Monday, June 20, 2011

පොලිස් අතීසාරයට 'සාරධර්ම' අමුඩය

 හැරිසන් මහතා


හික්කඩුවේ හැරිසන් (ටෙනිසන්) මහතාට විරුද්ධව බොරු චෝදනා නගන්නේ 2008 අප්‍රේල් 02 වන දිනය.

සිද්ධියට මුල්වන්නේ දැනට උසස්වීමක් ලැබ, යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කරන එවකට හික්කඩුව පොලීසියේ සේවය කල උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා ඔහුගේ සහායට පැමිණී කොස්තාපල් 64244 සුරංගය.

බීමත්ව අශෝබන ලෙසට හැසිරීම යන චෝදනා යටතේ අංක 8049 යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හැරිසන්ට විරුද්ධව බොරු නඩුව දාන්නේ හික්කඩුව පොලීසියේ ස්ථානාධීපති පො.ප.විදානගේය. එයට අමතරව මොහු හැරිසන්ගේ පුතාට ද පොරැ නඩුවක් දැම්මේය.

අධිකරණයේදී හැරිසන් චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එයින් අනතුරුව කිසිම නඩුවාරයකට පොලීස් සාක්ෂිකාරයින් ඉදිරිපත් වුනේ නැත. සාක්ෂීකරුවන් වු උප පොලිස් පරීක්ෂක - දැනට යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති සංජීව සෙනෙවිරත්න, කොස්තාපල් 64244 සුරංග හා බොරු වෛද්‍ය සහතික දුන් හික්කඩුව රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී කොඩිතුවක්කු - සියලු නඩුදින මග හැරියේය.

වසර තුනකට පසුව - හැරිසන්ව නඩුවෙන නිදහස් කරන්නේය. ඒ 2011 මාර්තු 11ය.

තමාගේ, තම පුතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබෙන මූලික අයිතිවාසිකම් නඩුවේ පළමු වගඋත්තරකරු - උ.පො.ප.සංජීව සෙනෙවිරත්නය. පිළිවෙලින් සෙසුවගඋත්තරකරුවන් වන්නේ, කොස්තාපල් 64244, හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න ගේ මිතුරිය වන සුසානි අන්ජලා, පොලිස්පති හා නීතිපති ය. මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාග වෙමින් පවතී.

කරුණු මෙසේ තිබියදී, හැරිසන්ට විරුද්ධව යලිත් 8049 දරන නඩුව පවරන හික්කඩුව පොලීසියේ ස්ථානාධිපති, සිතාසි බාරදුන් බවට අමූලික බොරු සහතිකයක් උසාවියට ඉදිරිපත් කර, හැරිසන්ව අත්අඩංගුවට ගැනීමට සැරසේ.

එම උත්සාහය අසාර්ථක වුවද, බොරු නඩුවට උසාවියට ඉදිරිපත් නොවීම යන කරුණ මත නැවත, හැරිසන්ට ඇප නියම කර, ඔහු බලවත් මානසික වධහිංසාවට පාත්‍ර කරයි.පොලීසියේ දූෂිත ක්‍රියාවන්, නීති විරෝධී ක්‍රියාවන් අභියෝගයට ලක්කරන සාමාන්‍ය වැසියන්ට බොරු නඩු දමමින් හිංසාවට පත් කිරිම පොලීසියේ පිළිවෙතයි.

එක් දූෂණයක් වසන්න තවත් දූෂණ සිදු කිරිමත්, එක් අපරාධයක් වසන් කරන්න තවත් අපරාධ කරන්නත්, සියලුම තරාතිරම්වල පොලිස් කාරයින් චකිතයක් භියක් නැතිව පාදඩයින් ලෙසට කටයුතු කරන්නේ - ඔවුන්ට පොලිස් ඉහළයින්ගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන නිසාය.

රටේ නීතිය ක්‍රියාත්මක නොකර, පොලීසියේ නීතිය ක්‍රියාත්මක නොකර, පොලිස්කාරයින්ව හදන්න - සාරධර්ම ගැන බණපංතිවලට යැවීම - 'පොලිස් අතීසාරයට සාරධර්ම අමුඩ  ' ගැසීමක් බව කිව යුතුය.

හැරිසන් මහතාගේ කථාව ලක්ෂ ගණනක් පොලිස් නීති විරෝධී දූෂණ ක්‍රියාවන්ගේ ඇබිත්තක් පමණි.

No comments:

Post a Comment