Wednesday, January 8, 2014

ශ්‍රී ලංකාවේ එල්ලන්නේ නැති එල්ලුම් ගහ



මොරණරාගල පළාත්බද මහාධිකරණය 2013.07.01 දින 05 දෙනෙකු මරණීය දන්ඩනයට නියම කර තිබුනි.
2013 ජූලි 07 ඉරිදා ලංකාදීප පස් දෙනා ගස් ගිය නඩුව යනුවෙන් විස්තරාත්මක ගවේෂණාත්මක ලිපියක් පල කර තිබුනි.
එම ලිපිය තුල අන්තර්ගත වූයේ රටේ අපරාධ, අපරාධ යුක්තිය හා දඩුවම් ක්‍රියා වලිය පිළිබදව අවධානය යොමු කරමින් සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී තිබූ සිරකරු දිනයට පසු වදනක් සැපයීම මගේ අපේක්ෂාවයි.
බන්ධනාගාර සහා සිරකරුවන් නිෂ්පාදනය කරනු ලබන්නේ අපරාධ, අපරාධ යුක්තිය සහ දඩුවම් ක්‍රියාවලිය විසිනි. පස් දෙනෙකු එල්ලුම් ගසට ගෙන ගිය මෙම මිනී මැරුම සිදු වී ඇත්තේ 2002.10.04 වන දින රාත්‍රියේමොරණරාගල මැදගම ප්‍රද්ශයේ ය.
අසල්වාසී පවුල් දෙකක් අතර මායිම් වැටක තිබූ දද කිරල ගසක අයිතිය මත හටගත් නොහොද නෝක්කඩුව ආරවුලක් බවට පත් වෙයි. ගහ බැන ගැනීම් දක්වා වර්ධනය වී එක් පාර්ශවයක් පොලිසියට පැමිණිලි කිරීමෙන් 2002.10.15 වන දින දෙපාර්ශවයටම පොලිසියට පැමිණීමට නියෝග ලබයි.
එහෙත් අවසාන වරට පහරදීමකට ලක් වූ පවුලේ මූලිකයාට තම විරුද්ධවාදියාට හොද පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය වෙයි. කිට්ටුවර ඥාතීන්ද ඒ සදහා එකගව පාඩම වඩා හොදින් ඉගැන්වීමට නගරයේ වැඩ කාරයෙකු ද ඊට එකතු කරගෙන මත්පැන් වලින් සප්පායම් වෙයි. පිහි පොලු වැනි ආයුධ වලින් සන්නද්ධව 2012.10.14 දින රාත්‍රියේ අසල් වාසියාගේ නිවසට යන මේ පිරිස පොලිසියෙන් පැමිණි බව හගවා මරණකරුව නිවසින් පිටතට රැගෙන ගොස් කපා කොටා මරා අතහැර දමයි.
මෙම සිදුවීම සමාජ හා අපරාධ විද්‍යාත්මකව දෘෂ්ටියකින් සලකා බලන විට අපේ රටේ සිදුවන මිනීමැරුම් වලට තවමත් ප්‍රධාන හේතුවක් වී ඇති දේපල ආරවුල් මෙම සිදු වීමටද අදාලය. මිනිසුන් තුල දේපල අයිතියට තිබෙන ජානගත කෑදරකම මෙහිදීද ඉස්මතුව තිබේ. ඉඩම් හා දේපල ආරවුල් නිරාකරණය සදහා අපරටේ පවතින ඉතා මන්දගාමී,  වෙහෙසකර, වියදම්කාරී, ක්‍රියා මාර්ග තෝරා ගනිති. නීතිය යුක්තිය සියතට ගෙන කටයුතු කරයි. රට පුරාම සංවිධානාත්මක ලෙසට පාතාලයද මෙවැනි කොන්ත්‍රාත් බාර ගනී.
මොණරාගල මෙම සිදුවීමටද නගරාශ්‍රිත පාතාල අභාෂය සහිත පුද්ගලයෙකුගේ මැදිහත්වීම සමග විරුද්ධවාදියාට හොද පාඩමක් ඉගැන්වීමේ අවශ්‍යතාවය පාතාල ක්‍රමයේ මිනීමැරුමක් දක්වා වර්ධනය වූ බවට අනුමාන කල හැකිය.
තම සැමියා මරා දැමීමෙන් පසුව ගම අතහැර ගොස් වෙනත් ස්ථානායක පදිංදිව සිටින මිය ගිය අයගේ බිරිදව නඩු තීන්දුවෙන් පසුව හමුවීමට ලංකාදීප ලිපිය ලියූ ලියුම් කරුට හැකිවී තිබේ. අපරාධ යුක්තිය පිළිබදව ඇයගේ වචන වලින්ම මෙසේ සටහන් කර තිබේ.
මහත්තයෝ මේ අවුරුදු 11 පුරාවට උසාවි වලට ගිහිල්ලා අඩලා දැන් අඩන්න ඇස්වල කදුලු නෑ. මට අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වුනත් දරුවන්ගේ කුස පුරවන්න මට හයියක් නැහැ. කුලියක් කරලයි මම පොඩි දරුවන් දෙන්නට උගන්වන්නේ. අහිංසක අපට රටේ ඉන්න හිත උනුවෙන කාටහරි පිහිට වෙන්න කියලා මහත්තයා පරත්තයට ලියන කොට ලියන්න මම දැන් ජීවත් වෙන්නේ මේ පුංචි එවුන් දෙන්නා නිසා. නැතිනම් මමත් දිවිනහගෙන දැන් ගොඩක් කල්.
වසර 11ට පසුව ලැබුනු අපරාධ යුක්තිය ඇයගේ ජීවන ගැටඵ වලට පිළිතුරු සපයන්නේ නැත. ආසන්න සමාජයට මෙම සිදුවීම අමතකව ගොස්ය. මහා සමාජයට තවත් එක් නඩු තීන්දුවක් පමණි.
අපරාධ වින්දිතයන් සදහා සහන සැලසීමේ සාධාරණත්වය පිළිබදව සමාජ කතිකාවතක් හා අනතුරුව රාජ්‍ය අනුග්‍රහය සහිත සංවිධානයක් බිහිවූවත් එය නාම පුවරුවකට පමණක් සීමා වී ඇති බවත් සටහන් කරමි.
දැන් බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. කොටි සංවිධාන සටහන්කරුවන් පවා පුනරුත්ථාපනය කර අවසාන කර තිබේ. ඒ වාගේම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාව පුනරුත්ථාපනය කරමින් දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මකය. මරණීය දණ්ඩනය යටත්ව බන්ධනාගාර ගත වූ පස් දෙනාට හා ඔවුන්ගේ අසරන වූ අඹු දරුවන්ට සේවා සලසන සහන සලසන සිරකරු සුභ සාධක සංගමය වැනි පිළිගත් සංවිධාන හා වැඩසටහන් ස්ථාපිතව තිබේ.
එහෙත් මෙම මිනී මැරුම නිසා පීඩාවට පත්ව අසරනව තවමත් විලාප නගන කාන්තාවට හා දරුවන්ට සහන සලසන වැඩ පිළිවෙලක් සකස්ව ස්ථාපිතව වී නැත‍
බල අපරාධ සදහා බහුල වශයෙන් මත්පැන් උත්තේජක සැපයීම මෙම මිනී මැරුමේ ද දක්නට ලැබෙන තවත් එක් සාධකයකි.
අපරාධකරුවන් වශයෙන්ම ඉපදී මිනිසුන් අපරාධ කරන බවට පැවති මතවාදය අපරාධ විද්‍යා අධ්‍යපනය සමග ප්‍රතික්ෂේප විය. මිනිසුන් අපරාධ ඉගෙන ගන්නා බව තවමත් ප්‍රතික්ෂේප නොවූ මතවාදයකි.
පවුල සමාජය හා සමාජ සංස්ථා වලින් විධිමත් හා අවිධිමත් ලෙස ඉගෙන ගන්නා දේ මිනිස් චර්යාව මිනිස් හැසිරීම ලෙස ප්‍රකාශ වන බවත්, අනිකුත් මිනිස් හැසිරීම් වාගේම අපරාධ ද මිනිස් හැසිරිමක් වන බැවින් අපරාධ උගත් චර්යාවක් බවට මතවාදයන් ඇත. මිනිසුන් අපරාධ සමග අපරාධ සැලසුම හා තාක්ෂණයද ඉගෙන ගන්නා බව ඒ හා බැදුනු තවත් මතයකි.
මෙම මිනී මැරුමේදී අපරාධ සැලසුම හා අපරාධ තාක්ෂණය භාවිතා කිරීම ඉතාම පැහැදිලිය. මියගිය පුද්ගලයාව රාත්‍රී කාලයේදී නිවසින් පිටතට ගත්තේ පොලිසියෙන් පැමිණි බව හගවමිනි. මේ ගම්බද මිනිසුන් පස්දෙනා අපරාධ  තාක්ෂණය ඉගෙන ගන්නේ සමාජයෙනි. ඔවුන් එය කදිමට භාවිතා කර තිබේ. මරණ කරුගේ බිරිද පසු දින උදෑසන මැදගම පොලිසියට දිවයන්නේ පෙර දින රාත්‍රියේ පොලිසියෙන් රැගෙන ගිය බව තම සැමියා බැලීමටය.
පුද්ගල ගැටුම් සංහිදියාව සදහා පෙර අප සමාජයේ පැවති වැඩිහිටි දැනමුතු කම නිෂ්ක්‍රීය වී ඇති සැටිද මෙහිදී ප්‍රදර්ශණය වෙයි. මාමා, බෑනා, අයියා වැනි පිරිසක් මෙම කාර්යයට එක්ව තිබේ.
පන්සල, පල්ලිය, ග්‍රාම නිලධාරී, පොලිසිය, සමථ මණ්ඩලය වැනි පුද්ගල ගැටුම් නිරාකරණ මැදිහත්කරුවන්ගේ අවකාශය පුරවා ඇත්තේ ලුම්පන් සංස්කෘතික නගරයේ අයියා කෙනෙකු විසිනි. ආරවුලට මුල් වුවද කිරල ගස සැබෑ අයිතිකරුවා කැලෑ දෙපාර්තමේන්තුවේ බවට හෙලිදරව්වූයේ මිනී මැරුම සිදු වීමෙන් පසුසවය.
2012.10.15 වන දින සිදුවූ මෙම මිනී මැරුම පිළිබද පොලිස් විමර්ශන වලට පසුව 2002.12.23 දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුවක් ආරම්භ වන්නේ අපරාධ යුක්තිය රජයේ වගකීමක් වන නිසාවෙනි. අප රටේ ක්‍රියාත්මක අපරාධ යුක්ති විනිශ්ච අනුව අපරාධ වලින් පුද්ගලයාට හා දේපල වලට හානි සිදු වුවත් ඒ ඒ පුද්ගලයාට පුද්ගලිකව පිලියම් යෙදීමට ඉඩ නොතබා අපරාධය පුද්ගලයාට පමණක් සමාජයටම සිදු කරන ලද හානියක් ලෙසට සලකා අපරාධ යුක්ති විනිශ්චය රජයේ පොදු කාර්යභාරයක් බවට පත්කර තිබේ.
මෙම සිදුවීමට අදාලවද රජය එම වගකීම ඉටු කරමින් අපරාධ යුක්තිය ප්‍රකාශයට පත් කිරීමට වසර 12ට ආසන්න කාලයක් ගතකර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විනිශ්චය සදහා වසර 04ක බදුල්ල හා මොනරාගල මහාධිකරණ විනිශ්චයන් සදහා වසර 08ක කාළයක් වශයෙනි. දැන් අපරාධ යුක්තිය ඉටු කර තිබේ. මිය ගිය පුද්ගලයාගේ ආසන්නතමයන්ට ද ආසන්න සමාජයද, මහා සමාජයද මෙම යුක්තිය භාර ගන්නේ කෙබදු වූ ආකල්පයකින්ද?
11 කොටස
ලියෝ තෝල්ස්තොයි ලියූ පරිදි වැරදිකරුවන්ට දඩුවම් කිරීම දෙවියන්ගේ කාර්යයි. දෙවියන්ට නොවරදින නිසා හා මිනිසුන්ට වරදින නිසාවෙනි. එසේ උවත් මිනිසුන්ට දඩුවම් කිරීමට භාර දෙන්නේ මිනිසුන්ටමය. වසර 12කට පසුව පැනවූ දඩුවම ක්‍රියාත්මක කිරීමට වැරදිකරුවන් 05 දෙනා බන්ධනාගාරයට භාර දී තිබේ. තමන්ට නියමිත දඩුවමට නිවැරදිව සාධාරණ ලෙස යුක්ති ගරුක ලෙස පොදු ස්වාභාවයක පැවතිය මෙන්ම සාමූහිකව ද ප්‍රචණ්ඩ ප්‍රතිචාර දක්වන අවස්ථා බහුලය. දඩුවම් ක්‍රියාත්මක කරන ආයතන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් බිලියන 05 (කෝටි 500 ක්) වැය කරමින් පවත්වාගෙන යනු ලබයි.
2013.07.01 දින මරණීය දණ්ඩනයට යටත්කල වැරදිකරුවන් පස් දෙනා දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා බෝගම්බර බන්ධනාගාර ගත කර තිබේ. ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල හැකි එල්ලුම් ගස් තිබෙන්නේ වැලිකඩ හා බෝගම්බර බන්ධණාගාරයටද අයත්වන නිසා ඔවුන් බෝගම්බර බන්ධනාගාරයේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) සදහන් පරිදි ගරු ජනාධිපති තුමා විසින් නියම කරන දිනයකදී එල්ලා මැරීයයුතුය.
එහෙත් ඒ පිරිදි මොවුන්ව එල්ලා මරණවාද? නැත.
අපේ රටේ පවතින අධිකරණ ක්‍රියාවලිය අනුව මෙම වරද කරුවන්ටද තම දඩුවමට එරෙහිව අභියාචනා අධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කල හැකිය. අභියාචනාධිකරණය අභියාචනය භාර ගැනීම සමගම මොවුන් අභියාචනා සිරකරුවන් බවට පත් වේ. එවිට ඔවුන් දඩුවමක් නොවිදින එහෙත් සුරක්ෂිතව හා ආරක්ෂිතව රදවා තබාගත යුතු සිරකරුවන් බවට පත් වෙයි.
අභියාචනා අධිකරණයට අභියාචනා තීන්දුවක් ලබා දීමට සාමාන්‍ය යෙන් වසර 05 ක පමණ කාළයක් ගත වේ. ලැබෙන තීන්දුව අනුව දඩුවම වෙනසකට භාජනය නොවුනහොත් වසර 05 කට පමන පසුව නැවත මොවුන් පස්දෙනාට මරණීය දණ්ඩනයට යටත් වූ සිරකරැවන් බවට පත් වීමට සිදු වෙයි. මොවුනට නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැකිය. එහෙත් වැඩි දෙනෙකු ඒ සහා පියවරක් නොගන්නේ වියදම් පාර්ශවය සලකා බලමිනි. අභියාචනා අධිකරණය දක්වා එනවිට සාමාන්‍යෙයන් වැඩි දෙනෙකුගේ චංචල නිශ්පල දේපල පවා නඩු කටයුතු සදහා විකිණී ගොස්ය. තම තමන්ගේ හැකියාව අනුව ලක්ෂ 05 සිට 300 දක්වා වූ වියදම් පරාසයක කටයුතු කිරීමට මොවුනට සිදු වෙයි.
මෙනිසා වසර 05කට පමණ පසුව අභියාචනා අධිකරණයෙන් එම තීන්දුවම මොවුන් පස් දෙනාට ලැබුනහොත් වසර 137 ක් පැරණි මිනිස්වාසයට නුසුදුසු හා අවම පහසුකම් සහිත බෝගම්බර බන්ධනාගාර මරණීය දන්ඩනයට යටත්ව සිර මැදිරියක ගාල් වීමට මොවුනට සිදු වෙයි. එහෙත් ගත කල යුතු කාළය අවිනිශ්චිතය.
අධිකරණ වල මරණ දඩුවම පැනවූවත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 34(1) අනුව බන්ධනාගාර අධිකාරියට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති වරයා විසින් අනුමත කල යුතුය. එලෙස ස්ථිර කර අවසන් වරට බන්ධනාගාරයක් තුල මරණීය දන්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ බෝගම්බර හිරගෙදර, 1976 ජූනි 23 දිනය. ඒ ද්විත්ව මිනීමැරුමකට වරදකරු වූ දෙබරවැව, චන්ද්‍රදාස නොහොත් හො පපුවා ය.
ඊට පසුව අද දක්වාම බන්ධනාගාරය තුල කිසිවකු එල්ලා මරා දමා නැත. වර්ථමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ඇත්තේ 1978 වසරේදී ය. එහි 34 (1) වගන්තිය ප්‍රකාරව, කිසිවකු එල්ලා මරා දමා නැත. එහෙත් 34(1) ABCD උපවගන්ති කියවෙන දඩුවම් පරිවර්තනය එනම් මරණීය දණ්ඩනය ජීවතාන්ත සිර දඩුවමට හා ජීවිතාන්ත සිරදඩුවම 20 අවුරුදු දඩුවම වශයෙන් වෙනස් කිරීම සමාව ප්‍රදානය වශයෙන් ක්‍රියාත්මක කර තිබේ.
1978 නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර හා පසුවත් මේ පරිදි ජනාධිපති සමාව ප්‍රධානය කිරීම කිසියම් පිළිවෙලකට නොකඩවා සිදු විය.ඒ අනුව 1999.03.04 දින දක්වා වූ කාළ වකවානුව තුලදී එල්ලා නොමරණ මෙවැනි සිරකරුවන් වසර 15 ක පමන කාලයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව ගියා.
1990 දශකයේ අගභාගයේදී මෙරට අපරාධ රැල්ලක් පවතින බවට සමාජ මතයක් පැවතුනි. විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව අපරාධ රැල්ලට ප්‍රතිකර්මයක් ලෙස බන්ධනාගාර දඩුවම් වලට සමාව ප්‍රධානය කිරීම සීමා කිරීමට රජය කටයුතු කළේය.
90 දශකයේ ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම බන්ධනාගාර ජනගහනය දෙගුන තෙගුන වීමේ ප්‍රවනතාවයක් පැවතුනි. බන්ධනාගාර ගත වීම පාලනය කිරීමට ඒ ඒ රටවල විවිධ වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවූහ. එවැනි අවධියකදී අප ක්‍රියාත්මක වූයේ බන්ධණාගාර ජනගහනය තවත් වර්ධනය කර ගැනීමටය. වාර්ශිකව නොයෙකුත් හේතු මත සිරකරුවන්ට ප්‍රදානය කල පොදු සමාවන් අහෝසිකල අතර මරණීය දන්ඩනයට ජීවතාන්ත සිර දඩුවමට හා 20 අවුරුදු සිර දඩුවමට යටත් වූ සිර කරුවන් සදහා සමාව ප්‍රධානය, දඩුවම් පරිවර්තනය, සීමා කරමින් 1999.03.04 දිනැතිව ජනාධිපති නියෝගයක් පනවන ලදි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය අනුව මරණීය දන්ඩනයට නියම කරන ලද සිරකරුවෙකුගේ ක්‍රියාත්මක කිරීම, ක්‍රියාත්මක නොකිරීම හා ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් කිරීම සදහා නඩු තීන්දුව දුන් විනිශ්චයකාර වරයා, නීතිපතිවරයා හා අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශයක් සැපයිය යුතුයි.
මේ අනුව අධිකරණයෙන් එල්ලා මැරීමට තීන්දු කරන සෑම සිරකරුවෙකු මෙන්ම ඉහත කී නිර්දේශය ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කල යුතුමය. වාර්ෂික බන්ධනාගාර සංඛ්‍යා ලේඛන ප්‍රකාශනය අනුව සෑම වසරකම 100 ට වැඩි පිරිසක් මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාර ගත වන බැවින් ඔවුන් සදහා නොකඩවා අනු පිළිවෙලට නිර්දේශ ඉදිරිපත් විය යුතු අතර බන්ධනාගාරය වෙත ජනාධිපති තුමාගේ අනුමැතිය නිකුත් විය යුතුය.
1999.03.04 දිනැති ජනාධිපති නියෝගය ඊලග ජේදය ජීවිතාන්ත සිර දඩුවම නිශ්චිත සිර දඩුවමකට පරිවර්ථනය කිරීමට අදාලවය. මරණ දඩුවම ජීවිතාන්ත සිරදඩුවමට වෙනස් කරනු ලැබූ සිරකරුවෙකු 20 අවුරුදු සිර දඩුවමක් සදහා වෙනස් කිරීමට සලකා බැලිය යුත්තේ අවුරුදු 20ක කාලයක් බන්ධණාගාරයේ ගත කිරීමෙන් පසුවය. ඒ අනුව 20 අවුරැදු සිර දඩුවම් කාලය අනිවාර්යෙන්ම ගත කල යුතුය.
අවුරුදු 20 ට පසුව 20 අවුරුදු නිශ්චිත සිර දඩුවමකට වෙනස් කලද, නැවත අරඹන 20 අවුරුදු නිශ්චිත සිර දඩුවම් කාලය තුළ පමණක් ඔහුට 1/3 ක් වන සාමාන්‍ය සමාව උපයා ගත හැකිය. ඒ අනුව තවත් අවුරැදු 14ක තරම් කාලයක් ඔහු බන්ධනාගාර සිර දඩුවම් ගත කල යුතුය.
මේ අනුව 1999 ට පෙර අනුගමනය කල ක්‍රමය අනුව මරණීය දන්ඩනයට යටත් වූවෙකු ජීවිත සමාව ලැබීමෙන් පසුව වසර 14ක පමන කාලයක් බන්ධනාගාර ගතව සිටීම වෙනුවට අවුරුදු 34 ක කාළයක් ගත කිරීමට සිදු වේයැයි අනුමාන කල හැකිය.
මෙනිසා 1999.03.04 දින වන විට මරණ දන්ඩනයට යටත් වූ හා ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් වූ හා යටත් වූ සිරකරු පිරිසද 1999.03.04 දින සිට 2013.07.01 දින එක්වූ සිරකරුවන් 05 දෙනාද ඇතුලත්ව මෙම වර්ගයට අයත් සිරකරුවන් 1500 ක් පමණ බන්ධනාගාරය තුල රදවා සිටී. මේ අය අතර 1993.03.04 දිනට පසුව මරණ දන්ඩනයට යටත්ව බන්ධනාගාර ගත වූ සිරකරුවන් නව ජනාධිපති විධිවිධාන අනුකූලව දඩුවම් කාලය උපකල්පනය කලහොත් 1999 සිට අඩුතරමින් වසර 50ක් වත් බන්ධනාගාර ගතව වසර 2049 තෙක් සිටිය යුතු වෙයි.
මෙම ක්‍රමවේදය මත 2013.07.01 මරණීය දණ්ඩනයට යටත්වූ සිරකරුවන් 05 දෙනාගේ දඩුවම් කාළය නීර්නය අධ්‍යනය සදහා කල්පිතයක් දෙසට සකස් කල හොත්,
මරණීය දණෟඩනයට නියම වී බන්ධනාගාර ගත වීම -                  2013.07.01
අභියාචනා අධිකරණයට අභියාචනා තීන්දුවට ගත විය හැකි කාළය - වසර  05                                           

දඩුවම කිසිදු වෙනසක් නොවුවහොත් මරණ දන්ඩනයට නියම වූ සිරකරු - 2018.07.01                                                                       

ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් කිරීම -   කාලය අවිනිශ්චිතය
                                                                                               2018.07.01

ජීවිතාන්ත සිර දඩුවම් ගත කලයුතු කාළය වසර  -   20   ( 2038.07.01 දක්වා)
                                                                                                
20 අවුරුදු සිර දඩුවම ආරම්භකර සමාව උපයා ගත් විට වසර  -  14 ( අනුමාන වශයෙන් නිදහස් වියහැකි දිනය 2052.07.01)

දැනට ක්‍රියාත්මක පිළිවෙල අනුව නම් මෙම සිරකරුවන් පස් දෙනාට මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිර දඩුවමකට පෙරලීමට ගත වන අවිනිශ්චිත කාළය අත්හැර ගණන් බැලූ විට අද සිට වසර 40ක පමණ කාලයක් බන්ධණාගාර ගතච සිටීමට සිදු විය හැක. අද දින මොවුන්ගේ වයස් බැලූ විට පිළිවෙලින් වසර 60,52,33,32 වශයෙන් වයස්ගත මොවුනට ගෙවිය යුතු සිර දඩුවම් ගත කිරීමට තම ආයු කාළය ප්‍රමානවත් වේදැයි සැක සහිතය.
ලංකාවේ රාජ්‍ය රැදවුම් මධ්‍යස්ථානය අතර අම්බලන්තොට රිදීගම නිවාරණ නිවාසය තුල සුසාන භූමියක්ද තිබේ. නිශ්චිත රැදවුම් කාලයක් නොමැතිව මෙම ආයතන ගත වන ඇතැම් අසරන වූ පුද්ගලයන් ආයතන තුලම මිය ගොස් එහිම මිහිදන් වෙයි. ඉදිරි කාලයේදී බන්ධනාගාරයටද මෙවැනි ආකෘතික බන්ධනාගාරයන් සැලසුම් කිරීමට සිදු විය හැකිය.
බන්ධනාගාර ගත කරනු ලබන සිරකරුවෙකු නඩත්තු කිරීමට අද පවතින මිල යටතේ දෛනිකව එක් අයෙකුට රු: 372/= මුදලක් ද, වාර්ෂිකව 1,35937/= ක මුදලක් ද වැය කල යුතුව තිබේ.
බන්ධනාගාර සංඛ්‍යා ලේඛණ අනුව සෑම වසරකම 100 කට වැඩි පිරිසක් මරණ දණ්ඩනයට යටත්ව බන්ධණගාර ගත කරනු ලබයි. පවතින අපරාධ රටාව ප්‍රවණතා අනුව මෙම සංඛ්‍යා අඩුවීම නොව වැඩි වීම අපේක්ෂා කල යුතුය. බන්ධනාගාර ගත වන පිරිසට සාපේක්ෂව පිරිසක් නිදහස්ව නොයන නිසා මෙම වර්ගයට අයත් සිරකරුවන් සංඛ්‍යාත්මකව ඉහල යෑම වැලැක්විය නොහැකිය. මෙනිසා ඉදිරි කාළයේදී 3000ක් පමන වන මේ කාණ්ඩයේ සිරකරුවන් පමණක් රදවා තැබීමට වෙන්කල වඩා ආරක්ෂිත, සුරක්ෂිත, බන්ධනාගාර තැනීමට සිදු විය හැකිය. එහි බන්ධනාගාර ගත වන සිරකරුවන්"බලාපොරොත්තුව" නැතිව ජීවිතය ගතකරන පිරිසක් නිසා බන්ධණාගාරයට ද ඊට ගැලපෙන පාලන මෙහෙයුම් ක්‍රමයක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට සිදුවිය හැකිය.
අපේ රටේ බන්ධනාගාර අධිධාරිතාව නිසා අධික බන්ධණාගාර තද බදයක් නිර්මාණීය වී තිබේ. බන්ධණාගාර නඩත්තුව සදහා වාර්ෂිකව කෝටි 500 ක් වැය කරන්නේ ජාතික ආර්ථිකයේ ආදායම ඉක්මවා යන වියදම් ගැටඵ තිබියදීය.
ඉතා පැහැදිලි බන්ධණාගාර තදබදයක් බන්ධණාගාර අධිධාරිතාවක් තිබියදීත් රටක් වශයෙන් රාජ්‍ය අය භාරයට වඩා වැය භාරය ඉක්මවා යන ජාතික මූල්‍ය ගැටඵ තිබියදී වාර්ෂිකව රුපියල් බිලියන 05 ක මුදලක් වැයකරමින් බන්ධනාගාර පවත්වාගෙන යන්නේ ජාත්‍යන්තර ප්‍රවේශයන්ට අනුව යමින් වැරදි කරුවන් නිවැරදි කිරීමේ අරමුණ සහිතව නම් මිනීමැරැමක් කල වැරදිකරුවකු නිවැරදි කිරීමට මේ සා දීර්ඝ කාලයක් බන්දණාගාර ගත කර තබා ගැනීමේ අවශ්‍යතාවය හා අර්ථය කුමක්ද? අපරාධ කර ගැලවිය හැකිය. විපාක නැත යන මතය මුල් බැසගෙන ඇති හා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබද විශ්වාසය බිදවැටී සමාජයක සිදු කල යුතු ප්‍රතිසංස්කරණ නොසලකා හැර දඩුවම් දැඩි කිරීමෙන් පමණක් අපරාධ වැලැක්වීම හා පාලනය කිරීමට යාම මහත්වූ මුලාවක් බව අවධාරණයෙන් සටහන් කරමි.
ඩබ්ලිව්. ඒ.එල්.වීරසිංහ
විශ්‍රාමලත් බන්ධණාගාර කොමසාරිස් (සුභසාධක)

No comments:

Post a Comment