Friday, January 18, 2019

“හක්කා පටස්” යොදා පවුලකටම වින කළ අපරාධකාරයාට පොලිස් රැකවරණ.



බුදුන් වැඳ, පොලීසියට ඇතුල් වි, භාවනා කර, වැඩ පටන් ගන්නා ඉංගිරිය පොලීසිය, හක්කා පටස් හදන, විකුණන, ඌරන් මරණ, අපරාධකරයෙකු ආරක්ෂා කරන්න “නීතිය” බළල් අතක් කරගෙන ඇත.

මාලා රංජනී, 33 න් හැවිරිදි තිදරු මවක්. සැමියා හා ඇය ජීවත් වන්නේ වතුවල වල් නෙලලා. 

ඇය තම අත අහිමි වීම ගැන, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති,  අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත කරන ලද පැමිණිලි වලින් පැහැදිළි වේ.

හක්කපටස් වලින් ඌරන් මරණ, හක්කපටස් අලෙවි කරන අපරාධකරුව, 
ආරක්ෂා කරමින් යුක්තිය ඉටු නොකිරීම.

මාලා රංජනී, වයස අවු: 33 යි, විවාහක, දරුවන් 03 යි, කුලී වැඩ. 

2015.05.07 වන දින, ඉංගිරියේ පදිංචි, සිරිසේන යන අයට අයත්, මඩකඩ පිහිටි අක්කර 1 1/2 ක් පමණ වන ඉඩමේ වල් කෙටීමට ගියා. මා වල් කොටන විට, මාගේ 13 න් හැවිරිදි දුව හා අවු: 2 යි මාස 2 ක් වයසැති පුතා, එතනට ආවා. පුතා අඬන නිසා දුව ඇහැව්වා, හීන් බෝවිටියා ටිකක් කඩලා දෙන්නද කියා. මම, හා කිවූ විට, දුව හා පුතා එම වත්තේ හීන් බෝවිටියා ගස ළඟට ගියා.

දුව කිව්වා, අම්මේ බෝලයක් තියෙනවා කියා. පසුව ඇය එය අරගෙන ආවා. මා එය බලන විට, බෝලය වටා සෙලෝ ටේප් ඔතලා තිබුණා. මම එය අතට ගෙන ඔතලා තිබුණ සෙලෝ ටේප් එක ගලවන්න හැදුවා. එවිට පුපුරා ගියා.

මාව ඉංගිරිය රෝහලට ගෙන ගියා. ඉංගිරිය රෝහලින් හොරණ මූලික රෝහලට ගෙන යන්න යැයි කිව්වා. ත්‍රී රෝද රථයකින් හොරණ මූලික රෝහලට ගියා. එහිදී, මාගේ වම් අත මැණික් කටුව ළගින් කැපුවා. දැන් මට කුලියක් කරන්න විදියක් නැහැ.

මම රෝහලේ ඉන්න කොට, ඉංගිරිය පොලීසියෙන් ඇවිත් ප්‍රකාශයක් ගත්තා. දවස් 09 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගබා ගත්තා. 2015.05.16 දින, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මාගෙන් විස්තර අසා සිටියා. මා ඔහුට සියලු විස්තර කිව්වා.

දුව, ඇහිඳලා දුන්න කලු පාට සෙලෝ ටේප් අලවා තිබූ “බෝලය” මා ගලවා බලන්න හැදුවේ වත්තේදී. මා හට බෝලය ලබාදුන්න මොහොතේදී. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එය “ගෙදරදී” සිදු වූ බවට, සිය වාර්තාවේ සඳහන් කරන ලද්දේ මන්ද යන්න මා දන්නේ නැහැ. මා එම වෛද්‍යවරයාට පැහැදිළිව කිව්වා, ඉඩමේදී“බෝලය” පුපුරා ගිය බව. 

මා, වල් කොටන්න කොන්ත්‍රාත්තුව ගත්තේ, ඉංගිරිය නගරයේ ඉන්න සිරිසේන ගෙන්. නන්දන ප්‍රේමලාල් කියන්නේ, සිරිසේන යන අයගේ, අයියා වන නන්දසේන ගේ පුතෙක් ය. සිරිසේන ගේ ඉඩම වල් කොටන්න මා බාර ගැනීම ගැන නන්දසේන යන අය මා සමග අමනාප විය.

එයට හේතුව, නන්දසේන ගේ පුතා වන, නන්දන ප්‍රේමලාල් එම ඉඩමට අයිතිවාසිකම් කියන නිසාය. මෙම අමනාපය නිසා, හිතා මතාම හක්කපටස් එක තිබ්බ බව මා තරයේ විශ්වාස කරමි.

පොලීසිය නිසි පරීක්ෂණ නොකරන්නේ, ප්‍රදේශයේ වල් ඌරන් හක්ක පටස් යොදාගෙන මරණ, නන්දන ප්‍රේමලාල් පොලීසිය සමග පවත්වන අයුතු සම්බන්ධය නිසාය. තවද, නන්දන ප්‍රේමලාල්, දුම්බර පිහිටි, ධම්මික නැමැත්තාට අයිති තේ වත්ත බලා ගැනීම ද කරනවා.

මෙම ධම්මික නැමැත්තා පොලීසිය සමග අයුතු සම්බන්ධතා පවත්වන්නෙක්. 

මෙම පසුබිම යටතේ පොලීසිය ප්‍රස්දිධියේ “හක්කපටස්” නමින් හඳුන්වන “බෝම්බ” වර්ගය උපයෝගී කරගෙන වල් ඌරන් මරණ, නන්දන ප්‍රේමලාල් ව, බේරීමට පියවර ගෙන ඇත.

2018.09.09 දින, නඩු වාරයට, නන්දන ප්‍රේමලාල්, ධම්මික නැමැත්තා සමග, ඔහුගේ නීතිඥ සමන් මල්ලවආරච්චිගේ කාර්යාලයට පැමිණ උසාවියට ඉදිරිපත් නොවී, මග හැර යන ලදි. අධිකරණයේදී, නීතිඥ සමන් මල්ලවආරච්චි, තම සේවාදායක නන්දන ප්‍රේමලාල් අසනීපව, රෝහල්ගතව ඇති බව ප්‍රකාශ කරන ලදි.

එදින නඩුව ඉවර වී, හොරණ සිට ඉංගිරියට බසයෙන් පැමිණ නිවස බලා යන විට දී, මා අසලට පැමිණි නන්දන ප්‍රේමලාල් අවුරුදු 3 ක් තිස්සේ නඩුවක් දාලා, උඹලාට මොකක්ද මට කරන්න පු`ඵවන් වුණේ යයි කියමින් තර්ජනාත්මකව ප්‍රශ්න කරමින් යන ලදි.

මා ඒ අවස්ථාවේදීම ඉංගිරිය පොලීසියට ගොස් පැමිණිලි කරන ලදි. නමුත් මාස 4 ක් ගතව ඇතත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉංගිරිය පොලීසිය සිදු කළේ නැත. මොහු අදටත්, “හක්කපටස්” එතීම, විකිණීම හා ඌරන්ට තැබීම සිදු කරයි. එය පොලීසිය දන්නා කරුණක්. ගම්වැසියන් මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ වන විට හක්ක පටස් වලින් ප්‍රදේශයේ බල්ලන් 10 කු පමණ මිය ගොස් ඇත. 2018.04.06 දින, කුඩා ළමුන් දෙදෙනෙකු අත තිබූ හක්ක පටස් දෙකක්, මාගේ සැමියා මූලික වී පොලීසියට බාර දුන්න ද කිසිදු පියවරක් ගත්තේ නැත. ඒවා විනාශ කරන ලෙසට උපදෙස් දී යන ලදි. 2018.04.11 දින වෙනත් අයෙකු විසින් හක්කපටස් එකක් පොලීසියට බාර දුන්නද පියවරක් ගෙන නැත.

වසර 03 ක් පුරා, අධිකරණයට තොරතුරු වාර්තා කිරීම, ඉංගිරිය පොලීසිය හිතාමතාම සිදු නොකර තිබේ. නීති විරෝධී හක්කපටස් ව්‍යාපාරයේ යෙදෙන, හක්කපටස් උපයෝගී කරගෙන වල්ඌරන් මැරීම, එහි ප්‍රතිථලයක් ලෙස ඉහත දැක්වූ අපරාධ පිළිබඳව හා මාගේ අත මැණික් කටුව ළඟින් අහිමි කළ, අපරාධය වසන් කිරීමට පොලීසිය පියවර ගැනීම මගින් මාගේ අයිතීන් උල්ලංඝණය කර ඇත.

මා ඉල්ලා සිටින්නේ,

අපරාධකරුවෙකු මුදා ගැනීම සඳහා, විධිමත් විමර්ශනයක් නොකර, අදිකරණයට ව්‍යාජ තොරතුරු සැපයීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,
මාලා රංජනී

විඩියෝව


No comments:

Post a Comment