මෙසේ ප්‍රශ්න කරන්නේ දික්වැල්ලේ, විසි දෙහැවිරිදි මාධව රංගික තරුණයා. ඔහුගේ පියා මිය ගියේ ‘නිව්මෝනියාව’හැදිලා. එතකොට, රංගිකගේ වයස අවුරුදු එක හමාරයි.
දකුණේ සංවර්ධනයට ලේ දහඩිය වැගිරූ රංගිකගේ පියා, ඉදි වෙන මහා මාර්ග වල කුලියට වැඩ කොට ගෙදර ආපු ගමන් නානවා. නිව්මෝනියාව හැදුනේ හවසට නාපු හින්දා කියලා තමයි - දොස්තරලා කියලා.
මේ ආශ්චර්ය රටේ තවමත් මිනිසුන් නිව්මෝනියාවෙන් මිය ඇදෙන්නේ ඔවුන්ගේ කර්මයට ඉඩ දෙන්න කියා තමයි රංගික තවමත් හිතන්නේ.
පියා යන මිය යන විට, රංගිකගේ නංගිට මාස නවයයි. වයස අවුරුදු 17 දී, විවාහ දිවියට පිවිසි, මව රේණුකා ධීවර පවුලකට අයත්. ජිවත්වන්නට හා ජිවත් කරවන්නට දරුවන් දෙන්නාව ඇගේ මව ළඟ තියා රේණුකා කොළඹ ආවා. ඇයට රැකියාව ලැබුනා බ්‍රැන්ඩෙස්ක් ආයතනයේ.
රංගිකට නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නට නොහැකි වුනේ, අම්මාට ආච්චිට ඔහුව පාසල් යවන්න වත්කමක් නොතිබූ නිසා. ලියන්න කියන්න හැකියාව නැති රංගික, ගමේ අයට, පොලීසියට දර දිය ඇද්දා. පොලීසියේ හුණු ගාන්න පවා එක්කගෙන ගියේ රංගිකව. දික්වැල්ලේ ජයනන්ද කඩේ හොරු කඩන්නේ ඒ අතර. ඒ වන විට රංගිකට අවු: 17 ලැබුවා විතරයි.
එදා ජයනන්ද කඩේ අයිතිකාරයා සමග එක්වූ දික්වැල්ල පොලීසිය රංගිකව අල්ලාගෙන දස වධ දෙනවා. ඔහුව උසාවියට දානවා. නිවැරදි බව කියනවා. තවම නඩුව මාතර මහෙස්ත්‍රාත් උසාවියේ පවතිනවා.
එදා පටන්, දික්වැල්ලේ වන සියලුම සොරකම් වලට අල්ලගෙන වධ දී උසාවියට දාන්නේ රංගිකව. ඒ අතර ගංජා නඩුත් දානවා. පුතා සොරෙකු නොවන බව, ගංජා කාරයෙකු නොවන බව දන්නා අම්මා හා ආච්චි පොලීසිය කියන පරිදි වරද පිළිගන්න සූදානම් වෙන්නේ නෑ. මව හරි හම්බ කරන හැම සතයක්ම පුතා වෙනුවෙන්, නීතිඥවරුන්ට ගෙවනවා. යුක්තිය ඉටුවේ යයි කියන බලාපොරොත්තුවෙන්.
මේ වන විට, නඩු 11 ක් රංගිකට විරුද්ධව දික්වැල්ලේ පොලීසිය දාලා.
පසුගිය දා ජනසංසදයට පැමිණි රංගික හා ඇගේ මව, ශ්‍රී ලංකා පොලීසියේ පාහර ක්‍රියාවන් ගැන විස්තර කරනවා. මේ රංගික, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කරන පැමිණිල්ල කියවන්න.
ශ්‍රී ලංකාවේ ආශ්චර්ය.
‘‘සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත. 2013.12.31 දින දීය.
අල්ලස් හා අයුතු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය.
මාගේ උපන්ගම දික්වැල්ලය. මා, කුඩා කල සිට හැදී වැඩුනේ මාගේ මව ගේ මව (ආච්චී) සමගය.
2008 වසරේදී, එවිට මාගේ වයස අවු: 17යි. දිනකදී මා දික්වැල්ල නගරයට යනවිට, දික්වැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙන ගියා. මාව අත්අඩංගුවට ගත්තේ සැරයන් සුනන්ද. අත්අඩංගුවට ගත් වේලාවේ සිට පහර දෙමින් පයින්ම පොලීසියට ගෙන ගියා.
පොලීසියේදී මට පහර දෙන්නේ නිරුවත් කරලා. අත් දෙක ගැට ගහලා බාල්කයේ එල්ලලා, උඩ තට්ටුවේ තමයි මට පහර දුන්නේ. බෙල්ට් වලින් පහර දෙනකොට ඇහි බැම මැදින් පැලූනා. පිට පැලූනා.
එසේ පහර දීමෙන් පසුව, ජයනන්ද කඬේ අයිතිකරුගේ වෑන් රථයේ නංවාගෙන ‘කාගිල්ස් පුඞ් සිටි’ එක ළඟට ගියා. ජයනන්ද කඬේ මුදලාලි පද්මසිරි ‘කාගිල්ස් පුඞ් සිටි’ එකට ගොස් අරක්කු බෝතල් තුනක් ගෙනාවා. තව බයිට් අරන් ආවා. හුංගමට ගොස් එහි පාලම අසල නවතා අරක්කු කඩාගෙන බිව්වා. මට එතනදී අතින් පයින් පහර දුන්නා. මට බලෙන් බයිට් කැව්වා. මගේ කටට තුවක්කු බටයක් එබුවා. මේ ආකාරයට මට වධ දුන්නේ දිකවැල්ල පොලීසියෙ සැරයන් සුනන්ද හා කොස්තාපල් මුතුමාලය.
ඉන් පසු අම්බලන්තොටට ගියා. එසේ ගියේ රියා අද්මිරාල් අමරවීරගේ වත්තට. ඒ වත්තේ සිටි අයෙක්ව අත්අඩංගුවට ගෙන පහහර දී වෑන් එකට දා ගත්තා. නැවත පොලීසියට ආවා. එවිට පසුදින අ`ඵයම 4.30 ට පමණ ඇති. ගෙන ආ පසු උඩ තට්ටුවේ කාමරයට ගෙන ගොස් නැවත නිරුවත් කොට බිම දමා පයින් පාගා නැවත අත්දෙකෙන් එල්ලා බෙල්ට් එකෙන් පහර දුන්නා. එසේ පහර දුන්නේ සැරයන් සුනන්ද.
එදින උදේ 10.00 ට පමණ ත‍්‍රී විල් රථයක මාගේ අම්මාවත් නංවාගෙන සැරයන් සුනන්ද දික්වැල්ල නගරයේ වෛද්‍ය ආරියදාස නැමති අයගේ පුද්ගලික ඩිස්පැන්සරියට ගොස් බෙහෙත් අරන් දුන්නා.
නැවත පොලීසියට ගෙනවිත් ජීප් රථයේ අම්මාවද නංවාගෙන මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එසේ යන අතර පහර දුන් බව ප‍්‍රකාශ නොකරන ලෙසට බල කලා. මාව ඉදිරිපත් කළේ මහේස්ත‍්‍රාත් තුමාගේ කාමරයට. මා පොලීසිය පහර දුන් බව ප‍්‍රකාශ කළේ නෑ. මා වෙනුවෙන් නීතිඥ දසරාජ් දහනායක පෙනී සිටියා. ඔහුට මගේ මව පොලීසියෙන් මට පහර දී තිබෙන බව ප‍්‍රකාශ කළත් ඔහු එ් පිළිබඳ මහේස්ත‍්‍රාත් තුමාට පැවසූවේ නැහැ.
එම තත්ත්වය තුල මට ඇප ලබාගැනීමට හැකිවුනා.
එදින පටන්, වරින් වර මාව අත්අඩංගුවට ගන්නා දික්වැල්ල පොලිසිය මට වධ දී, දින ගණන් රඳවාගෙන සිට, සොරකම් නඩුවලට පටලවා, බොරු නඩු දැමීම සිදුකරනවා.
මේ වන විට, මේ ආකාරට අත්අඩංගුවට ගෙන පවරන ලද නඩු සංඛ්‍යාව 11 කි. එ් අතර දික්වැල්ල පොලීසිය පුවත්පත් වාර්තාකරුවන් අල්ලාගෙන මා ප‍්‍රසිද්ධ සොරෙක් බවට වාර්තා පල කලා.
මාගේ මව මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියට ගොස් කරුණු විමසූ විට කියන්නේ, මාව අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දමන බවයි.
තවද මට නින්දා අපහාස වලටද මුහුණ දීමට සිදු වුනා.
මා අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා බොරු නඩු දැමීම ගැන, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිලි කලවිට ඔහු උපදෙස් දී තිබුනා, මට ගමෙන් පිටවී යන ලෙසට.
එ් අනුව, මා, 2013 ජූනි සිට ජීවත්වන්නේ ....... ලිපිනයේ බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිනවා.
මා, දැනට පවතින නඩුවලට මාතර උසාවියට යන්නේ මාගේ මව සමග බව ප‍්‍රකාශ කරමි. 2013 ජූනි මස සිට මා දික්වැල්ලට ගොස් නොමැත.
එසේ තිබියදීත්, නිරන්තරයෙන් දික්වැල්ල පොලිසිය මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට උත්සාහ ගනු ලබනවා.
මෙහිදී, දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග පැමිණ,රැයක් දවාලක් නැතිව මා අත්අඩංගුවට ගන්නට සූදානම් වනවා.
මෙම වසරේ, මෙම මාසයේ දෙවෙනි සතියේ දිනක, රාත‍්‍රියේ මා සොයා පැමිණි බටගොඩ නිලධාරියා, මා නොමැති බව ප‍්‍රකාශ කල විට, ගෙදර බල්ලා ට වෙඩි තබා මරා, මාව මරා දමන්නෙත් මේ ආකාරයට බව පවසා ගොස් තිබේ.
එමෙන්ම, 2013.12.30 වන මධ්‍යම රාත‍්‍රියේ මා සොයා, දික්වැල්ල පොලිසියේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග මා සොයා ගොස් තිබෙනවා.
2008 වසරේදී මාහට පහරදීම නිසා, මා දැන් මානසික රෝගී තත්වයකට පත්ව තිබෙනවා.
මා, මසකට වරක්, ගාල්ල කරාපිටිය මහා රෝහලට ගොස් එහි - 3 කාමරයේ, මානසික විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාගෙන් ප‍්‍රතිකාර ගන්නවා.
මේ සම්බන්ධයෙන් මාගේ මව වන ආර්.බී.රේණුකා දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිහිප වතාවකක්ම වාචිකවද මාගේ මාමා වන ආර්.බී. දිලූම් කුමාර විසින් එම නියෝජ්‍ය පොලිස්පති වරයාට වාචිකවද පැමිණිලි කර තිබේ. තවද, මාගේ මව පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ශාඛාවටද පැමිණිලි කර තිබේ. නමුත් එ් කිසිදු පැමණිල්ලකට ප‍්‍රතිචාරයක් පවා නොලැබූ බව ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ,
2008 දී, මා අත්අඩංගුවට ගෙන මට වධ දී, මානසික රෝගියකු බවට පත් කොට, එයින් සෑහීමකට පත් නොවී, දිගින් දිගටම දික්වැල්ල නගරයේ හා අවට සොරකම් වලට මා අත්අඩංගුවට ගෙන නැවත නැවත වධ දී බොරු නඩු දැමීම නවත්වා දමන ලෙසටය.
මෙය මට පමණක් නොව, මගේ මවට, මාගේ ඥතීන්ට මානසික වධයක් වී ඇත.
නඩුවලට මුහුණදීම නිසා මා මහමගට වැටී ඇති බව ප‍්‍රකාශ කරමි.”
No comments:
Post a Comment