Thursday, August 8, 2013

රු.1000/=ක මීකිරි ගෙන්වාගෙන, පහරදී, බොරු නඩු තුනක් දමා, රිමාන්ඩ් කර - බණ්ඩාරගම පොලිසිය පිං අනුමෝදන් කරගත් වගයි.

හාමුදුරුවරු දහනව දෙනෙකුට දෙන දානයකට මීකිරි ගෙන්වාගෙන, බොරු නඩු තුනක් දමා, දවස් 13ක් රිමාන්ඩ් බාරයේ ලගින්නට සිදුවූ 28 හැවිරිදි බණෟඩාරගම පදිංචි, ගොවියෙකුවූ ජනක ලසන්තට, ෂණිකවම ඵලදුන් කර්මය, ඔහුගේ පවුලට අයත් ගොපල්ලෙකුට දමන ලද බොරු නඩුවකට නිවැරැදි කරු බව - ප්‍රකාශ කරවීමය.
සිද්ධිය අදාළව - ජනක ලසන්ත මා.හි.කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.
‘‘2013.07.04 වන දින සවස 6.00ට පමණ බණ්ඩාරගම පොලිසියේ පොලිස් කොස්තාපල් චතුරංග යන අය මට කතාකොට කිව්වා හාමුදුරුවරු 19කට දානයක් තියෙනවා, හෙට උදේට මීකිරි අරගෙන පොලිසියට එන්න, සල්ලි දෙන්නම් කිව්වා.
මම ඒ අනුව, රු: 1000/=ක් වන මීකිරි මුට්ටියක් අරගෙන 2013.07.05 දින උදේ 7.30ට පමණ,බණ්ඩාරගම පොලිසියට ගියා. මම ගියේ යතුරු පැදියෙන්.
මම බණ්ඩාරගම පොලිසිය ඇතුලට ගිය ගමන් චතුරංග කියන පොලිස් කොස්තාපල් මගෙන් කිරි මුට්ටිය ගත්තා. ඒ අසල සිටි උ.පො.ප.රණවීර බයිසිකලෙන් බැහැලා මෙහෙට වරෙන් කිව්වා. මම මොකද කියා අහනවාත් එක්කම මගේ කම්මුලට පහරවල් දෙකක් ගහලා, කමිසේ කරෙන් අල්ලා පොලිසිය පිටිපස්සට ඇදගෙන ගියා.
මාව ගෙනිච්චේ පිටිපස්සේ කෑම කන තැනට. එතනදී මාව වාඩිකරවා, පොල්ලක් ගෙනවිත් උඹ නේද කඩ ටික කැඩුවේ කියා ඇසුවා. මම නැහැ කිව්වාම පොල්ලෙන් මගේ කකුල් වලට ගැහුව්වා.
ඊලඟට මාව අරගෙන බැරැක්කයට ගෙන ගියා. එහි ඇඳක මාංචු දාපු රුවන් කුමාර හිටියා. ඔහුට හොඳටම ගහලා තිබුනේ. ඔහුට කිව්වා කියපන් මූ තමයි කඩ කැඩුවේ කියා. ඔහු කිව්වා මමත්, එයත්,සමන් එක්ක තමයි කඩ කැඩුවේ කියා. මම පිළිගත්තේ නැහැ.
ඊට පස්සේ මාව ගෙනත් කූඩුවට දැම්මා. 07 වෙනි ඉරිදා, දවල් 12.00ට පමණකූඩුවෙන් එළියට ගෙන, මගේ නම, ගම, විස්තර අසා වැරැද්ද බාරගන්න කිව්වා. මම කිව්වා නොකල වරදක් බාරගන්න බැහැ කියලා. කටඋත්තර ගත්තේ උ.පො.ප.රණවීර.
එදින (07) දින -සවස 2.00ට විතර බණ්ඩාරගම රෝහලට ගෙනිච්චා. වෛද්‍යවරයෙක් මාව බැලූවා. මම කිව්වා පොලිසියෙන් ගැහුව්වා කියා.
එදින (07 ) දින - සවස 3.00 පමණපානදුරේ මහේස්ත‍්‍රාත් අධිකරණයට මාව ගෙන ආවා.
එදින හිටියේ වැඩ බලන මහේස්ත‍්‍රාත්. මගෙන් කිසිවක් ඇසුවේ නැහැ. පොලිසිය කොළ වගයක් දුන්නා. එයට අත්සන් කලා. පොලිසියෙන් කිව්වා රිමාන්ඞ් කියා. උසාවියෙන් ඇප ගන්න කියා.
මාව බණ්ඩාරගම පොලිසියේ උ.පො.ප.රණවීර හා චතුරංගපොලිස් වාහනයෙන් පානදුර දකුණ පොලිසියට ගෙනවිත් කූඩුවට දැම්මා. පානදුර දකුණ පොලිසියෙන් මගෙන් මුකුත් ඇහුව්වේ නැහැ. සවස 5.00ට විතරබන්ධනාගාර බස් එක ඇවිත් මාව හා කූඩුවේ හිටිය තවත් තුන් දෙනෙකුව දාගෙන, `ඵතර බන්ධනාගාරයට ගෙන ගියා. මට බණ්ඩාරගම පොලිසිය නඩු දෙකක් දාලා තිබුනා. එකක් කඩ කැඩුවාට. මෙම කඩ තුනෙන් එකක් බණ්ඩාරගම පොලිසිය අසල පිහිටා ඇති අතර,අනෙක බණ්ඩාරගම නගරයේ පිහිටා ඇත. අනෙක් චෝදනාව වනුයේ ඔක්සිජන් බෝතල් දෙකක් සම්බන්ධයෙනි.
2013.07.11 දින නැවත පානදුර අධිකරණයට ගෙනාවා. ඇප ලබාදුන්නේ නැහැ.
2013.07.16 වන දින නැවත මාව බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී මට විරුද්ධව පලතුරු කඩයක් කැඩුවා කියා නඩුවක් දාලා තිබුනා. එයට මට ඇප දුන්නා. නමුත් නැවත බන්ධානාගාරයට ගෙනිච්චා.
2013.07.18 දින නැවත පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා.
2013.07.25 දින නැවත පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. එදින මට ඇප ලබාදුන්නා.
මට විරුද්ධව - බණ්ඩාරගම පොලිසියෙන් දාපු නඩු තුනම බොරු නඩු එ් සියල්ලටම මම නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා.
මාව අත්අඩංගුවේ තබාගෙන සිටියදී මාව බැලීමට පොලිසියට පැමිණි මාගේ මවටද මාගේ සොහොයුරියට හා සොහොයුරාටද උප පොලිස් පරීක්ෂක රණවීර තර්ජණය කර කියා තිබුනා - වැරදිකරු කියා පිළිනොගත්තොත් බෝම්බ දාලාඇප ගන්න බැරිවෙන්න යවනවා කියා.
නීති විරෝධීව අත්අඩංගුවට ගෙන දින 2 1/2ක් නීති විරෝධීව රඳවා තබාගෙන බොරු නඩු තුනක් දැමීම සම්බන්ධයෙන්, බණ්ඩාරගම පොලිසියේ - උප පොලිස් පරීක්ෂක රණවීරපො.කො.චතුරංග හා ස්ථානාධිපති ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටි.

No comments:

Post a Comment