Monday, April 22, 2013

මාතලේ ජන ඝාතනය වළලා දැමීමට ඉඩ නොදෙනු


මාතලේ දිසා මහා රෝහලේ සමූහ මිනීවලේ හමුවූ මිනිස් අස්ථි කොටස් වල අන්‍යතාවය තහවුරු කර ගැනීම ජාතික වගකීමකි.

මෙම අස්ථි කොටස් කාගේද යන්න සොයා බැලීම හා නිශ්චිත කාල නිර්ණය කිරීමේ අතිශයින්ම වැදගත් කාරණය ගැන - කිසිම දේශපාලන පක්ෂයකට අවශ්‍ය නැත. ආගමික නායකයින්ට අවශ්‍ය නැත. සිවිල් සමාජයටද අවශ්‍ය නැත.

මෙම සමූහ මිනීවල 88-89 කාල පරිච්ජේදයට අයත්වූ බවට වන පුරාවිද්‍යාත්මක නිගමනය හා මෙම ස්ථානය කිසිදු ආකාරයකින් සොහොන් බිමකට අයත් නොවන බවට වන මිනුන්දෝරු දෙපාර්තමේන්තු නිගමනයන් සමග - සියලු පාර්ශවයන් නිහඩ වී තිබේ.

මෙම සමූහ මිනීවල 88-89 භීෂණ යුගයට අයත් බවටද - මෙහි වගකීම මුලුමනින්ම දැරිය යුත්තේ හමුදාව බවට ප්‍රදේශ වාසීන්ගේ නිගමනය යයි.

ප්‍රදේශ වාසීන්ට අනුව - 88-89 භීෂණ සමයේ මධ්‍යම පලාතේ ජ.වි.පෙ.ක්‍රියාකාරින් සමූල ඝාතනය කිරීම් බාරව, පොලිසිය පැත්තෙන් නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොලටද, හමුදාව පැත්තෙන් හමුදා ප්‍රධානියෙකු වූ විමලරත්නටද පැවරී තිබින.

මෙහිදී මාතලේ ප්‍රදේශය ගත් විට - එම කාලයේ හමුදා කදවුරු 08ක් ගැන විස්තර කෙරෙයි. ඒවානම් මාතලේ විජය විද්‍යාලය (සයන්ස් කොලේජ්), කූඹියන්ගොඩ පන්සල, මාතලේ තානායම, දන්කන්ද විද්‍යාලය, කුරුවාව ගොවි ජන සේවා මධ්‍යස්ථානය, මන්දන්ඩාවෙල සිර මැදුර, රෝහල් බෙහෙත් ගබඩාව, උකුවෙල හමුදා කදවුර වේ.

හමුදා ප්‍රධානීන් වශයෙන් එවකට ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, ලුතින්න ශාමේන්ද්‍ර සිල්වා  හා කමල් ගුණරත්න යන අයගේ නම්, මෙම කදවුරු බාරව කටයුතු කල අය බව හැදින්වේ.

ජ.වි.පෙ.බවට හමුදාවට, පොලිසියට - නාම ලේඛන දෙමින්, බිල්ලන් සපයමින් කටයුතු කර ඇත්තේ, එවකට එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීවරුන් වශයෙන් සිටි  පී.බී.කවිරත්න, විජේරත්න බංඩා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නන්දි මිත්‍ර ඒකනායක බවද ප්‍රකාශ වේ.

මෙම කාලවකවානුවේ ජ.වි.පෙ.විසින් එක්සත් ජාතික පාක්ෂිකයින්, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ග්‍රාමෝදය සභාපතිවරුන් සියගනනක් මරා දැමූ බවද, සමහර දෙනෙකු මරා දමා තිබුනේ කපා කොටා බවද ප්‍රකාශ වේ.

මෙම පසුබිම යටතේ කිසිදු දේශපාලන පක්ෂයකට, මාතලේ සමූහ මිනීවල පිළීබදව විද්‍යානුකූල, නීත්‍යානුකූල පරීක්ෂණයක් පවත්වා - අස්ථි කොටස් කාගේද යන්න සොයා බැලීමට අවශ්‍යතාවයක් නොමැත. ඇත්ත වශයෙන්ම එසේ කිරීමට තරම් ආත්ම ශක්තියක් තිබෙන කිසිදු නායකයෙකු මෙම පක්ෂවල නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරමු.

මෙහි විශේෂ තත්වයක් ඇත. එනම් මෙම ප්‍රශ්ණය මේ දක්වා සිවිල් සමාජයේ කිසිදු පාර්ශවයක්, විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය කැදවීමට පියවර ගෙන නොතිබීමයි.

88-89 හමුදාව, පොලිසිය අත්අඩංගුවට ගත්තේ නිරායුධ තරුණ තරුණයින්වයි.

ඒ කාගේ හරි අවශ්‍යතාවයකටය. මේ පිරිස අතර ජ.වි.පෙ.හිතවාදීන්ද, ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා අනෙකුත් වාමාංශික පක්ෂ වලට සම්බන්ධ අයද, කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී සිටි පුද්ගලයින්ද විය.

මොවුන්ගෙන් අති බහුතරය සිංහල බෞද්ධයින්ය. මාතලේ ප්‍රදේශවාසීන් සමහර දෙනෙකු ප්‍රකාශ කරන්නේ මෙම පිරිසෙන් සැලකියයුතු ප්‍රමාණයක් - උඩරට අඩුකුලයට අයත් බවට සම්මත පවුල්වල සාමාජිකයින් බවයි.
මාතලේ සමූහ මිනීවල - ජන ඝාතනයක ප්‍රථිඵලයයි. මෙය පිළිබදව විද්‍යානුකූල හා නීත්‍යානුකූල පරික්ෂණ කර, අස්ථි කාගේ කවුදැයි කියා හදුනාගත යුතුයි.

එය මතු පරපුරට බියෙන් සැකෙන් තොරව නීතිය මත පාලනයක් ඇති කිරීමට හේතු වේ.

හුදෙක් දේශපාලන වාසි ගැනීමට හෝ අපරාධ කලවුන් දංගෙට යැවීමට නොව, අවශ්‍ය වන්නේ සත්‍ය සොයා ගැනීමයි.

මෙම කෘෘර අපරාධ වලට ගොදුරුව තවමත් ජීවතුන් අතර සිටින පිරිස් වලට සත්‍ය හෙළිකරන්නට අවස්ථාව ලබාදිය යුතුයි.

No comments:

Post a Comment