Sunday, June 16, 2019

පගාව නොදුන්න රණවිරුවාරගෙන් පලි ගන්න උසාවිය පාවිච්චි කරයි.

පොලීසිය තම දුෂ්ඨ අරමුණු ඉටු කරගන්න පාවිචචි කරන්නේ උසාවියයි.

ගරු අධිකරණය පොලීසියේ ඉල්ලීමට රිමාන්ඞ් කරවීම ඉතා සුලබයි. ඒ වැඬේට ‍ෙදාස්තරලාත් හවුල් කර ගන්නවා.

හතලිස් හතර හැවිරිදි වසන්ත විශ්‍රාමික යුද්ධ හමුදා සාජන් මේජර් වරයෙක්. රණවරුවෙක්.

පාරෙදි අල්ලාගෙන හොඳටම ගහලා, පොලීසියට ගෙනිහිල්ලා තියාගෙන ඉඳලා උසාවියට ඉදිරිපත් කරන්නේ පෙරෙට්ටුවක් තියන්න තියෙනවා කියලා.

උසාවිය ඒකට ඉඩ දෙනවා. මොකද පොලීසිය කියන දේට පිටින් යන්න බැරි හින්දා වෙන්න ඇති.

දවස් 08 ක් (2019.05.19 සිට 27 දක්වා) රිමාන්ඞ් එකේ තියා ගන්නවා. ඒ රෝහල්ගත වෙන්න බැරි වෙන්න.

උසාවියට දාන්න ඉස්සෙල්ලා බදුරලිය රෝහලට ගෙන යනවා. බබා ලැබෙන්න ඉන්න‍ෙ   ‍ෙදාස්තර  නෝනාට, තමාට ගහපු බව කිව්වම ඇහුනේ නෑ වගේ හිටියා.

පොලීසිය දිපු කොළයකට අත්සන් කරලා දෙනවා. ඒ තුවාල, අමාරු නෑ කියලා. එවා ලියන්නේ රෝගියාව බලලා නෙවෙයි.

ඊට පස්සෙ උසාවියට ගෙනියනවා.

තමාට ගහපු බව උසාවියටත් කියනවා. ඇහිලා නෑ ..........

යුද්ධ හමුදා විශ්‍රාමික (සාජන් මේජර්) වසන්ත කුමාර, තම අයිතින් උල්ලංඝණය කිරිම පිළිබඳව   මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ල රටේ නිතිය කඩා වැටිමේ ප්‍රමාණය පැහැදිලි කරන්නෙකි.

    “ අවු: 44 යි, විවාහක, දරුවන් 02 ----------------------------   2019.05.30 දිනදීය.

2019.05.19 දින, දහවල් 11.20 පමණ, මා බිරිඳ හා දරුවන් දෙදෙනාද, මාගේ සහෝදරයාගේ  දරුවන් දෙදෙනාද සමග - කලවාන පාර, ලත්පදුර, බදුරලිය පිහිටි මාගේ නංගී ගේ නිවසට ගියා. එම නිවස අසල පාරේ කහ ඉර සලකුණු කර ඇත්තේ නංගී ගේ නිවසේ ගේට්ටුව අසලම වන අතර, මා කහ ඉර අසල ත්‍රී රෝද රථය නැවැත්වූවා. ත්‍රී රෝද රථයේ ඉදිරි පස රෝදය කහ ඉර මදක් පසුකර නැවතී තිබුනා. අප එම නිවසට ගොස් විනාඩි 10 කින් පමණ නැවත පිටව යාමට සූදානම් වෙද්දී, බදුරලිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේ සිටි අතර, කවුද මේක නැවැත්වූයේ කියා විමසුවා. ඔහුද ඔහුගේ යතුරු පැදිය නැවැත්වූයේ කහ ඉර මතය. මා ඇයි සර් කියාගෙන ඔහු අසලට ගියා. ඔහු මට ලියකියවිලි ඉල්ලමින්, ඔහුගේ යතුරු පැදියේ පෙට්ටිය ඇර දඩ කොළ සහිත පොත අතට ගත්තා. මෙතන වාහන නතර කරන්න බැහැනේ කිව්වා. කහ ඉර මත වාහනය නතර කරන්න බැහැනේ කිව්වා. ඔහු මාගෙන් ලියකියවිලි බාර ගත්තා. ඔහු දඩ කොළය ලියන්නට හදද්දී මා ඔහුට බැගෑපත් වුනා නොලියන ලෙසට ඔහු පොත ලියන අතරදී, මෙතන වෙන මුකුත් කරන්න බැහැනේ, කට්ටිය බලන් ඉන්නවා කියා පැවසුවා. මා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගත් අයකු බවත්, නැවත යුද්ධ හමුදාවට බැඳීමට සූදානම් වන බැවින් නඩුවක් වැටුනොත් එය මට බලපාන බවත් මා ඔහුට කියා සිටියා. මා ඉල්ලා සිටියා මනුස්ස කමට සලකන ලෙසට. එවිට ඔහු මට උඹ නීතිය උගන්වන්න එනවාද, හිටපන් මම මනුස්සකමට සලකන්නම් කියා ඔහු දුරකථ ඇමතුමක් ගෙන, එකෙක් ත්‍රී විල් එකක් නතර කරලා තියනවා බස් හෝල්ට් එකේ, මූ ලයිසන් ඉන්ෂුවරන්ස් දෙන්නේ නැහැ කියා කිව්වා. එවිට මා ඇයි සර් දුන්නේ ලියකියවිලි, පෙට්ටියට දා ගත්තේ, මම අරන් දෙන්නද කියා මම ඇසුවා. ඔහු දුරකථනයෙන් කතා කරමින්ම ඉදිරියට ගියා. පසුව දඩ කොළය දෙන ලෙසත්, අපට යාමට අවශ්‍ය බවත් පවසා සිටියා.

ඒ අවස්ථාවේ යතුරු පැදියකින්, සිවිල් ඇඳුමින් දෙදෙනෙකු පැමිණි අතර, ඔවුන් දෙදෙනා මාගේ පිටුපසින් පැමිණ, මාගේ අත් දෙක අල්ලා ගත්තා. එවිට රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාගේ මුහුණට, පපුවට, බඩට අතින් පයින් අමානුෂික ලෙස පහර දුන්නා. පාරේ පහන් වැටක් ලී වලින් සාදා තිබුනු අතර, එම පොලු කෑලි අරගෙන ද මට පහර දුන්නා. මගේ ඔලුව පිටුපස පැලී ලේ ගලන්නට වුනා. අනෙක් දෙදෙනාද මට පහර දුන්නා. මා හිසෙන් ගැලූ ලේ ඔවුන්ට පෙන්වා සිටියා. මට විනාඩි 5 ක පමණ කාලයක් එක දිගට අමානුෂික ලෙස මට පහර දුන්නා. මා 119 අංකයට අමතා සිද්ධිය පවසා සිටියා. එවිට වේලාව පෙ:ව: 11.33 වේ. එතැනින් මට අංකයක් දී එයට කතාකරන්න කිව්වා. මා එම අංකයට ගත් විට එතැනින් තවත් අංකයක් දුන්නා. ඒ අවස්ථාවේම පොලිසියේ ජීප් රථය පැමිණියා. එහි නිළ ඇඳුමින් රියදුරු හා සිවිල් ඇඳුමින් නිලධාරියෙකු පැමිණියා. රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හා අනෙක් දෙදෙනා මාව බලහත්කාරයෙන් ජීප් රථයට නංවා ගත්තා. මාගේ ත්‍රී රෝද රථයේ යතුරු ද ලබා ගත්තා. මාගේ බිරිඳ ද ජීප් රථයට නංවා ගත්තා. නිලධාරියකු විසින් ත්‍රී රෝද රථයකින් අප පසුපස පැමිණියා. කෙලින්ම ගියේ බදුරලිය පොලිසියට.

පසුව මට කූඩුවට යන ලෙස පැවසුවා. මා එය ප්‍රතික්ෂේප කලා. පසුව මට පුටුවක් ලබා දුන්නා. ටික වේලාවකින් මට පහර දුන්න රථවාහන අංශයේ ස්ථානාධිපති හා අනෙක් අය පැමිණියා. රථවාහන අංශයේ ස්ථානාධීපතිවරයා එම ස්ථානයේදී මට අමානුෂික ලෙස අතින් පයින් පහර දුන්නා. රෝස පැහැති ටී ෂර්ට් එකක් ඇඳගත් සුදු මහත අයකුද ඔහු සමග එකතුව මට පහර දුන්නා. පසුව දැනගත්තා ඔහු උ.පො.ප.ජනක් ශ්‍රී බව. මාගේ බිරිඳ කෑ ගසන විට මාගේ බිරිඳව එලවා ගත්තා. මා බිරිඳට කෑ ගසා කිව්වා මට ගහනවා, මානව හිමිකම් එකට කතා කරන්න කියා. ඔවුන් ඉතාමත් පහත් ආකාරයට මාගේ බිරිඳව ලැජ්ජාවට පත් කරමින් බැණ වැදුනා. මාගේ බිරිඳ එතැනින් පිටව ගියා.

එසේ පහර දී මාව කූඩුවට දැම්මා. විනාඩි තුන හතරකින් මාව එළියට අරගෙන නැවත මට පහර දුන්නා. නැවත කූඩුවට දැම්මා. “අරව ටික ලැහැස්ති කරන්න” කියා රථ වාහන අංශයේ ස්ථානාධිපති තවත් අයෙකුට පැවසුවා. විනාඩි 10 කින් පමණ නැවත මාව කූඩුවවෙන් එළියට ගන්න fදාර හැර “වරෙන්” කියා කිව්වා. කූඩුව තුල කොන්ක්‍රීට් බංකුවේ ඉඳගෙන සිටි මා එළියට ඒමට සූදානම් වන විට කාන්තා පොලිස් නිළධාරිණියක් පැමිණ “ඕගොල්ලෝ පිස්සු වැඩ කරන්න එපා, අරයා දැන් කතා කරලා ඇති, ඕගෙල්ලෝ අමාරුවේ වැටෙන්න එපා ” කිව්වා. එවිට නැවත කූඩුවේ fදාර ලොක් කලා. එම පොලිස් කාන්තාව මා වෙත පැමිණ “තව පොඞ්ඩෙන් ඔයා හොඳටම කනවා” කියා පැවසුවා. මා ඇයට ස්තූති කලා, මට පහර දීම වැළැක්වීම සම්බන්ධව. පසුව මා කූඩුව තුල සිටියා. මා කූඩුවේ සිටියදී එක එක්කෙනා පැමිණ “ආ උඹ චන්ඩියාද” යනුවෙන් විමසා යන්න ගියා.

පැයකට පමණ පසු නැවත මාව කූඩුවෙන් එළියට ගත්තා. ඒ වන විට මා දැඩි පීඩාවකින්, වේදනාවකින් පසුවූයේ මාව කූඩුව අසල පිහිටි කාමරයකට ගෙන ගියා. එහි පුටු මේස තිබුනා. මාව පුටුවක වාඩි කෙරෙව්වා. මාව අත්අඩංගුවට ගත් නිලධාරියෙක් විසින් මාගේ නම, ගම, ලිපිනය, දෙමාපියන් පිළිබඳ විස්තර අසා මොනවදෝ පොතක ලිව්වා. එයට මාගෙන් අත්සන් ගත්තා. මොනවා ලිව්වාදැයි මා දන්නේ නැහැ. මට කියවා තේරුම් කර දුන්නේ හෝ කියවීමට දුන්නේ නැහැ. ඔහු කියා සිටියා මේක මම ෂේප් කරලා දෙන්නම් කියා. පසුව එතැනින් නැගිට මට තනිව ඇවිද යාමට නොහැකි වුනා. එවර එම නිලධාරියා මාව අල්ලා ගෙන කූඩුව තුලට ගෙන ගොස් දැම්මා.

නැවතත් ටික වේලාවකින් මාව කූඩුවෙන් එළියට ගෙන, ජීප් රථයේ නංවාගෙන බදුරලිය රෝහලට ගෙන ගියා. වෛද්‍යවරියකට මාව ඉදිරිපත් කලා. ඇය ගැබිණියක්. නැවත යන අතරදී මට කිව්වා උඹට දැන් අමාරුනේ, නිකම් එළියට දැම්මොත් අපි අමාරුවේ වැටෙනවා, ඒ නිසා උඹට බෙහෙත් ටික්ක අරන් දීලා යවන්නම් කියා. වෛද්‍යවරිය මාගෙන් මුකුත් ඇහුව්වේ නැහැ. මා ඇයට මට අමාරු බව ප්‍රකාශ කලා. නමුත් ඇය කිසිත් නොපවසා, ඇස් දෙක බලා, මොනවාද සටහන් කලා. මාව පොලිසියට බාර දුන්නා. වෛද්‍යවරිය ඉදිරියේ හෙදියක විසින් මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තා. නැවත මාව ජීප් රථයට නංවා ගත්තා. මාව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා. මට එරෙහිව පොලිසියට බාධා කිරීම ඇතුලු චෝදනා ඉදිරිපත් කරනු ලැබුවා. මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පොලිසිය විසින් පහර දුන් බව අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා. පොලිසියේ ඉල්ලීමට 2019.05.24 දින දක්වා බන්ධනාගාරගත කරනු ලැබුවා.
මට ප්‍රථිකාර ලබාදෙන ලෙස බන්ධනාගාරයට නියම කලා. පසුව මාව ක`ඵතර බන්ධනාගාරයට ගෙන ගියා. පොලිසියෙන් පහර දුන් බව මා බන්ධනාගාරයට පවසා සිටියා. මාව එදිනම (19 දින) බන්ධනාගාර රෝහලට ඇතුලත් කලා. 2019.05.24 දින දක්වා මා එහි ප්‍රථිකාර ලබා ගත්තා. 24 දින මාව නැවත අධිකරණයට ඉදිරිපත් කලා. එදින හඳුනාගැනීමේ පෙරට්ටුවක් තබන බවට මට දැනුම් දුන්නා. නමුත් පෙරට්ටුවක් පැවැත්වූවේ නැහැ. පසුව මාව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට යොමු කලා. 27 දින දක්වා නැවත මාව බන්ධනාගාරගත කලා. ඒ වන විටත් මා සිටියේ දැඩි අපහසුතාවයකින්. මාව නැවත බන්ධනාගාර රෝහලට ඇතුලත් කලා.

නැවතත් 2019.05.27දින අධිකරණයට ඉදිරිපත් කලා. එදින පෙරට්ටුව තබා, රථවාහන අංශයේ ස්ථානාධිපති විසින් මාව හඳුනා ගත්තා. එම පෙරට්ටුවේදී, රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ව්‍යාජ ප්‍රකාශයක් කරමින්, ඔහු රාජකාරි කරමින් සිටියදී, මාගේ ත්‍රී රෝද රථය කහ ඉර මත තිබූ බවත්, මාගේ ලියකියවිලි ඉල්ලීමේදී මා ඔහුව පාරෙන් පල්ලමට තල්ලු කර, ත්‍රී රෝද රථය පන ගන්වා පලා ගිය බවත්, ඒ අවස්ථාවේ පොලිස් ඇමතුම් අංකයට කතාකර මාව අත්අඩංගුවට ගත් බවත් කියා සිටියා. ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මාගෙන් ඒ සම්බන්ධයෙන් යමක් කීමට ඇත්දැයි විමසා සිටියා. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව මා පවසා සිටියා.
මෙය ව්‍යාජ පෙරට්ටුවක් බවත්, හාස්‍ය ජනක එකක් බවත් ප්‍රකාශ කර සිටිමි.

පසුව මට ඇප නියම කල අතර, රු: ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මාව මුදා හැරියා. ත්‍රී රෝද රථය ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ දැනගත්තා ත්‍රී රෝද රථය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, එය පොලිසියේ රඳවාගෙන සිටින බවත්.

මා අධිකරණයේ සිට නිවසට පැමිණෙන විට මෙම සිද්ධිය ඇසින් දුටු
මාගේ දරුවන් දෙදෙනා ඇතිවූ මානසික පීඩනය නිසා උණ සෑදී තිබූ අතර, සිහිනෙන් බිය වෙමින් කෑගසමින් නැගිටියි. මේ වින විට දරුවාට ද ප්‍රථිකාර ලබා දිය යුතු තත්වයක් උදාවී තිබේ.

මා පසුව දැනගත්තා මාගේ බිරිඳ වන ඈපා චාන්දනී මිය මතුගම සහකාර පොලිස් අධිකාරී වෙත පැමිණිලි කිරීමට ගිය බවත්, එහිදී පැමිණල්ල බාර නොගෙන ඇයව පොලිසියට යන ලෙසට පවසා ඇති බවත්. එහිදී මාගේ මල්ලීගේ වයස අවුරුදු 3ක් පමණ වන දියණිය, පොලිස් නිලධාරීන් මාගේ සැමියාට පහර දීම පිළිබඳව හා එම දරුවාටද රථවාහන අශයේ ස්ථානාධිපතිවරයා විසින් කෑ ගහන්න එපා කියමින් කෝටුවකින් පහර දුන් බව පවසා ඇත. පසුව මාගේ බිරිඳ ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් තිබූ අතර, එහිදී හෙට එන ලෙස දන්වා ඇයව හරවා යවා තිබේ.  පසුව මාගේ බිරිඳ විසින් මෙම පහරදීම හා අත්අඩංගුවට ගැනීම පිළිබඳව 2019.05.23 දාතමින් ඔබ වෙත ෆැක්ස් මගින් පැමිණලි කර තිබූ බවත් ප්‍රකාශ කරමි.

මා පසුව දැනගත්තා බදුරලිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නම මුණසිංහ බව. ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි.

මා ප්‍රකාශ කර සිටින්නේ, බදුරලිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුලු නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි අනෙක් නිලධාරීන් විසින්, මා අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, දැඩි මානසික හා ශාරීරික පීඩාවට පත්කර, මා අධිකරණයට ඉදිරිපත් කර, ව්‍යාජ චෝදනා නගා, මා බන්ධානාගාරගත කරවීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබූ බවයි.

මා ඉල්ලා සිටින්නේ, මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර, බදුරලිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මුණසිංහ ඇතුලු නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි අනෙක් නිළධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.

මෙයට,
වසන්ත කුමාර.











No comments:

Post a Comment