Wednesday, September 25, 2013

ඇට දෙකෙන් උස්සලා ගහන්න - මාතර ඒ.එස්.පී. රංජිත් සිල්වාගෙන් නියෝගයක්.

මහ පාරේ බිම දමා අත පය කැඩූ වැලිගම පොලිසියේ - මූ.පො.ප.තවමත් නිදැල්ලේ.
 මස් කඩ මුදලාලි ගේ කොන්ත්‍රාත්තුවක්.

වැලිගම පොලිස් වසමේ වැල්ඩින් කාර්මිකයෙකු වු එච්. එම්. අජිත් (අවු.33) රාජපක්ෂ බලයට ගෙන ඒමට කැපුවු අයෙකි. ශ්‍රි ලංකාවේ නීතිය කඩා වැටී ඇති බව ප්‍රකාශ කිරිම ඩයස්පරාවේ වැඩක් ලෙසට බැහැර කල අයෙකි. ජනාධිපති ගේ සෘජු පාලනය යටතේ පවතින පොලීසිය මස් කඩකාරයින් ගේ උවමනාවට වැඩ කරන තත්වයට පත්ව තිබෙන බව වැටහුනාද? යන්න සැකයෙකි.  

තමාව පොලිසියෙන් සොයන බවට දැනගන්නට ලැබුනු වහාම වැලිගම පොලිසියට ගියේය. ඒ 2013.09.10 වන දිනය. පොලිසියට ගිය හැටියේම, ස්ථානාධීපති කාලිංග ඔහුව ජීප් එකට දාගෙන, වැලිගම බරකත් හෝටලයට ගෙන ආවේය.

හෝටලයේ ඉදිරිපිටදී කණට ගසා එය තුලට ඇදගෙන ගොස් පහරදී දණ ගස්වා, කොසු දෙකක් කැඩෙනතුරු පහරදී බිම ලෙව කවන ලදි. ඉන් අනතුරුව මහ පාරට ගෙනවිත්, දණගස්සවා කුරුදු පොල්ලකින් පහරදී වම් අත කඩා දමන ලදි.

අතුරුව පොලිසියට ගෙන ගිය විට, ඒ අවස්ථාවේ පොලිසියේ සිටි - මාතර සහකාර පොලිස් අධිකාරී III රංජිත් සිල්වා - මූට ඔහොම ගහලා මදි, ඇට දෙකෙන් උස්සලා ගහන්න ඕනා යයි පවසා තිබේ.

ඔහුගේ බිරිද මෙම අමානුෂික පහරදීම ගැන මාතර, මානව හිමිකම් කොමිෂන් සභා ශාඛා කාර්යාලයට හා පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කරන ලදි.

රාත්‍රියේ දැඩි ලෙස රෝගාතුරු වූ මොහුව මාතර මහා රෝහලට ගෙන යන ලදි. එහිදී, ඔහු පරීක්ෂා කල වෛද්‍යවරිය වහාම නේවාසිකව නැවැත්විය යුතු බව කී විට, බලයෙන් ඔහුව පොලිසියට ගෙන එන ලදි.

පසු දින, මාතර මහා රෝහලේ අධීකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත නානායක්කාර නැමැති වෛද්‍යවරයා සමග එකගත්වයක් ඇති කරගෙන, ඔහුව මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට ගෙන ගොස් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇත.

මේ අවස්ථා දෙකටම, වැලිගම පොලිසියේ ස්ථානාධීපති කාලිංග සමග සහකාර පොලිස් අධිකාරී IIIරංජිත් සිල්වා සහභෘගී වී තිබේ.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ විමෙන් අනතුරුව, මොහුගෙන්  සහකාර පොලිස් අධිකාරී III රංජිත් සිල්වා ප්‍රකාශයත් ලියාගෙන ඇත.

සති දෙකකට ආසන්නවී ඇතත් අජිත් ට පහරදී බරපතල තුවාල සිදුකල වැලිගම පොලිසියේ ස්ථානාධිපති කාලිංගව හා එම අපරාධයට පූර්ණ සහය දෙමින්, එය වසන් කිරීමට තැත්කල, මාතර සහකාර පොලිස් අධිකාරී III රංජිත් සිල්වා ව අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයාට නොහැකිවී තිබේ.

මෙම අපරාධය පිළිබදව, පොලිසිය බාර ඇමති - ජනාධිපති රාජපක්ෂ ඇතුලු ආණ්ඩුවේ වගකිව යුත්තන්ට ලිඛීතව පැමිණීලි කලද, මේ දක්වාම වැඩක් වී නොමැත‍. මාතර මානව හිමිකම් කොමිෂන් කාර්යාලයද, අපරාධකරුවන් රැකීමට පියවර ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

මෙම පහරදීම වැලිගම ප්‍ර දේශයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වන හරක් මස් කඩ මුදලාලි කෙනෙකුගේ කොන්ත්‍රාත්තුවක් බවද කියති.

No comments:

Post a Comment