Saturday, February 1, 2020

සාමනේර නම අපවත් කිරීමේ දිට්ඨධම්මවේදනීය කර්මය ධීවරයෙකු ගේ පිටින් යවන්නට මාධ්‍යය සහය ද ලබාගත් වගයි.


හුංගම පොලිසියේ රාජපක්ෂ රාළහාමිගේ වෙඩිල්ලෙන් සාමනේර නම, අපවත් වූයේ 2020.01.19 දි දිනය.

ධාවනය වු ‘‘හොන්ඩා ඩියෝ’’ යතුරුපැදිය නවත්වා ගන්න බැරිව මේ වෙඩි තැබීම කර ඇත්තේ, පො.කො. රාජපක්ෂ ‘‘දෙමළ චිත‍්‍රපටයක්’’ බලා එහි වීර ක‍්‍රියා ප‍්‍රතිරූපනය කරමින්ය.

දහවල් දානයට වෑන් රථයකින් වැඩම කරමින් සිටියදී, එම රඟ පෑම බලන්නට ජනේලයෙන් පිටතට ඔලූව දැමීම නිසා මෙම වෙඩිල්ල වැදී ඇත.

සංඝ රුධිරය සෙලවීම දිට්ඨධම්මවේදනීය කර්මයකි. එය පල දෙනවාමය. එයින් බේරීමට හුංගම පොලීසිය කළේ, නායක හිමිගේ සහයද ඇතිව ‘‘කර්මයේ’’ වගකීම නොනවත්වා ගිය ‘‘හොන්ඩා ඩියෝ’’ යතුරු පැදිය පැදවු යේ ධිවරයාගේ පිට පැටවීමය. එ සඳහා මාධ්‍යය ද උපයෝගී කර ගත්තේය.

දින 25 ක් මහ මුහුදේ සිට පැමිණි බහුදින යාත‍්‍රා ධීවරයාට තම බිරිඳ හා දරුවා සමග දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව නැති කළේ ගරු අධිකරණය උපයෝගි කරගෙන ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරමින්ය.

ඔහුගේ බිරිඳ බලධාරීන්ට කර තිබෙන ලිඛිත පැමිණිල්ල සියලූ කරුණු හෙළි කරයි.

01. සභාපතිනිය
    මානව හිමිකම් කොමිෂන් සභාව
    14, ආර්.එ්.ද. මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති
     පෙලිස් මූලස්ථානය
     කොළඹ 01
 
පොලීසිය සිදුකරන ලද මිනිස් ඝාතනය වසන් කිරීමට මාගේ සැමියාට
ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාරගත කිරීම.

චතුරිකා, අවු:27, විවාහක, දරුවන් 01 යි, ජා.හැ.අ.*** , නෝනගම, දු.අ. 07** . 

 2020.01.22 වන දින දීය.

ලහිරු අවු:25 යි,මාගේ සැමියා වේ. රැකියාව: ධීවර කාර්මික. (බහුදින යාත‍්‍රා) 
2019.12.22 දින සැමියා මුහුදු ගියා. ඔහු දින 25 කට පසුව 2020.01.16 දින ගෙදර පැමිණියා.
2020.01.19 දින, උදේ 10.40 ට පමණ, මගේ යතුරුපැදියෙන් පැට‍්‍රල් ෂෙඞ් එකට යන අතර,ප‍්‍රධාන මාර්ගයේ හුංගම පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔහුට නතර කරන ලෙසට අණ කර ඇත. සැමියාට රියදුරු බලපත‍්‍රය නැත. ආදායම් බලපත‍්‍රය කල් ඉකුත්වී තිබින. ඒ නිසා ඔහු යතුරුපැදිය නවත්වන්නේ නැතිව, හාතගලදී දෙනිය පාරට හරවා වේගයෙන් පලා ගොස් ඇත.

ඒ පසුපස පොලිස් යතුරුපැදිය එළවමින්, වෙඩි තබා ඇත. සැමියා පසුපස හැරී බලන විට, පිටුපස සිටි පොලිස් නිලධාරියා යතුරුපැදියේ පිටුපස හිටගෙන වෙඩි තුනක් තබනවා දැක ඇත.
සැමියා දෙනිය පාරේ වතුර ටැංකිය හරියටම ගොස් ඇත. ඒ අසලදී පටු හරස් පාරකට හරවා ඇත. ඒ පාර අවසන් වූ පසු සැමියා නැවත හරවා එන විට රථවාහන පොලිස්ය තුරුපැදිය මුහුණටම හමුවී ඇත.
ඒ අවස්ථාවේ සැමියාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරන විට, ඔහු සතුව කිසිදු නීති විරෝධී දෙයක් නොතිබූ නිසා, නැවැත්තුවේ නැත්තේ මොකද කියා අසා ඇත. එවිට සැමියා, තමාට රියදුරු බලපත‍්‍රය නැති නිසා හා ආදායම් බලපත‍්‍රය කල් ඉකුත්වී ඇති නිසා නැවැත්තුවේ නැති බව පවසා ඇත.

එ සමගම එතැනට පැමිණි වෑන් රථය නවත්වා රථයේ රියදුරා, පොඩි හාමුදුරුවන්ට වෙඩි වැදී ඇති බව පවසා ඇත. වෑන් රථයෙන්ම හිමිනම අඟුණකොලපැලැස්ස රෝහලට ගෙන යනු ලැබීය. හිමිනමට වෙඩි වැදී ඇත්තේ හාතගල පන්සල අසලදීය. මාගේ සැමියාව පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද්දේ කිලෝ මීටරයකට වැඩි දුරකින් පිහිටි වතුර ටැංකිය අසලදීය.

සැමියාව හුංගම පොලීසියට ගෙන ගිය විට, එහි සිටි ගමේ අයෙක් ගෙදරට පැමිණ, සැමියාව අත්අඩංගුවට ගෙන සිටින බව මට දැනුම් දෙන ලදි.

මා එම ආරංචියට දවල් 12.00 ට පමණ හුංගම පොලීසියට ගියෙමි. නමුත් මට සැමියාව පෙන්වූයේ නැහැ. පැය 1/2 ක් පමණ පොලීසියේ සිටින විට, එහි සිටි අයෙක් මට --- දි කථා කරන ලෙසට කිව්වා. ඒ අනුව මා --- කථා කළා. ඇය 1996 මානව කොමිෂමට කථා කරන්න කිව්වා. මා, 1996 ට කථා කර, නීතිඥ මාලිත මයා සමග පොලීසියට ගියා. එවිට මට, සැමියාව බලන්න දුන්නා. ඔහු මට ඉහත විස්තරය කියා සිටියා. පොලීසියේ මා සිටින විට, ස්ථානාධිපති, ප‍්‍රාදේශීය සභා නියෝජිත අජිත් රාජපක්ෂ, හාතගල පන්සලේ ලොකු හාමුදුරුවෝ හා තවත් අයෙක් හිටියා. ඔවුන් විනාඩි 15 ක් පමණ සාකච්ඡා කරමින් සිට, එළියට පැමිණි විට මා හාමුරුවන්ගෙන් ඇහුවා මොකද වුනේ කියලා.

එවිට හාමුදුුරුවෝ කිව්වා පොලීසිය, සැමියා සමග පොර බදන විට පිස්තෝලය පත්තු වී පොඩි හාමුදුරුවන්ට වැදිලා යයි කිව්වා. වෙඩිල්ල පත්තු කර ඇත්තේ රාජපක්ෂ නැමති නිලධාරියාය. ඔහු අජිත් රාජපක්ෂගේ නෑදෑයෙකු බව මට දැනගන්නට ලැබුනා. මේ අතර ප‍්‍රචාරය ගෙන ගියා මාගේ සැමියා හා පොලීසිය අතර පොර බැදීම නිසා වෙඩිල්ල පත්තු වූ බවට.

පසුදින උදේ සැමියාගේ කටඋත්තරයක් ගන්නා විට, මා ප‍්‍රකාශ කළා, සැමියාට ලියන්න කියන්න බැරි නිසා, මට කියවන්න ඉඩ දෙන්න කියා. එයට ඉඩ දුන්නේ නෑ. පොලීසිය ලියන ලද ප‍්‍රකාශයට සැමියාගෙන් අත්සන් ගත්තා. එයින් පසුව අඟුනකොලපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කළා. මීළඟ නඩු දිනය 2020.01.29 වේ.

මා දන්නා පරිදි වෙඩි තුනක් තබා ඇත. ඉන් එකක් පොඩි හාමුදුරුවන්ට වැදී ඇත. මේ සත්‍ය වසන් කිරීමට පොලීසිය උත්සාහ ගන්නා බව ප‍්‍රකාශ කරමි.

මා ප‍්‍රකාශ කරන්නේ හුංගම පොලීසිය, හාතගල ලොකු හාමුදුරුවෝ, ප‍්‍රාදේශීය සභා නියෝජිත අජිත් රාජපක්ෂ, රියදුරු හා පොලීසිය අමූලික බොරු කථාවක් ගොතමින් හා මාගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට හංවඩු ගසා, මාධ්‍ය පාවිච්චි කර ජනතාව මුලා කරන ලද බවය.

බහුදින යාත‍්‍රා ධීවරයකු වන මාගේ සැමියා, හෙරොයින් භාවිතා කරන්නෙකු හෝ ජාවාරම් කරන්නෙකු නොවේ.

විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම්, වෙඩි තැබීම පිළිබඳ සත්‍ය තොරතුර, එනම්,

1.  වෙඩි තුනක් තැබූ බව,
2.  එක් වෙඩිල්ලක් හාතගල පන්සලේ දානයට යෑමට සූදානමින් සිටි හිමි නමකට වැදුන බව,
3.  පොලීසිය හා මාගේ සැමියා අතර පොර බැදීමක් සිදු නොවූ බව,
4.  සැමියා අත්අඩංගුවට ගත්තේ වෙඩි වැදුන තැනින් කිලෝ මීටරයකට වඩා දුරින් වූ ස්ථානයක බව ඔප්පු වනවා ඇත.

මා ඉල්ලා සිටින්නේ,
මාගේ සැමියාට විරුද්ධව රථවාහන නීති උල්ලඝණයන්ට චෝදනා කරන ලෙසටත්,
වෙඩි තැබූ පොලිස් නිලධාරී රාජපක්ෂ බේරීමට ගරු අධිකරණයට බොරු වාර්තා නොකරන ලෙසටත්ය.
යුක්තිට ඉටු කරන ලෙසට ඉල්ලමි.

මෙයට,
චතුරිකා

No comments:

Post a Comment