Tuesday, August 16, 2011

“ඩප්පියා” හා “දනුක” දිනුක පසුපස පන්නයි

දිනුක නිමේෂ්

කලුතර උතුර පොලිසියේ පොලිස් නිලධාරින් හත් දෙනෙකුට එරෙහිව දිනුක නිමේෂ් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කරවා ගැනීමට පාතාල සාමාජිකයින් යොදවා ගැනීමට ගත් නිවට උත්සාහය පරාජය කිරීමට හැකිවිය.

මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලපෑම් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර ප්‍රදේශයේ චීවරධාරීන් දෙදෙනෙකු ලවා, දිනුකට බලපෑම් කළේය. එයින් පසුව පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් දිනකගේ නීතිඥයින්ට සමථ යෝජනා ඉදිරිපත් කළේය. එහිදී දිනුක සමථයකට කැමති බව කීමට තරම් එම නීතිඥයින් නිවට වී තිබිණ.

එයින් අනතුරුව, රසික අබේසිංහ නමැති නීතිඥයා දිනුක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුමාලිකා මහත්මිය හමුවී රුපියල් ලක්ෂ පහක් අරගෙන නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට යෝජනා කළේ, එයට දිනුක කැමති බව ප්‍රකාශ කරමින්ය.

2010 පෙබරවාරි 03 කලුතර උතුර පොලිසියට ගිය දිනුකව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කළේය. ඒ අසල නිවසක සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකුව අල්ලා ගැනීමට කලුතර පොලිසියේ අසමත්කම වසා ගන්නටය.

දිනුක තමාව කෲර වධහිංසාවට පත්කළ නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරුවේ යුක්තිය ඉටුකර ගන්නටය.

දිනුකගේ නඩුවට උත්තර දී ගන්නට බැරිව දඟලන කලුතර උතුර පොලිසියේ නිලධාරින් - පළමුව චීවරධාරින්, දෙවනුව නීතිඥයින් යොදවාගත් අතර, දැන් මැරයින් යොදවා ගන්නට තරම් නිවටයින් වී ඇත.

2011. 08. 13 වන දින උදේ දිනුකගේ බුත්තල නිවසට, කලුතර ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බවට සලකන “ඩප්පියා” හා “දනුක” ගියේ, මෙම නිලධාරින්ගේ අවශ්‍යතාවයට බවට සැකයක් නැති බව ප්‍රකාශවේ.

එදිනම බුත්තල ගෝනගන් ආර පොලිසිය හා වගුරුවෙල පොලිස් මුරපොළ “ඩප්පියා” ව හා “දනුක”ව අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් ඉල්ලා අස්කරවා ගැනීම සඳහා චීවරධාරින්, පොලිස්කාරයින් හා නීතිඥයින් ගන්නා ලද උත්සාහයට අද මැරයින් එක්ව ඇති බව මේ සිද්ධියෙන් පැහැදිළිය. බලපෑම්වලට යටනොවී, යුක්තිය ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි.

නඩුපවරන්නන්, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි.

2 comments:

  1. දිනුක නිමේෂ් ට යුක්තිය ඉටු වේවා

    ReplyDelete
  2. http://jbasnayaka.blogspot.com/2011/08/3.html

    යුක්තිය ඉෂ්ඨ වේවා !! තියලා කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ සහෝදරයා... හොඳ හඬක් නගන්න ඕනේ.... මිනිස්සු දැනුවත් කරන්න ඔනේ....

    ReplyDelete