කළුතර කලමුල්‍ලේ ග්‍රේස් කුමරි ළමා නිවාසයේ හැදි වැඩුණු, මේ වන විට තරුණවියට එළඹ සිටින වයස 18 වැඩි විසිදෙනකුගෙන් පමණ යුත් පිරිසකට මුහුණ පැමට සිදුව ඇති ඛේදනීය පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුණි. මෙම සිදුවිම පිටුපස අදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වන කතෝලික සභාව අසල්වැසියාට ප්‍රේම කරන්න යැයි පවසමින් තම ළමා නිවාසයේ උපන්දා සිට හැදී වැඩුණු දරුවන්ට සලකා ඇත්‍තේ ඉතාමත් අමානුෂික අන්දමිනි.
මේ තරුණයින් බොහෝ දෙනෙක් තමන්‍ගේ මව හෝ පියා නොහඳුනති; ඥාති, සොයුරු සොයුරියන් පිළිබඳ නොදනිති. ඔවුන් කුඩා අවධයේ දී ම මෙම ස්ථානයට ගෙනවිත් භාර දී ඇත්‍තේ සිය මව හෝ ඥාතියකු විසිනි. එතැන් සිට මේ දක්වා ඔවුන් හැදි වැඩී ඇත්‍තේ මෙම ළමා නිවාසයේ ය.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් අනාථ ළමා නිවාසයක් පවත්වාගෙන යන්‍නේ නම් ඒ සඳහා රජයේ ලියාපදිංචි වී අවසර ලබාගත යුතු ය. එහෙත් කළුතර කලමුල්‍ලේ පිහිටි ග්‍රේස් කුමරි ළමා නිවාසය මෙතෙක් රජයේ ලියාපදිංචි කොට නොමැත. එහෙයින් ඒ සඳහා බලය ලත් නිලධාරින්ට ද මෙම ළමා නිවාසයට එරෙහි ව නීතිමය කටයුතු කිරිමට හැකියාවක් නොමැත.
මෙම ළමා නිවාසය ආරම්භක යුගයේ පිරිමි සහ ගැහැනු දෙපාර්ශවය ම හැදී වැඩුණ අතර කල් යාමේ දී සියලු ගැහැනු ළමුන් විවිධ හේතුන් මත නිවාසයෙන් නෙරපා ඇත. ඇතැම් අය විවාහ වී පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් විවිධ රැකියාවල් සොයා ගොස් ඇත. එසේ ගැහැනු පාර්ශවය ඉවත් කොට ඇත්‍තේ ළමා නිවාසය වසා දැමීමේ පළමු පියවර ලෙසිනි. අනතුරව එළඹ ඇත්‍තේ පිරිමි පාර්ශවය ඉවත්කිරිම ය. කෙසේ වෙතත් මෙම ළමා නිවාසය භාරව දිගු කාලයක් සේවය කළ පියතුමා ද මෙසේ ළමුන් පිටත් කර හැරිම පිළිබඳ සිය විරෝධතාව දක්වා ඇති අතර එවිට කතෝලික සභාව එම පියතුමා මෙම ළමා නිවසින් වෙනත් ස්ථානයකට මාරු කොට යවා ඇත.
අනතුරුව පැමිණි පියතුමා එහි රැඳි සිටි පිරිමි ළමුන් සමඟ නිරන්තරයෙන් ගැටුම් අති කරගෙන ඇත. ලොවට ම ප්‍රේම කරන්නයි ඉල්ලා සිටින කතෝලික සභාව පළමුවෙන් ම මෙම දරුවන්ට පානය සඳහා තිබු ජල සම්බන්ධතාව විසන්ධි කරන අතර දෙවනුව විදුලිය ද විසන්ධි කරනු ලබයි. ඒ පිළිබඳ ව සාකච්ඡා කිරිම සඳහා ඉදිරිපත් වූ තරුණ පිරිසට එරෙහි ව අභූත චෝදනා ඉදිරිපත් කරමින් පොලිසිය හරහා තරුණයන් කිහිප දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ද අනතුරු ව එළඹි නඩු දිනයේ දි මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප පිට නිදහස් කොට ඇත.
මේ වන විට කතෝලික සභාව විසින් අදාළ තරුණ පිරිස මහමඟට අද දැමීමේ තුච්ඡ, නිහින වැඩපිළිවෙළක නිරත ව සිටී. කතෝලික සභාව මේ සඳහා ඉදිරිපත් කරන හේතුව වන්නේ ‘‘දැන් ඔවුන් 18 සම්පූර්ණ වූවන්’’ ය යන නිගමනය යි.
වයස 18 සම්පූර්ණ වුව ද ඔවුන් සමාජය වෙත මුදා හැරිමට තරම් සුදුසු වාතාවරණයක් නොමැත. එසේ මුදා හරින්‍නේ නම් ඔවුන්ට ජිවත් විම සඳහා සුදුසු වාතාවරණයක් සකසා තිබිය යුතු ය. එහෙත් මේ කිසිඳු තරුණයකුට එවැනි වටපිටාවක් නොමැති අතර ඔවුන් සමාජ ගත කළ හොත් සිදුවන්‍නේ සමාජයට අහිතකර පිරිසක් සමාජ ගතවවීම ය. රජයේ පරිවාස නිවසකින් වුව ද වැඩිවියට පත් දරුවන් මුදාහරින්‍නේ ඔවුන්ට ජිවත් විම සඳහා සුදුසු වාතාවරණයක් සකසා දීමෙන් අනතුරු ව ය.
කතෝලික සභාව මේ සැරසෙන්නේ මෙම පිරිස පලවා හැර ළමා නිවාසය වසා දමා අදාළ භූමියේ වෙනත් ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැඟීමට හෝ එවන් සුථානයක් සඳහා බදු දිමට බව දැනගන්නට ලැබී ඇත. මීට පෙර මෙම ස්ථානය භාරව කටයුතු කළ පියතුමා මෙම දරුවන් වෙනුවෙන් ඉඩම් කොටසක් වෙන් කොට එහි නිවාස තනවා දිමට පවා සැලසුම් කොට ඇත.
එහෙත් කතෝලික සභාව තම අත්තනෝදතික අදහස් ක්‍රියාවට නගමින් අදාළ පියතුමා මාරු කර යවා ඇත. මේ වන විට අදාළ තරුණ පිරිස දැඩි දුෂ්කරතාවයන් මැද්‍දේ එහි ම වෙසෙන අතර ඇතැම් විට ඔවුන්ට මැර තර්ජන ද එල්ලවන බවට තොරතුරැ ලැබි ඇත. එහෙත් බලධාරින් මේ පිළිබඳ ව නෑසු කන් ව සිටිති. නුදුරු දිනක දි මේ තරුනයන්‍ගේ ජිවිතවලට යම් කරදරයක් උපද්‍රවයක් සිදු වුවහොත් එහි වගකීම අදාළ පල්ලියේ භාරකරු හෝ කතෝලික සභාව විසින් භාරගත යුතුව ඇත.
මේ වන විට මෙම තරුණ පිරිසෙන් කිහිප දෙනකුට විරුද්ධව නඩුවක් ද පවතින අතර ඒ සඳහා සාක්ෂි දිමට ඉදිරිපත්වන තරුණයන්ට ද තර්ජන පවතින බව දැනගන්නට ලැබී ඇත.
දැන් පැවසිය යුත්ව ඇත්‍තේ ‘‘අහෝ දෙව් සමිඳාණනි කොහි සිට හෝ පැමිණ ඔබ වන්‍සේගේ මැර පුත්‍රයන්ගෙන් අප ගලවාගනු නැනව’’ යන්න ය.
මේ දරුවන් රටේ දරුවන් වන අතර ඔවුන්‍ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් රජයට ද බැහැරවිය නොහැකි ය. එහෙත් ඒ සඳහා මදැහත් විය යුතු බලධාරීන් ද මේ මොහොතේ පසුවන්‍නේ මර නින්‍දේ ය. එසේ නම් ඒ දරුවන්‍ගේ අනාගතය පිළිබඳ වගකිම භාරදිය යුත්‍තේ කාටද? භාරගන්‍නේ කවුරුන්ද යන පැනයට නිශ්චිත විසඳුමක් ලබා දිමට කාලය එළඹ ඇත.
ගාමිණී එදිරිසිංහ.
No comments:
Post a Comment