අපේ කථාවක්. දැනට 59 වියෙහි පසුවන ඇයගේ අපේක්ෂාවන් තවමත් බිදී නැත. පුතා ප්‍රමුඛ පෙළේ සමාගමක විධායක මට්ට්මේ නිලයක් දරන කෙනෙක්. ඒ නිසාම දැන්ම තම නම ගම හෙලිනොකර සිටින්නට ඇය බලාපොරොත්තු වේ.
ඇයව අප මරියා කියා හදුන්වමු. මරියා තම එකම පුතාට 2013.12.06 දාතමින් ලියන ලද ලිපියේ මෙසේ සඳහන්වේ.
‘‘මෙය මා ලියන්නේ, නීතිමය පියවර ගැනීමට පෙර බව හා කිරීමට වෙන දෙයක් නොමැති නිසා බව අකමැත්තෙන් වුවද ප‍්‍රකාශ කරමි. පියා,මාගේ මව අතහැර ගිය පසුව, මාව - අප ස්වාමිදුවගේ කන්‍යාරාමයේ ඉස්තෝප්පුවේ දමා ගියා. එවිට මගේ වයස මාස තුනයි.
එම කන්‍යාරාමයේ ‘‘මවතුමියන් හා කන්‍ය සොයුරියන්” විසින් මා රැගෙන ගොස්, වයස අවුරුදු 14 වන තෙක් හදාවඩා ගත්තා. එයින් පසුව,මාව, නිවෙස්වල මෙහෙකාර කම් කිරිම සඳහා එම කන්‍යාරාමයේ මව්තුමියන්, නිවෙස්වලට බාර දුන්නා.
වයස අවුරුදු 18දී පමණ, මා ඔබගේ පියා ‘‘විලී” සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගනු ලැබුවා. ඔහු තවමත් ජිවතුන් අතර. මා ඔහු පදිංචි තැන දන්නවා.මා ඔබගේ පියා සමග නීත්‍යානුකූලව විවිහ නොවූවද, අඹු සැමියන් ලෙසට ජීවත් වුනා.1976 ඔබ ලැබෙන්නට සිටින විට තමයි දැන ගත්තේ ඔහු විවාහකයෙක් බව. ඔබව ලැබෙන්නට මාව මව් තුමියන්, නායක්කන්ද මඩමට බාර දුන්නා.
ඔබව ලැබුනේ් නායක්කන්ද මඩමේ සිටින විට. උපත සිදුවුනේ රාගම මහා රෝහලේදී ය. එ් බව ඔබගේ උප්පැන්න සහතිකයේද සඳහන්ව තිබේනවා. නායක්කන්ද මඩමේ, ඔබ ලැබී සිටින විට, බාර මව්තුමියන්, කන්‍යා සොයුරියන්, ඔබ වෙනත් පවුලකට හදා ගැනීමට දෙන ලෙසට මට නියම කලා.
මා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලා. ඒ නිසාම, මට ඔබවද රැගෙන මඩමෙන් පිටවන්නට මට සිදුවුනා.මා යන එන මං නැතිව, කර කියා ගන්න දෙයක් නැතිව, --- ශාන්ත --- දේවස්ථානයට පැමිණියා. මා සියලූ විස්තර, ----පියතුමාට ප‍්‍රකාශ කලා. එම පියතුමා මා ගැන දඩි අනුකම්පාවෙන්, දේවස්ථාන භූමියේ තිබුන, අතහැර දමා තිබුන නිවසක මට පදිංචිවීමට සලසා දුන්නා.එම ස්ථානයේ, මා මාස තුනක් ගත කලා. ----- පියතුමා, එම දේවස්ථානයෙන් මාරුවීම නිසා, නැවත අසරණ වුනා. ඔබව මා, පරිවාසයට බාරදීමට උත්සාහ ගත්තා. නමුත් බාරගත්තෙ නැහැ.---- පියතුමාගේ මැදිහත්වීමෙන් ඔබ, ගම්පොල මඩමට බාර දුන්නා.
මා ඉන්පසු, තැන් තැන් වල සිට, කුවෙයිට් රටට මෙහෙකාර කමට ගියා. එවිට මාගේ වයස අවුරුදු 21යි. එහිදී මට නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවුනා. මාස හයකින් ආපසු ලංකාවට ආවා. නැවත ලෙබනන් රටට ගියා. එයින් පසුව ජේර්දාන්, සවුදි රවවල මෙහෙකාරකමට ගියා. මේ සෑම රටකදී මා දහදුක් වින්දා.
මාගේ තරුණ ජීවිතය ගත කළේ ඔබව හදාවඩා ගන්න. ඔබගේ ඉගෙනීමට, නඩත්තුවට මා වියදම් කලා. මව්තුමියන්ද වියදම් කලා . දැනට ඔබ විවාහ වී විසර දහයක් වෙනවා. මට ඔබ සැලකූ හැටි ඔබට කිවයුතු නැත. ඔබගේ හෘදය සාක්ෂිය දන්නවා ඇත.
මීට වසරකට පෙර, ඔබ දැනට පදිංචි නිවසට පැමිණි පසුව මට කාමරයක් හදා දුන්නා. දැන් එම කාමරයෙන්ද මාව පන්නා ගන්න හදනවා. මා නැති වේලාවට ඔබගේ බිරිඳගේ මල්ලී ------- කාමරයේ ‘‘දුම් වගයක් පානය කරනවා”.
මා විදේශගතව සිටින විට ඔබගේ ඉල්ලීම් අනුව, මා ඩොලර් 500 බැගින් දෙවරක් එව්වා. එම ඩොලර් 1000 මා පැමිණි පසුව මට නැවත දෙන බවට ඔබ පොරොන්දු වූවා. දැනට එහි වටිනාකම රුපියල් ලක්ෂයකට වැඩියි. මට ඒ මුදල අවශ්‍යව තිබෙන්නේ මාගේ ඇසේ සුද ඉවත්කරවා ගන්න, ශෛල්‍යකර්මයට යන වියදම පියවා ගැනීමටයි. මාගේ වයස දැන් අවුරුදු 59යි. මා දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. ක්ලොස්ට්‍රොල් තිබෙනවා. වකුගඩු රෝගයක් තියෙනවා.
ඔබගේ පියා මාව රැවැට්ටුවා. දැන් ඔබ මට නොසලකා හරිනවා. මා ඔබව උස්මහත් කරන්න විඳි දුක දන්නේ මා පමණි. මේ සියල්ල ඔබ හොඳින් දන්නවා. වයස අඩුවෙන් දාලා බොරු ලිය කිය වලින් කුවෙයිට් රටට මාව යවන්න ඒජන්සියක් සුදානම්. ජිවිතය ඔට්ටුවට තියලා මට දැන් එය කරන්න සිද්ධවන වා. මාගේ කථාව මීට දිගයි. එම කථාවෙ තියෙන්නේ - දෙමාපියන්ට හදාගන්න බැරිව පල්ලියක ඉස්තෙිප්ප්වේ දාලා ගිය ගැහැණියකගේ කථාව.ඔබ හා බිරිඳ මාව නැවත මහමගට දමන්නට ගන්නා උත්සාහය නවත්වන්න.
--- ශාන්ත --- දේවස්ථානයේ ඔබව රැක බලා ගෙන ඉන්න කොට පල්ලියේ සමහරු කථාන්දර හැදුවා. ඒ කාලේ ගාමිණ් ෆොන්සේකා මහත්යාගේ චිත්‍රපටයක් තිර ගතවුනා. දෙවියණි ඔබ කොහේද? චිත්‍රපටය. එහි ගාමිණි ෆොන්සේකා රඟ පෑවේ පියතුමාගේ චරිතය. ඒ කථාව මගේ කථාව කියලා මට හිතුනා.
මට හැමදෙනාම කියන්නේ නීතිය මගින් පියවර ගන්න කියා. මම ඒක කරන්නේ නැහැ. ඒ ඔබ මගේ පුතා නිසා. මා දෙවියන්ගේ නාමයෙන් මෙය ඉල්ලන්නේ, මාගේ ශෛල්‍යකර්මයට අවශ්‍යව තිබෙන ඉහත සඳහන් මුදල ලබාදෙන ලෙසට හා කරදරයකින්, කෙනෙහිලිකම්වලින් තොරව මට කාමරයේ සිටීමට ඉඩ සලසන ලෙසට. මෙයට, මරියා (මව).”
No comments:
Post a Comment