Thursday, June 13, 2013

ප්‍රථම සාක්ෂියෙන්ම චූදිත නිදොස් කොට නිදහස්.

මොරටුව  පොලීසිය විසිහත් හැවිරිදි අසිත කුමාරව, අත්අඩංගුවට ගෙන වධ දුන්නේය. එයින් අනතුරුව බොරු නඩු දෙකක් පැවරුවේය.
එක් නඩුවක් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙනි. අනෙක රන් මාලයක් මංකොල්ල කෑම සම්බන්ධයෙනි.
බී 5253/2012 අංක දරණ නඩුවෙන් 2012.06. 06 හෙරොයින් මිළිග්‍රෑම් 2200 ක් ප්‍රවාහනය කළ බවට චෝදනා කර තිබුනේය. බී 5190/2012 නඩුවෙන්, රු. 7000/=ක් වටිනා රන් මාලයක් මංකොල්ල කන ලද බවට චෝදනා කර තිබින. හෙරොයින් මිළිග්‍රෑම් 2200 ක් ඔහු ප්‍රවාහනය කරමින් සිටිය දී අසිත කුමාර අත්අඩංගුවට ගත්තේ 2012.06.06 දින බව මොරටුව පොලීසිය කියා සිටියේය.
නමුත් අසිත කුමාරව අත්අඩංගුවට ගනු ලැබූයේ, 2012.06.04 වන දින නිවසේ සිටියදීය.
මෙම නඩුවට ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් වරයාට නොතිබිණ.  එහෙත්, තමාව අත්අඩංගුවට ගත්තේ 2012.06.04 දින බව ඔප්පු කර සිටීමට, අසිත කුමාරට හැකියාව තිබිණ. ඒ අනුව -  ඔහුව මුදා හැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
ඊ ළට ඔහුට මූණපෑමට සිදු වූයේ රන් මාලයක් මංකොල්ල කෑමේ චෝදනාවටය.
බී 5190/2012 අංකය යටතේ වූ එම නඩුව, 2013/06/11 වන දින විභාගයට ගැනින.
පළමු සාක්ෂිකාරිය වූයේ, රන් මාලය අයිතිකාරිය ලෙසට ඉදිරිපත් වූ තැනැත්තියයි. පොලීසිය ඇයව අධිකරණය හමුවට පත්කොට සාක්ෂි දුන්නේය. මේ සාක්ෂියේ දැඩි පරස්පරතාවයන් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, වැඩි දුරටත් නඩුව පවත්වා ගැනීමට අවශ්‍ය නැති බව ප්‍රකාශ කොට, අසිත කුමාරව නිදොස් කොට නිදහස් කළේය

පොලීසියේ බොරු නඩු දැමීම මහජනයාට පාඩුවකි. අධිකරණයට කරන අපහාසයකි. ජනතාව පීඩාවට පත් කරන්නකි. නොපමාව බොරු නඩු දැමීම වලක්වා ලීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. බොරු නඩු දැමීම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් බව වටහා ගත යුතුයි.

මෙයට පූර්ණ වගකීම දැරිය යුත්තේ පොලීසිය බාර ඇමති මහින්ද රාජපක්ෂය. මෙය නරක පොලිස් කාරයින්ගේ වැඩක් නොවේ. බොරු නඩු දැමූ පොලිස් කාරයින්ව තවමත් ඇමති මහින්ද රාජපක්ෂ එම පොලීසියේ තබාගෙන සිටින්නේ ඒනිසාය.


No comments:

Post a Comment