Monday, February 10, 2020

සුද්දියෙක්, සංචාරක පොලිසිය වධකාගාරයක් කරවයි.



කලූවාමෝදර ප‍්‍රදේශයේ පදිංචි ජර්මන් ජාතික ගැහැණියක සතුටු කරන්න, රෝහති ට වධ දෙනු ලැබුවේ ඇගේ රුපියල් කෝටි 4 1/2 වඩා වටිනා රත්තරන් හා මුදල් මංකොල්ලා කා ඇති බවට කර තිබූ පැමිණිල්ලකටය.  2020 ජනවාරි 21 දින මොහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ අලූත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විසින්ය.

ඔහු විසින් - අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, බන්ධනාගාරගත කිරීම පිළිබ`දව මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේ ස`දහන් වේ.

" 2020 ජනවාරි 21 දින, උදේ 8 ට පමණ මට, අලූත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.අමිල ජයසේකර, දුරකතනයෙන් කතා කලා. මාව ඒ වන විට කිහිපවතාවක් පොලිසියෙන් ඇවිත් සොයා තිබූ නිසා, මම කිව්වා දැන් මම පොලිසියට එනවා බාර වෙන්න කියලා.

එවිට ඔහු කිව්වා, ‘‘එන්න  ඕනි නැහැ, මම එනවා ඉන්න තැන කියන්න” කියා.  මම කිව්වා, මම මගේ අයියාගේ රෙස්ටුරන්ට් එකේ ඉන්නවා කියා. මම එතන ඉන්න විට, උදේ 8.30 පමණ උ.පො.ප.අමිල ජයසේකර, සැරයන් බන්ධු සමග සිවිල් පිට, යතුරු පැදියෙන් ආවා. එතැන මාගේ අයියා, ඔහුගේ බිරිඳ හා මාගේ බිරිඳ හිටියා.

උ.පො.ප.අමිල ජයසේකර මට යතුරු පැදියේ නගින්න කියා. සැරයන් බන්ධු පිටුපසින් නැග මාව මැදන් තියාගෙන, මොරගල්ල සංචාරක පොලිසියේ, කොටර්ස් එකට ගෙන ගියා. මාව ගෙනියන විට නිලධාරීන් තුන්දෙනෙක් සිටියා. එක් අයෙක් සංචාරක පොලිසියේ ස්ථානාධිපති. එහිදී උ.පො.ප.අමිල ජයසේකර මට කිව්වා, උඹව ගෙන ආවේ මංකොල්ලයක් ගැන දැනගන්න. උඹලා තමයි කරලා තියෙන්නේ, බඩු ටික දියන් යයි කිව්වා.

මට ඔහු පහරවල් කිහිපයක් ගසා, කියන ලෙසට ඉල්ලා සිටියා. එසේ ඉන්න විට, අලූත්ගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.උපුල් පැමිණියා. ඔහු ආවාට පසුව මාංචු දැම්මා. ඔහු උ.පො.ප.අමිල ජයසේකරට කිව්වා හුරතල් කරකර ඉන්නේ නැතිව විස්තරය කියන්න කියා.
එවිට උ.පො.ප.අමිල ජයසේකර කිව්වා- කලූවාමෝදර සුද්දි ගේ ගෙදරට පැනලා, සුද්දිගේ බෙල්ලට පිහියක් තියලා, ඔරලෝසුවයි, මුුද්දයි, කෝටි 4 1/2 ක් වටිනා රණ්භාන්ඩ, මංකොල්ලා කාලා තියෙනවා, කියා. ඊට පස්සේ ස්ථානාධිපති පාරවල් කිහිපයක් ගැහුව්වා. එ් සමගම උ.පො.ප.අමිල ජයසේකරද යන්න ගියා.

ඊට පස්සේ එතැනට උ.පො.ප.හේරත් හා පො.කො.කීර්ති පැමිණීයා. ඔවුන් ආ විගස මට අතින් පයින් පහර දුන්නා. ඉන්පසු උ.පො.ප.හේරත් ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ වධ දෙන පිංතූර පෙන්වා, මේ විධිහට වධ දෙන්න ඉස්සෙල්ලා මංකොල්ලය ගැන කියන්න කිව්වා. මම ඔවුන්ට පුන පුනා කිව්වා මා එ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියා. ඒ වෙලාවේ මාංචු ගලවා, මට ඇඳුම් ගලවන්න කිව්වා. ඇඳුම් ගැලෙව්වාට පසුව මගේ ටී ෂර්ට් එකෙන් ඇස් දෙක බැඳලා, මාංචු දාලා බිම වාඩි කරවා, අත්දෙක දණිස් දෙක අස්සෙන් තියා, ගැල්වනයිස් බටයක් යවා, එයින් අල්ලා මේසයක් හා පුටු ඇන්දක් අතර තිබ්බා. ධර්මචක‍්‍ර ක‍්‍රමයට එල්ලූවා. පොල්ලකින් යටිපතුල් වලට ගැහුව්වා. අතින් පයින් මුහුණට අතින් පයින් මුහුණට, ඇගේ හැමතැනටම ගැහුව්වා. උ.පො.ප.හේරත් ඊලඟට ඔය කොච්චි දිය කරලා මූට දාමු යයි කිව්වා. මගේ කටට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කලා.

ඒ අතර, කුණූ හරප කියමින්, මට අවජාතකයා යයි කියා බනිමින් නින්දා කලා. මාව මගේ දෙමාපියන් අරන් හදාගත්ත නිසා තමයි අවජාතකයා කියා පරිභව කළේ. විනාඩි 20 ක් පමණ එසේ කර බිමට බෑවා. මම වතුර ඉල්ලූවාම වතුර බිංදු කිහිපයක් කටට වැක්කෙරුවා. විනාඩි 10 ක් විතර එසේ තබා නැවත පෙර විධිහටම එල්ලා වධ දුන්නා. එ් ආකාරයට හතර වරක් මා එල්ලා වධ දුන්නා. එ් හතරෙන් පස්සේ මාගේ මාංචු ගලවා, මාව අල්ලා නැගිට්ටෙව්වා. එහෙට මෙහෙට ඇවිද්දෙව්වා. එ් අතර මට කුඩු  ඕනෑද කියා ඇහුව්වා.

මට තේ දෙන්න හැදුවා. මම වතුර විතරක් බිව්වා. ඇඳුම් ඇඳගන්න දුන්නා. රාත‍්‍රී 7 ට විතර ජීප් රථයෙන් අලූත්ගම පොලිසියට ගෙන ගියා. මාව කූඩුවට දැම්මා. ගෙදර අයට බලන්න දුන්නා. ගෙදරින් කෑම ගෙන ආවා. බදාදා රාත‍්‍රී 8.30 පමණ, නීතිඥවරුන් 4ක් මාව බලන්න ආවා.

2020.01.23 දින, සවස 4 ට කලූතර මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා. වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියේ ඉල්ලීමට 2020.01.29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා.

2020.01.29 දින අධිකරණයෙන් මට ඇප ලබා දුන්නා. මීළඟ නඩු දිනය 2020.06.17 දින වේ.

මාව 2020.01.23 දින කලූතර බන්ධනාගාරයට ඇතුලත් කරන වටදී, මම ඔවුන්ට කිව්වා පොලිසියෙන් ගහපු බව. පසු දින බන්ධනාගාර රෝහලට ගෙන ගියා. එතන දින 2ක් හිටියා.

ඇප ලබා ගැනීමෙන් පසුව, 2020.01.29 දින මට අමාරු වුනත්, පසුදින අධිකරණයට ඉදිරිපත් වීමට තිබූ නිසා, ප‍්‍රතිකාර ගන්න ගියේ නැහැ. 2020.01.30 සවස, වෛද්‍ය ඥනසේකරම් ව, කලූතර පිලිප් නර්සිං හෝර්ම් එකේදී චැනල් කලා. ඔහු කිව්වා ප‍්‍රතිකාර කරන්න බැහැ, නාගොඩ මහා රෝහලට යන්න කියා. 2020.01.31 දින ඒ අනුව රෝහල් ගත වුනා. 2020.02.01. දින ටිකට් කැපුවා.

මා ඉල්ලා සිටින්නේ,

1. මාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගන්නා ලද,
2. නීති විරෝධීව රඳවා තබාගන්නා ලද,
3. කෲර අමානුෂික වධහිංසාවන්ට පාත‍්‍ර කරන ලද,
4. ව්‍යාජ චෝදනා නගා නඩු පවරන ලද,

අලූත්ගම පොලිසියේ,
1. ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.උපුල්
2. අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.අමිල ජයසේකර
3. එම පොලිසියේ පො.කො.බන්ධු,
4. එම පොලිසියේ උ.පො.ප.හේරත්
5. එම පොලිසියේ පො.කො.කීර්ති
6. සංචාරක පොලිසියේ ස්ථානාධිපති ට,
එරෙහිව නීතිමය හා විනායුනුකූල පියවර ගන්නා ලෙසටය.

මා අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධහිංසා පමුණූවීම සම්බන්ධයෙන්, මාගේ බිරිඳ  විසින් 2020.01.31 දාතමින් ඔබ වෙත පැමිණිලි කරන ලද බව සිහිපත් කරමි.

මෙයට,
අ.ක/රෝහිත
පොලිස් අපරාධ නතර නොකර, රටේ අපරාධ අවම කිරිමටවත් නොහැක. පොලිස් අපරාධවලට එරෙහිව කථා කරමු. පවතිනිනාවු යුක්තිය පසඳලීමේ ක‍්‍රමය හෙළිදරව් කරමු.
මේ හා සම්බන්ද වීඩියෝව - 
https://www.youtube.com/watch?v=NFyHB7OnxGM



No comments:

Post a Comment