Wednesday, August 20, 2014

අවු : 90 යි, යුක්තිය වෙනුවෙන් පාරට බැස - පොලිස් අත්අඩංගුවට



හිට්ලර්ගේ වධක කවුරින් බේරුණු කිහිප දෙනා අතරින් කෙනෙකු වූ 90 හැවිරිදි, හේඩි එපස්ටියන් ඇමෙරිකාවේ මිසොරි ප්‍රාන්තයේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ කළු ජාතික මයිකල් බ්‍රවුන් ට සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් පවත්වන පෙළපාලි වලට එක් විය.

ඉතා තරුණ වයසේ සිට යුක්තිය වෙනුවෙන් සටන් කළ තමාට, අවු : 90 දී, මේ ආකාරයට පාරට බසින්නට සිදු වේ යැයි නොසිතූ බව පොලිස් අණ නොතකා පෙළපාලියේ යෑම නිසා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය.

කළු ජාතික නිරායුධ තරුණයෙකු වූ 18 හැවිරිදි මයිකල් බ්‍රවුන්ව පොලීසිය වෙඩි තබා මරා දැමීමට එරෙහිව, එම ප්‍රන්තයේ ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබේ.

වෙඩි තැබීම ගැන යුක්තිය ඉටු කරන බවටත්, සන්සුන් වන ලෙසටත් ඇමරිකානු ජනාධිපති ඔබාමා මිසොරි ප්‍රාන්ත ජනයාට කළ ආයාචනය පලක් වී නැති බව වාර්තා වේ.

එරට මේ වන විට,  මයිකල් බ්‍රවුන්ව වෙඩි තැබූ නිලධාරියා ලෙසට ඩැරන් විල්සන් නම් වූ නිලධාරියා ව හුනාගෙන තිබේ.

 මයිකල් බ්‍රවුන්ගේ සිරුරේ වෙඩි පහරවල් දහතතුනක් තිබූ බව, ඔහුගේ සිරුර පරීක්ෂා කළ පවුලේ වෛද්‍යවරයා අධිකරණයට වාර්තා කළේය.

ඇමෙරිකාවේ පොලීසිය මිලිටරිකරණය කිරීමට එරෙහිව මේ වන විට විරෝධතාවයන් එල්ල වී තිබේ. පොලීසිය නිරායුධ කළ යුතු බව ඔවුන් ගේ ඉල්ලීමයි.

මෙම විරෝධතාවයන්ට නායකත්වය දුන් 90 හැවිරිදි, හේඩි එප්ස්ටියන් නට්සි යුද්ධ අපරාධ ගැන නියුරන්බර්ග් නඩු විභාගයදී සාකෂි දුන් තැනැත්තියෙකි.

ඇය කියා සිටින්නේ ඉදිරියට අවු 90 අයට විරෝධතාවලට එක් නොවී සිටින්නට හැකි සාධාරණ සමාජයක් බිහිවිය යුතු බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇය ඇමරිකාවේ පදිංචියට පැමිණි අයෙකි.


 

No comments:

Post a Comment