Tuesday, April 9, 2013

නාමල් හොදයි! ගෝඨා තමයි නරක ! !


 නීතිය මත පාලනය බිදුනු රටක, නීතියට රීතියට පිටතින් ඕනෑම දෙයක් කරන්නට හැකියාව තිබේ.

ඕනෑම අපරාධයක් කර බේරීමට පුලුවන්. පත්වීමක්, උසස්වීමක්, මාරුවක්, සේවා දිගවක් ගන්නත් පුලුවන්.

මේ තත්වය වඩාත් හොදට පැහැදිලි වෙන්නේ පළමු වසරට ළමුන් ඇතුලත් කරගැනීමේදීය. ආණ්ඩුවේ පාසල් වර්ග රැසකි. ජාතික පාසල්, අව-ජාතික පාසල්, ජනප්‍රිය පාසල්, හොද පාසල්, නරක පාසල්...ආදී වශයෙන් බෙදා වෙන්කර තිබේ.

තම දරුවා, හොදම ජාතික පාසලට ඇතුලත් කරවා ගන්නට දෙමාපියන් නොකරන දෙයක් නැත. රීරි මාංශ පවා දෙන්නට සූදානම් මව්වරු පියවරුසිටිති. ඒවා ඉල්ලන විදුහල්පති පතිනියන්ද සිටිති.

තම දියණියගේ පුතාව හදාවඩාගන්නේ ෂීලාය. කල වයස පැමිණි තම මුණුපුරාට පානදුරයේ ප්‍රමුඛ ජාතික පාසල් ලෙසට නම් දරා සිටින ශ්‍රී සුමංගල පිරිමි විදුහලට ඇතුලත් කර ගන්නට ඇයට අවශ්‍ය විය.

ඇය ඒ සදහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කලා. නමුත් මුණූපුරාට නීති රීති වලට අනුව ලැබී තිබුනේ ළකුණු 75ක් පමණි.

ඇය එම ළකුණු දීම වැරදි බව කිව්වේ නැත. නමුත් ළකුණු අඩුවුනත් - විශේෂ ලැයිස්තුවේ නම ඇතුලත් කර ගන්න පුලුවන්නම් - ළමයාව පාසලට ඇතුලත් කරගත හැකි බව පවසා ඇත්තේ විදුහල්පතිය.

ඇයගේ උපන්ගම මාතර යටියනය. ඇය රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධයක්ද ඇත.

බෙලිඅත්තට ගිය ඇය - මංත්‍රී නාමල් රාජපක්ෂ හමුවී, තම මුණූපුරාව පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලට ඇතුලත් කරදෙන ලෙසට ඇයද සිටියේය.


ඇය විමසා සිටි පරිදි - හිත උණුවූ නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා පුතාගේ ඔලුව අතගා - දරුවාව පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලට ඇතුලත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් ඉදිරිපත් කළේය.


නමුත් පිළිතුරක් නැත. ඇය පවසන අන්දමට, අරලියගහ මැදුරටත්, ඉසුරුපායටත්, ශ්‍රී සුමංගල පිරිමි විදුහලටත් මාරුවෙන් මාරුවට ගියේය.

සෑම තැනකින්ම ඇයට ඇති කළේ  බලාපොරොත්තුවයි. 2013.03.15 දින පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පති සෝමතිලක - ඇයගෙන් යලිත් ඉල්ලීමක් ලියවාගෙන - එයට පහත සදහන් නිර්දේශය ඇතුලත් කළේය.


ගරු ලේකම් තුමා,
අධ්‍යාපන අමාත්‍යංශය.
ගරු පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා මේ පිළිබදව
ඉල්ලීමක් කොට ඇත. ඒ අනුව නිර්දේශ කොට අනුමැතිය පතමි.
විදුහල්පති
ශ්‍රී සුමංගල පිරිමි විදුහල
15.03.2013

 ඇය ඉතාමත් බලාපොරොත්තු සහතිව - අධ්‍යපන ලේකම් හමුවට ගියා.

මොහු ඇයවද, පුතාවද කාර්යාලයෙන් පන්නා ගත් බව ඇය කියන්නේ - ආයිත් මේ පැත්ත පලාතේ එන්න එපා යයි කියමින් බවයි.


2013 පාසල්වල පළමු වාරය අවසන්ව තිබේ. එහෙත් තවමත් ඇගේ මුණුපුරාට පාසලක් නැත.

නීති රීති වලට අනුව - පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලට ඇතුලත් කිරීමට අවශ්‍ය සුදුසුකම් මුණුපුරාට නැත.

එහෙත් ගමේ කම්, ඥාති කම් ඇත. ඥාති නිර්දේශ ද ඇත. ලේකම් නිර්දේශ කරන්නේනම් විදුහල්පතිට මුණුපුරාව ඇතුලත් කර ගැනීමට කිසිදු බාධාවක්ද නැත.

සෑම ළමයෙකුටම නිසි වයස එළෙඹි පසු පාසලක් ලබාදීම රජයේ වගකීමයි. එය පිළිගත් පටිපාටීන් අනුව සිදුකල යුතුයි.

එය සිදු නොවන විට - මව්වරු පියවරු ඕනෑම අයථා ක්‍රියාවකින් තම දරුවාව රජයේ පාසලකට ඇතුලත් කරගැනීමට වෙහෙසෙති.

ජයගන්නා අයද ඇත. පරදින අයද ඇත. ෂීලා පැරදුණු අයෙකි. ඇය දැන් කියන්නේ නාමල් හොදයි, විදුහල්පතිත් හොදයි, නරක ගෝඨාභය ජයරත්න - අධ්‍යාපන ලේකම් බවයි.

No comments:

Post a Comment