Friday, August 30, 2013

විනිසුරෙක්, ආබාධිතයෙකුට පහරදීලා

තම නිලයට නොගැළපෙන හැසිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ චෝදනා ලැබූ විනිසුරුවරයෙකු ආබාධිත පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අහුංගල්ල ‍පොලීසිය විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
විනිසුරුවරයා විසින් කළා යැයි කියනු ලබන පහරදීමෙන් එම පුද්ගලයා දින තුනක්ම බලපිටිය රෝහ‍ලේ ප්‍රතිකාර ලබා ඇත.
විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට කරුණු දක්වා ඉදිරියේ දී ඔහුගෙන්  ප්‍රශ්න කෙරෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 විනිසුරුවරයා විසින් පහර දී ඇත්තේ බලපිටිය මෝදරවත්තේ පදිංචිකරුවෙක් වන මාළු වෙළඳාමේ නිරත එස්.එම්. වසන්ත නමැති තරුණයාටය.
'' මාළු තොග වෙළෙඳාමේ යෙදෙන බෝට්ටු හිටන් තියෙන චමින්ද ගිය 25 වෙනිදා හවස මට කෝල් එකක් දීල ඇහුව කොහේද ඉන්නේ කියල. මම කියුවා ටවුමේ කියල. එතකොට එයා මට කියුවා. නඩුකාර මහත්තයා දැන් එයි. ලොකු පරව් මාළුවෙක් කපල පාර්සල් කරල දෙන්න කියල. ආප්ප දහයකුත් කඩෙන් අරගෙන ඔතල දෙන්න කියලත් කිව්වා. තේ බොනවද කියල අහල තේ ඕනෙනම් අරන් දෙන්න කියලත් කිව්වා...
නඩුකාර මහත්තයා බලපිටිය හංදියට එනකොට රෑ 7.30 ට විතර ඇති, නෝනත් එක්කයි වාහනේ ආවේ. ‍පොලීසියේ මහත්තයෙකුත් හිටියා. මම චමින්දගේ මාළු කඩෙන්  හොඳ පරව් මාළුවෙක් අරගෙන කෑලි වලට කපල ඔතල දුන්නා. ආප්ප දහයකුත් දුන්නා. තේ බොමුද කියල ඇහුවාම නඩුකාර මහත්තයා කෝපි එකක් එයාට ඉල්ලල නෝනට කිරිතේ එකක්  ගේන්න කියුවා. මගේ ඔළුවට ‍පොල් ගෙඩියක් වැටිලා ඔලුවේ කට්ට කොටසක් අයින් කරලයි තියෙන්නේ. කකුලකුයි අතකුයි පණත් නැහැ. මම මට පුළුවන් විදිහට බලපිටියේ සද්ධ අයියගෙ කඩෙන් තේ ගෙනල්ල දුන්නා. එයාල වාහනෙන් බැස්සේ නැහැ.
නෝනගේ තේ එක නඩුකාර මහත්තයා අරගෙනයි නෝනට දුන්නේ. නෝනා උගුරු දෙකක් බිව්වා විතරයි, ඒ උණු තේ කෝප්පෙ එකපාරටම උදුරගෙන මගේ මූණට දමල ගැහුවා. විනිසුරුවරයා විසින් කළ පහරදීම ගැන එස්.එම්. වසන්ත විස්තර කළේ එසේය.
දින තුනක්ම රෝහල්ගතව සිටි ඔහු පෙරේදා (28) දහවල් රෝහලෙන් පිටත්ව අහුංගල්ල ‍පොලීසියට ගොස් මේ කතාව ‍පොලීසියටද පවසා පැමිණිල්ලක්ද කර තිබේ.
'' පැමිණිල්ලෙන් පස්සේ සමාදානවෙන්න කතා කරනවා මම කියුවා වෙච්ච අපහසයටයි. පහරදීමටයි ලක්ෂයක්වත් ඕනෙ කියල''  යැයි ද එස්.එම්. වසන්ත සඳහන් කළේය.
අදාළ විනිසුරුවරයා ‍පොලීසියට පවා පහරදී ඇති අයෙක් බවත් ඔහුගේ ක්‍රියාකලාපය විනිසුරුවරයෙකුට ඔබින්නේ නැති බවත් ‍පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

-ලක්බිම

No comments:

Post a Comment