Saturday, December 10, 2016

මතුගම පොලීසිය, පියා වෙනුවට 18 හැවරිදි පුතාව ප‍්‍රාණ ඇපයට අරන්.


අද දහවල් පොලීසියට ගිය තම පුතාව අත් අඩංගුවට ගෙන, ප‍්‍රාණ ඇපකරුවෙකු විදියට නීති විරෝධිව රඳවා තබාගෙන සිටින බව ප‍්‍රකාශ කරන, වතු කම්කරුවකු වන අන්තෝනි අයියා දේවරාජ්, මතුගම පොලීසිය මෙම ක‍්‍රියාව සිදුකරන්නේ ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවකු සමග එක්ව තමා ගෙන් පළිගැනීමට බව, පොලිස්පතිට කියා සටී. 
ඔහු පොලිස්පතිට යවන ලද ලිපිය පහත දැක්වේ.


පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

පුතාව ප‍්‍රාණ ඇපයට ගෙන මට විරුද්ධව බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

අන්තෝනි අයියා දේවරාජ්, අවු: 53 යි, විවාහක, දරුවන් 03 යි, කම්කරු, 
ලිපිනය: සිරිකඳුර වත්ත, මතුගම.

2016.12.10 වන දින දීය.

මාගේ පුතාවන දේවරාජ් සදිශ් කුමාර, අවු 18 යි, 2016.12.10 වන දින, දහවල් 12.00 ට මතුගම පොලීසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.

අප පදිංචි ලයිම් කාමරවල පවුල් දෙකක් අතර ආරවුලකට මෙසේ ගෙන්වාගෙන තිබේ. 

එම ආරවුල නිසා තුවාල ලැබූ මා, 2016.12.09 රාත‍්‍රියේ වෑත්තෑව රජයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන අද දවල් පිටවිය.

මාගේ බිරිඳ වන කේ. විජයකුමාරි ට මතුගම පොලීසියෙන් දුරකතනයෙන් කථා කර, මට පොලීසියට පැමිණ බාර වෙන ලෙසටත්, බැරලයක් හා අරක්කු පෙරන දඟර රැගෙන එන ලෙසටත් දන්වා ඇත.

මා නීති විරෝධී මත්පැන් පෙරන අයෙක් නොවේ.

අප ලයිමේ පදිංචි, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන ශ‍්‍රී රංගම් සහ ඔහුගේ මස්සිනා වන මදනා යන අයගේ අවශ්‍යතාවයට මතුගම පොලීසියේ සහය ඇතිව බොරු නඩු දැමීමට උත්සාහ ගනී.

මීට පෙරද මට බොරු නඩු පවරා තිබේ. 

දැනට වසර 6ක් තිස්සේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින බොරු නඩුව (අංක 58972), 2016.12.08 දින කැඳවූ අවස්ථාවේ, බෝතල් දෙකක් දාලා තියෙන්නේ, වරද පිළිගෙන නඩුව ඉවරයක් කරගන්නා ලෙසට, අධිකරණය කළ යෝජනාවට මා එකඟ නොවීම නිසා, මාගේ පුතාව ප‍්‍රාණ ඇපකරු වශයෙන් තබාගෙන, මා පොලීසියට ගෙන්වා බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට ඉල්ලමි.

මෙයට,

අන්තෝනි අයියා දේවරාජ්

No comments:

Post a Comment