෙට වෙනකන් ඉඳලා පොඩි නමත් එක්ක සුපුරුදු පොට් එකට දුවලා හැංගිලා ඉස්ම බේරී බේරී කනවා. අඹයක් කැපුවත් මුල්ම කෑල්ල හාමුදුරුවන්ට. සරුංගල් හදන්න කිතුල් පිති කැපුවත්, හොඳම පිත්ත හාමුදුරුවන්ට. හරියටම කිව්වොත් එක ගෙදර නොවුනත්, හැදුනේ වැදුනේ එකට. අපේ අම්මල උනත් අවුරුද්දට වෙනමම පංගුවක් දෙනවා පොඩි හාමුදුරුවන්ට කියලා.
ඔහොම ටිකෙන් ටික ලොකු වෙද්දී මට computer එකක් හම්බ උනා. ඉතිං ඔක්කොම Delta Force ගහන්න අපේ ගෙදර. පස්සේ පස්සේ තව අයට. ඒ විදියට අපි ටිකෙන් ටික පන්සලට යන එක අඩු උනා. කාලාතුරකින් පන්සලට ගියත් හාමුදුරුවොත් එක්ක computer ගැන මිසක් වෙන දෙයක් ගැන කතා කලේ නෑ. හාමුදුරුවොත් අපි කියන දේ අහගෙන හ්ම්ම් හ්ම්ම් ගාලා "ඇයි ආවේ නැත්තේ" "ඇයි මට කිව්වේ නැත්තේ" "ඇයි මට කතා කලේ නැත්තේ" කියල ඇහුවේ අපි නැති වෙයි කියල බයට වෙන්න ඇති. ඒත් අන්තිමට හාමුදුරුවන්ව අමතකම උන තරම්.
පස්සේ පස්සේ කොහොම හරි පන්සලේ ටෙලිෆෝන් එකේ, keypad ලොක් එකේ ඉබ්බාගේ යතුර තියෙන තැන පොඩි හාමුදුරුවන්ට මාට්ටු වෙලා තියෙනවා. "ස්වාමීන් වහන්සේ" කෑල්ල තිබ්බට ආරේ ගති නෑරේ කිව්වා වගේ ලොකු හාමුදුරුවෝ නැති වෙනකන් ඉඳලා යතුර උස්සලා උන්වහන්සේ අපිට කතා කරලා පන්සලට ගෙන්න ගන්නවා. කොහොම කොහොම හරි ඒ විදියට අද වෙනකන්ම පරණ සහෝදරකම ඒ විදියටම තිබ්බා. මම මෙහෙට එන්න කලින් පිරිත් නූල් බඳින්න ගිය වෙලාවෙත් ඇහැක් ගහල, "ලොකු හාමුදුරුවෝ e-Mail ගත්තම මට e-mail එකක් දාහන්" කියල හිනා වෙලා කිව්වත් ඒත් හිතේ තිබ්බා දුක නං ඇස් වල තිබ්බ කඳුළු වලින් පෙනුනා...
අද උදේ අම්ම කතා කරපු වෙලාවේ කිව්වේ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා යන්නම ගිහින් කියල. ඊයේ රෑ පන්සලේ කට්ටිය පිරිතකට වැඩිය වෙලාවේ, උන් වහන්සේ ඔක්කොම අස් කරගෙන ගිහිල්ලලු. දැකපු කෙනෙකුත් නෑලු. ඒක අහපු වෙලාවේ ඉඳන් අයියෝ ඇයි එහෙම කලේ කියල හිතුවට, ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ වෙච්ච දේවල් ගැන. පස්සේ තමයි කලින් හදන්න තිබ්බ වැරදි ටික තේරුනේ. අපේ අම්මල කියන විදියට "උන්වහන්සේ අඩු වයසින් මහන වෙන්න ලොකු පිනක් කරලා ඇති" කිව්වට, ඇත්තටම දැන් තේරෙන විදියට ලොකුම පවක් ඒක.
උන් වහන්සේ මහන වෙලා තියෙන්නෙ අවුරුදු හතේදී විතර මතක හැටියට. හේතුව නං දන්නේ නෑ. උන්වහන්සේගේ තාත්තා නෑ. අම්මා දාල ගිහින්. සහෝදරයෝ කියල හිටියේ අපි විතරයි. මොනා උනත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. මහන වෙලා හිත සතුටින් හිටිය කිව්වට උන්වහන්සේ වැඩි පුරම හිටියේ බයෙන්.
"හාමුදුරුවනේ, පහල ගහේ අලි පෙර තියෙනවා. කඩමුද?"
"බෑ. ලොකු හාමුදුරුවෝ දැක්කොත් ගුටි කන්න වෙයි"
"හාමුදුරුවනේ, ෆුට් බෝල් ගහන්න එනවද?"
"අපෝ බෑ. එදා දැක්කනේ බැනපු විදිය"
"හාමුදුරුවනේ, අරූන් බයිසිකල් රේස් යනවා. පදිනවා නං යන්"
" අම්මෝ බෑ. එදත් සිවුරේ මජං ගෑවිලා ගුටි කෑවා"
කවදාවත් තමන්ගේ කැමැත්තට මොකුත් කලේ නෑ. ලොකු හාමුදුරුවන්ට බයේ, අපිම ඇදන් යනකං ඉන්නවා. අපිත් එක්ක ඉන්න ටිකේ මාරම සතුටකින් ඉන්නෙ. හොරෙන් සෙල්ලං කරනකොට ලොකු හාමුදුරුවෝ වේවැල අරං ආවම ඇස් වල තියෙන බය වචනෙන් කියන්න බැරි තරං. අපි නං දුවනවා. අන්තිමට අපේ වැරැද්දට අහු වෙන්නේ පොඩි හාමුදුරුවන්ව. ලොකු හාමුදුරුවන්ටත් මල පැන්නම මුලින්ම ගහන්නෙත් උන්වහන්සේට. ඇත්තටම කිව්වොත් ටිකක් ලොකු කාලේ වෙනකොට ගොඩක් පාලුවෙන්, මානසිකව වැටිලා හිටියේ. අපි විතරයි එච්චර ලඟින් හරි හිටියේ. අපි පන්සලෙන් එළියේ කරන දේවල්, දැකපු දේවල්, ඔප දූප ගැන කතා කරනකොට ආසාවෙන් අහගෙන ඉන්නවා. අපි බයිසිකල් වල වෙසක් බලන්න යනකොට උන්වහන්සේ ලොකු හාමුදුරුවො කට්ටියත් එක්ක වෑන් එකේ තනියම යනවා. දානේ ගෙවල් වලදී ගාථා කියන ගමන් අපිත් එක්ක හොරෙන් හිනා වෙලා ආයේ පන්සලට ගියාට, අපිත් එක්ක නැවතිලා ඇති තරං නිදහසේ පිස්සු නටන්න, අයිස් ක්‍රීම් කන්න, ජෙලි කන්න ආසාව තියෙන බව අපි දැනගෙන හිටියා. ඒත් අපිටත් කරන්න දෙයක් නෑ. ඔක්කොම ලොකු හාමුදුරුවන්ගේ යටින්. මස් කන්න එපා කියල බණ කිව්වට චිකන් කන්න මාර කැමතියි. කැටේ කඩලා මුලින්ම ගෙනාවේ "චයිනීස්" එකක්. ලොකු හාමුදුරුවෝ නැති වෙලාවක. ඒකත් බෙදාගෙන කාලා අන්තිමට චිකන් කට්ට සූප්පු කර කර කාපු විදිය දැක්කම අපිටම පුදුමයි.
ඒ ලෙවල්/ ඕ ලෙවල් කාලේ උනත්, අපි කෙල්ලෝ ගැන, වැල ගැන කතා කරනකොට සද්ද නැතුව අහං ඉඳලා, 'ඕව මහ හිරිකිත වැඩ" කියල කිව්වට, අපි වගේම කොල්ලෙක් නිසා ආසාව තියෙන බව දැනගෙන හිටියා. "අනේ අපි නොදන්න පොඩි හාමුදුරුවන්ගේ හිරිකිතේ" කිව්වම ලජ්ජාවෙන් හිනා වෙනවා.
ඇත්තටම ඒ ගැන හිතල බලද්දී, පොඩි හාමුදුරුවෝ කියන්නේ ළමා කාලයක් නැති ළමයෙක්, කොලු කාලයක් නැති කොල්ලෙක්, හිර කූඩුවක් නැතත් හිර කාරයෙක්. අපි පිටින් දැකලා, අනේ ඒ හාමුදුරුවො කොච්චර පිං පාටද, වාසනාවන්තද කියල හිතුවට, ඇතුලේ තියෙන පින දන්නේ උන්වහන්සේව බොක්කටම දන්න එවුන් විතරයි. උන් වහන්සේ වගේ තව කී නමක් ඇත්තද. ඇති තරම් හිනා වෙන්න බැරි. ආසාවට ම්යුසිකල් ෂෝ එකක් බලන්න යන්න බැරි. යාලුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න බැරි. ඇත්තටම ඒක මනුස්සයෙක්ට කරන්න පුළුවන් ලොකුම අසාදාරනයක්. පොඩි කාලෙම පන්සලට ඇදන් ඇවිල්ලා, ළමා කාලයත් උදුරගෙන, මෛත්‍රිය උගන්නන්න හැදුවට අන්තිමට ඇති කරන්නේ වෛරයක්. මොකද මහන වෙන එකේ තේරුම වත් නොදන්න පොඩි එකෙක්ව මහන කළා කියල රහත් වෙන්නේ නෑනෙ. දුක් විඳිනවා මිසක්.....
උන්වහන්සේ ගැන හිතනකොට ඇත්තටම දුකයි. ලස්සන චරිතයක්. ලස්සන ජීවිතයක් අනුන්ගේ කීමට නැති කරගත්ත පුත්ගලයෙක්. සමහර විට ඔහුව ආයෙත් දකින්න බැරි වෙයි. ඒ ගැන දුක් උනත් යටි හිතින් ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන සතුටු වෙනවා. සමහර විට කොහේ ඉඳන් හරි "E-mail" එකක් දායි. මොනා නැතත් ඉන්න තැනක සතුටෙන්, නිදහසේ ඉන්නවනං ලොකු දෙයක්....
පොඩි කාලෙම දෙමව්පියන්ගෙ හෝ කාගෙ හරි උවමනාවකට මහන වෙන අය චීවරය තමන්ට නොගැලපෙන බව දැන ගන්නෙ තරුණ අවදියට ආවට පස්සෙ. හිතට එකගව චීවරයෙ ඉදන් වැරදි කරන්න බැරි නිසා චීවරය දාල ගිහින් යහපත් මිනිසුන් විදිහට සමාජයෙ ජීවත් වෙන අය මම දැකල තියෙනව චීවරයෙ ඉදන් වැරදි කරන අයට වඩා මම ඒ අයට ගරු කරනව.
ReplyDelete